YouVersion Logo
Search Icon

නික්මයාම 14

14
1තවද, ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 2“ආපසු හැරී, මිග්දෝල් හා මුහුද අතරේ පී-හහිරොත් හි කඳවුරු ගසන්නැයි ඉශ්‍රායෙල් ජනයාට කියන්න. නුඹලා කඳවුරු බැඳිය යුත්තේ, බාල්-සෙෆොන්ට කෙළින් ම මුහුණ ලා, මුහුද අද්දර ය. 3පාරාවෝ, ඉශ්‍රායෙල් ජනයා ගැන සඳහන් කරමින්, ‘ඔවුන් වියවුල් ව, රට වටා ඉබාගාතෙ යනු ඇත. ඔවුන් කාන්තාරයේ කොටු වී ඇති’ යි කියනු ඇත. 4මම පාරාවෝගේ හද දැඩි කරන්නෙමි. ඔහු ඔවුන් ලුහුබැඳ එනු ඇත. එහෙත් පාරාවෝ ද ඔහුගේ මුළු හමුදාව ද හේතු කොට මම ගෞරව මහිම ලබන්නෙමි. එවිට, මා ස්වාමින්වහන්සේ වග ඊජිප්තුවරුන් දැනගනු ඇතැ” යි පැවසූ සේක. එබැවින් ඉශ්‍රායෙල්වරු එසේ කළහ.
5ඉශ්‍රායෙල් ජනයා පලා ගොස් ඇති වග, ඊජිප්තු රජුට සැල වූ කල, පාරාවෝ හා ඔහුගේ නිලධාරීහු තම අදහස් වෙනස් කර ගනිමින්, “මොකක් ද මේ අප කර ගත්තේ! ඉශ්‍රායෙල්වරුන්ට යන්නට දීමෙන්, අප ඔවුන්ගේ සේවය නැති කර ගත්තා” යි කීහ. 6එබැවින් ඔහු තම යුද්ධ රථය සූදානම් කරවා, තම හමුදාව ද කැඳවා ගත්තේ ය. 7ඔහු හොඳ ම යුද්ධ රථ හයසීයක් ද ඊජිප්තුවේ සෙසු සියලු යුද්ධ රථ ද ඒ හැම භාර නිලධාරීන් ද සපයා ගත්තේ ය. 8ස්වාමින්වහන්සේ ඊජිප්තු රජු වූ පාරාවෝගේ හද දැඩි කළෙන්, එඩිතර ව ගමනේ යෙදුණු ඉශ්‍රායෙල්වරුන් පසු පස ඔහු හඹා ගියේ ය. 9පාරාවෝගේ සියලු අශ්වයින් හා අස්රිය ද ඔහුගේ අසරුවන් හා ඔහුගේ හමුදාව ද යන ඊජිප්තුවරු, ඉශ්‍රායෙල්වරුන් ලුහුබැඳ ගියෝ, බාල්-සෙෆොන් අබියස පී-හහිරොත් අසල මුහුද අද්දර කඳවුරු ලා සිටි ඔවුන්ට කිට්ටු කළෝ ය.
10පාරාවෝ ළං වෙත් ම, ඉශ්‍රායෙල් ජනයා හැරී බැලූ කල, මෙන්න! ඔවුන් දුටුවේ තමන් පසු පස පෙරට ඇදෙන ඊජිප්තුවරුන් ය. ඉන් මහත් භයට පත් ඔවුහු, ස්වාමින්වහන්සේට මොර ගසන්නට වන්හ. 11ඔවුහු මෝසෙස් අමතමින්, “නුඹ මේ කාන්තාරයේ මැරී යන්නට අප ගෙන ආවේ ඊජිප්තුවේ මිනීවළවල් නැති නිසා ද? ඊජිප්තුවෙන් පිටට අප ගෙන ඒමෙන්, නුඹ අපට මේ කර ඇත්තේ කුමක් ද? 12‘අපට ඉන්නට හරින්න. ඊජිප්තුවරුන්ට මෙහෙ කරන්නට ඉඩ දෙන්නැයි ඊජිප්තුවේදී අප නුඹට කීවේ මෙනිසා නො වේ ද?’ මේ කාන්තාරයේ නැසී යනවාට වඩා ඊජිප්තුවරුන්ට මෙහෙ කරමින් සිටියා නම් අපට හොඳ යැ” යි කීහ.
13එහෙත් මෝසෙස් ජනතාවට පිළිතුරු දෙමින්, “භය වන්න එපා; ස්ථාවර ව සිටින්න. ස්වාමින්වහන්සේ අද දවසේ ඔබට සලසා දෙන ගැලවීම බලා සිටින්න. අද ඔබ දකින මේ ඊජිප්තුවන්, යළි කිසි දින ඔබට දකින්නට ලැබෙන්නේ නැත. 14ස්වාමින්වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක. ඔබ කළ යුත්තේ නිශ්චල ව සිටීම පමණකැ” යි කීවේ ය.
15එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “කුමට ද නුඹ මට මොර ගසන්නේ? ඉදිරියට යන්නැයි ඉශ්‍රායෙල් ජනයාට කියන්න. 16ඔබේ සැරයටිය ඔසවා, ඔබේ අත මුහුදට දිගු කර, ජලය දෙබෑ කරන්න. එවිට ඉශ්‍රායෙල් ජනයාට මුහුද මැදින් වියළි බිම දිගේ ගමන් ගත හැකි වනු ඇත. 17මම, ඊජිප්තුවරුන්ගේ හදවත් දැඩි කරන්නෙමි. එවිට ඔවුන් ඉශ්‍රායෙල්වරුන් පසු පස ලුහුබඳිනු ඇත. මෙසේ පාරාවෝ ද ඔහුගේ යුද්ධ රථ හා ඔහුගේ අසරුවන් ද ඇතුළු ඔහුගේ මුළු හමුදාව ද හේතු කොට මම ගෞරව මහිම අත්කර ගනිමි. 18පාරාවෝ ද ඔහුගේ යුද්ධ රථ හා ඔහුගේ අසරුවන් ද හේතු කොට මා ගෞරව මහිම ලත් කල, මා ස්වාමින්වහන්සේ වග ඊජිප්තුවරුන් දැනගනු ඇතැ” යි පැවසූ සේක.
19එතෙක් ඉශ්‍රායෙල් සේනාංකයට පෙරටුවෙන් ගමන් ගත් දෙවියන්වහන්සේගේ දූතයා එතැනින් මෑත් වී, ඔවුනට පිටුපසින් යන්නට වන්නේ ය. ඔවුනට පෙරටුවෙන් වූ වලා ටැඹ ද මෑත් වී, ඔවුනට පිටුපසින් පිහිටා, 20ඊජිප්තු සේනාංක හා ඉශ්‍රායෙල් සේනාංක අතරට පැමිණියේ ය. එහි වලාවත්, අන්ධකාරයත් විය. මෙසේ දෙගොල්ල එකිනෙකාට ළං වීමක් නො වී, රැය ගත විණ#14:20 රැය ගත විණ හෙබ්‍රෙව් රැය ආලෝකවත් විය..
21මෝසෙස් මුහුද දෙසට තම අත දිගු කළේ ය. එවිට ස්වාමින්වහන්සේ මුළු රැය පුරා පෙරදිග සැඬ සුළඟකින් මුහුද ආපසු ගලා යවා, මුහුද වියළි බිමකට හැරවූ සේක. මෙසේ ජලය දෙබෑ කෙරිණ. 22ඉශ්‍රායෙල් ජනයා මුහුද මැදින් වියළි බිම දිගේ ගමන් ගත්හ. මුහුදු ජලය ඔවුනට දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් පිහිටා සිටුයේ ය.
23ඊජිප්තුවරු ඔවුන් ලුහුබැන්දෝ, පාරාවෝගේ අශ්වයින් ද යුද්ධ රථ හා අසරුවන් ද ඔවුන් පසු පස මුහුදට වන්නෝ ය. 24අලුයම් යාමයේ ස්වාමින්වහන්සේ ගිනි හා වලා ටැඹ මතින් ඊජිප්තු හමුදාව දෙස බැලූ සේක්, ඔවුන් වියවුල් කළ සේක. 25රථ පැදවීම අසීරු වන පරිදි, උන්වහන්සේ ඔවුන්ගේ රථ රෝද බුරුල් කළ සේක. එවිට ඊජිප්තුවරු, “ඉශ්‍රායෙල්වරුන් වෙතින් ඉවත් ව, පලා යමු. ස්වාමින්වහන්සේ ඔවුන් උදෙසා ඊජිප්තුවට එරෙහිව සටන් කරති” යි කීවෝ ය.
26එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් අමතමින්, “මුහුදට ඔබේ අත දිගු කරන්න; ඊජිප්තුවරුන් පිටත්, ඔවුන්ගේ යුද්ධ රථ හා අසරුවන් පිටත් ජලය ආපසු එන පිණිස යැ” යි කී සේක. 27එබැවින් මෝසෙස් තම අත මුහුදට දිගු කළේ ය. දවස උදා වෙද්දී මුහුද යළි පෙර තිබූ තැනට ම ගලා ආවේ ය. ඊජිප්තුවරුන් එයින් පලා යෑමට තැත් දැරූ නමුදු, ස්වාමින්වහන්සේ ඔවුන් මුහුද මැදට ගසා යැවූ සේක. 28ජල කඳ ආපසු ගලා අවුත්, යුද්ධ රථ හා අසරුවන් ද ඇතුළු පාරාවෝගේ සමස්ත හමුදාව යට කර දැමී ය. ඉශ්‍රායෙල්වරුන් පසු පස මුහුදට පැමිණි ඔවුන්ගෙන් එකකුවත් ඉතිරි නො වී ය.
29එහෙත් ඉශ්‍රායෙල් ජනයා තමන්ගේ දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් ජලය තිබියදී මුහුද මැද වියළි බිම දිගේ ගමන් ගත්තෝ ය. 30මෙසේ ඒ දවසේ ස්වාමින්වහන්සේ ඊජිප්තුවරුන් අතින් ඉශ්‍රායෙල් ගැලවූ සේක. ඊජිප්තුවරුන් මුහුදු වෙරළේ මැරී සිටිනු ඉශ්‍රායෙල් ජනයා දුටුවෝ ය. 31ස්වාමින්වහන්සේ ඊජිප්තුවරුනට එරෙහිව විදහා පෑ ඒ මහා බලය දුටු ඉශ්‍රායෙල් ජනයා, ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී වූවෝ, උන්වහන්සේ ද උන්වහන්සේගේ සේවක මෝසෙස් ද තුළ විශ්වාසය තැබුවෝ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in