නික්මයාම 13
13
කුලුඳුලන් කැප කිරීම හා මුහුන් නුමුසු රොටි මංගල්‍යය
1 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “හැම කුලුඳුලෙක් ම මට කැප කරන්න. 2මිනිසුන් අතර හා සත්වයින් අතර යනුවෙන් ඉශ්රායෙල් ජනයා අතර හැම ගර්භයක ම ප්‍රථම පලය අයිති මට යැ” යි පැවසූ සේක.
3ඉන්පසු මෝසෙස් ජනතාවට කතා කොට, “ඊජිප්තුවෙන් පිටතට, වහල්කමේ නිවාසයෙන් පිටතට නුඹලා පැමිණි, මේ දවස සමරන්න. මන්ද ස්වාමින්වහන්සේ එතැනින් පිටතට නුඹලා ගෙනාවේ බලගතු හස්තයකිනි. මුහුන් අඩංගු කිසිවක් අහරට නො ගන්න. 4ආබීබ් මාසයේ මේ දවසේ නුඹලා පිටත් ව යන්නෝ ය. 5ස්වාමින්වහන්සේ ඔබට දීමට, ඔබේ පියවරුන්ට දිවුළ දේශය වූ කිරි හා පැණි ගලා යන දේශයට, කානානිවරුන්ගේ ද හිත්තිවරුන්ගේ, අමෝරිවරුන්ගේ, හිවීවරුන්ගේ හා යෙබූසිවරුන්ගේ ද දේශයට උන්වහන්සේ නුඹලා ගෙන ආ කල, මෙම මාසයේ ඔබ මෙම පිළිවෙත පැවැත් විය යුතු ය. 6හත් දවසක් මුහුන් නොමැති රොටි අනුභව කරන්න. හත් වන දවසේ ස්වාමින්වහන්සේට මංගල්‍යයක් පවත්වන්න. 7එම හත්-දවස් කාලය තුළ මුහුන් රහිත රොටි අනුභව කරන්න. මුහුන් සහිත කිසිවක් ඔබ අතරෙහි දක්නට නො තිබේවා! ඔබේ දේශ සීමාව තුළ කොතැනකුදු මුහුන් දක්නට නො තිබේවා! 8ඒ දවසේ ඔබේ පුතුට කතා කොට, ‘මා මෙසේ කරන්නේ, ඊජිප්තුවෙන් පිටතට මා ආ කල්හි ස්වාමින්වහන්සේ මා උදෙසා කළ දෑ නිසා ය’ යි කියන්න. 9ස්වාමින්වහන්සේගේ නීතිය, ඔබේ මුවෙහි පවතින පිණිස මෙම පිළිවෙත ඔබට, ඔබේ අතේ ලකුණක් ද ඔබේ නළලේ සිහිගැන්වීමක් ද මෙන් වන්නේ ය. මන්ද ස්වාමින්වහන්සේ ඊජිප්තුවෙන් පිටතට ඔබ ගෙන ආවේ බලගතු හස්තයකිනි. 10එබැවින් වසරින් වසර නියමිත කාලයේදී ඔබ මෙම පිළිවෙත පැවැත් විය යුතු ය.
11“උන්වහන්සේ ඔබටත්, ඔබේ පියවරුන්ටත් දිවුරා පොරොන්දු වූ පරිදි කානානිවරුන්ගේ දේශයට ස්වාමින්වහන්සේ ඔබ ගෙනවුත්, එය ඔබට දුන් පසු, 12සෑම ගර්භයක ම කුලුඳුලා ස්වාමින්වහන්සේට ඔබ වෙන් කළ යුතු ය. ඔබට අයත් හැම සතකුගේ ම කුලුඳුල් පිරිමි පැටවුන් අයිති ස්වාමින්වහන්සේට ය. 13හැම කුලුඳුල් බූරු පැටවකු ම, බැටළු පැටවකු බැගින් දී, මුදා ගත යුතු ය. ඔබ ඌ මුදා ගන්නේ නැති නම්, උගේ බෙල්ල කඩා දැමිය යුතු ය. ඔබගේ පුතුන් අතරෙහි හැම කුලුඳුලෙක් ම ඔබ මුදා ගත යුතු ය.
14“මතු කාලයකදී ඔබේ පුත්‍රයා ඔබෙන් ප්‍රශ්න කරමින්, ‘මෙහි අරුත කුමක් දැ?’ යි ඇසූ කල, ඔබ ඔහුට පිළිතුරු දෙමින්, ‘බලගතු හස්තයකින් ස්වාමින්වහන්සේ ඊජිප්තුවෙන් පිටතට, වහල්කමේ දේශයෙන් පිටතට අප ගෙන ආ සේක. 15පාරාවෝ අපට යන්නට දීම, මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ, ස්වාමින්වහන්සේ ඊජිප්තුවේ හැම කුලුඳුලකු ම, මිනිසුන්ගේ කුලුඳුලන් හා සතුන්ගේ කුලුඳුලන් නැසූ සේක. ගර්භයේ හැම පිරිමි කුලුඳුලා ම ස්වාමින්වහන්සේට මා පූජා කරන්නේ එබැවිනි. එහෙත් මගේ පුත්‍රයන්ගේ හැම කුලුඳුලකු ම මම මුදා ගන්නෙමි’ යි කිය යුතු ය. 16ස්වාමින්වහන්සේ ස්වකීය බලගතු හස්තයෙන් ඊජිප්තුවෙන් පිටතට අප ගෙන ආ වගට, එය ඔබේ අතේ සලකුණක් ද ඔබේ නළලේ සංකේතයක් ද මෙන් වන්නේ යැ” යි පැවසී ය.
මුහුදු තරණය
17පාරාවෝ ජනතාවට යන්නට ඉඩ හළ පසු, පිලිස්තිවරුන්ගේ දේශය හරහා දිවෙන මාර්ගය කිට්ටු වූ නමුදු, දෙවියන්වහන්සේ එමඟින් ඔවුන් කැඳවාගෙන ගියේ නැත. මන්ද, “යුද්ධයට මුහුණ පෑවහොත් ඔවුන් තම සිත් වෙනස් කර ගෙන ඊජිප්තුවට ආපසු හැරී යතැ” යි දෙවියන්වහන්සේ පැවසූ බැවිනි. 18එනිසා කාන්තාරය වටා වූ මාවත ඔස්සේ, රතු මුහුද#13:18 රතු මුහුද හෙවත් බට පඳුරු මුහුද දෙසට දෙවියන්වහන්සේ ඔවුන් කැඳවාගෙන ගිය සේක. ඉශ්රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිට ව ගියේ, යුද්ධයට සන්නද්ධ ව ය.
19මෝසෙස්, යෝසෙප්ගේ ඇටකටු ද ඒ සමඟ ගෙන ගියේ ය. මන්ද යෝසෙප් ඉශ්රායෙල් පුත්‍රයින්ගෙන් පොරොන්දු දිවුරුමක් ගෙන තිබිණ. “දෙවියන්වහන්සේ නිසැකයෙන් ම ඔබේ පිහිටට එන සේක. එවිට ඔබ මගේ ඇටකටු ඔබ සමඟ මෙතැනින් රැගෙන යා යුතු යැ” යි ඔහු පවසා තිබිණ.
20ඔවුහු සුක්කොත් වෙතින් පිටත් ව ගියාහු, කාන්තාර-මායිමේ වූ ඒතාම්හි කඳවුරු බැඳ ගත්තාහු ය. 21ස්වාමින්වහන්සේ මාර්ගයේදී ඔවුන්ට මග පෙන්වීමට දහවලේ වලා ටැඹකින් ද රැයේ ඔවුන්ට එළිය දීමට ගිනි ටැඹකින් ද යුතු ව ඔවුන්ට පෙරටුව ගිය සේක. එසේ කළේ දහවලේ ද රැයේ ද ඔවුනට ගමන් කළ හැකි වන පරිදි ය. 22දහවලේදී වලා ටැඹවත්, රැයේදී ගිනි ටැඹවත් ජනයා ඉදිරියෙන් අහක් ව ගියේ නැත.
Currently Selected:
නික්මයාම 13: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.