YouVersion Logo
Search Icon

නික්මයාම 12

12
පසු කර යෑම (පාස්කුව)
1 ස්වාමින්වහන්සේ ඊජිප්තුවේදී මෝසෙස් හා ආරොන් අමතමින්, 2“මේ මාසය, ඔබට පළමු මාසය වේ. එය අවුරුද්දේ පළමු මාසයයි. 3මෙම මස දහ වන දින හැම මිනිසකු ම තම පවුල උදෙසා, එක ගෙදරකට එකකු වශයෙන්, බැටළු පැටවකු බැගින් ගත යුතු වග මුළු ඉශ්‍රායෙල් ප්‍රජාවට ම පවසන්න. 4සම්පූර්ණ බැටළු පැටවකු සඳහා යම් ගෙදරක නිවැසියන් ගණනින් අඩු නම්, ඔවුන් තම ළඟ ම අසල්වැසි පවුලේ ගණන සැලකිල්ලට ගනිමින්, ඔවුන් සමඟ බෙදා ගත යුතු ය; බැටළු පැටවකු කී දෙනකු සඳහාදැයි නිගමන කළ යුත්තේ, එක් එක්කෙනා අනුභව කරන ප්‍රමාණය අනුව ය. 5ඔබ තෝරා ගත යුත්තේ කැළැල් රහිත, එක් අවුරුදු පිරිමි සතකු ය. බැටළු හෝ එළු හෝ යන සතකු තෝරා ගත හැකි ය. 6එම මාසයේ දහහතර වන දින දක්වා ඌ තබාගෙන, සැඳෑ ගොම්මන දී ඉශ්‍රායෙල් සමාජයේ මුළු සමූහයා ඌ මැරිය යුතු ය. 7ඉන්පසු ඔවුන් ඒ ලේ ස්වල්පයක් ගෙන, තමන් බැටළු පැටවා අනුභව කරන නිවෙස්හි උළුවහු කඳ දෙකේ හා එහි උඩු කෙළවරේ ගෑ යුතු ය. 8ඒ රැයේදී ඔවුන් ගින්නේ පිලිස්සූ මස, මුහුන් රහිත රොටි හා තිත්ත පලා සමඟ අනුභව කළ යුතු ය. 9අමුවෙන් හෝ වතුරින් තම්බා හෝ එම මස් අනුභව නො කළ යුතු ය. අනුභව කළ යුත්තේ උගේ හිස ද කකුල් ද ඇතුළාන්ත කොටස් ද ගින්නෙන් පුලුස්සා ගෙන ය. 10උදය වන තෙක් ඉන් කිසිවක් තබා නො ගත යුතු ය. උදය දක්වාත් කිසිවක් ඉතිරි වේ නම්, ඒවා ගින්නෙහි දවාලිය යුතු ය. 11ඔබ ඒවා අනුභව කළ යුත්තේ ඔබේ ඉඟපටි බැඳ, ඔබේ පාවහන් පය ලා, ඔබේ සැරයටිය අතේ ඇති ව, ලහි ලහියේ ය. එය ස්වාමින්වහන්සේගේ පාස්කුව#12:11 පාස්කුව හෙවත් පසු කර යෑම ය.
12“එම රැයේදී ම මම ඊජිප්තුව ඔස්සේ ගමන් ගන්නෙමි. මම, මිනිසුන්ගේ වේවා, සතුන්ගේ වේවා, ඊජිප්තු දේශයේ හැම කුලුඳුලකුට ම පහර දෙන්නෙමි. තවද ඊජිප්තු දේශයේ සියලු දෙවි දේවතාවුනට එරෙහිව මම විනිශ්චය ක්‍රියා කරවන්නෙමි. ස්වාමින්වහන්සේ මම ය. 13ඔබ සිටින නිවෙස්හි ගෑ ලේ, ඔබ උදෙසා ලකුණක් වන්නේ ය. ඒ ලේ දකින කල, මම ඔබ පසු කර යන්නෙමි. මා ඊජිප්තු දේශයට පහර දෙන කල, කිසිදු විනාශකාරී පීඩාවක් නුඹලා වෙත ළං නො වනු ඇත.
14“මේ දවස, ඔබට සැමරුම් දවසක් වන්නේ ය. එය ස්වාමින්වහන්සේට මංගල්‍යයක් ලෙස පවත්වන්න. පරපුරින් පරපුරට නිත්‍ය නියෝගයක් වශයෙන් මංගල්‍ය දවසක් ලෙස ඔබ එය පැවැත් විය යුතු ය. 15හත් දවසක් ඔබ මුහුන් නුමුසු රොටි අනුභව කළ යුතු ය. පළමු දවසේ ම ඔබේ ගෙවලින් මුහුන් ඉවත් කළ යුතු ය. පළමු දවස පටන් හත් වන දවස දක්වා මුහුන් මුසු අහරක් අනුභව කරන කවරකු වුව, ඉශ්‍රායෙල් වෙතින් සිඳ දැමිය යුතු ය. 16පළමු දවසේ ශුද්ධ එක් රැස්වීමක් පැවැත් විය යුතු ය. හත් වන දවසේ ද ශුද්ධ එක් රැස්වීමක් පැවැත් විය යුතු ය. මේ දවස්හි කිසි වැඩක් නො කළ යුතු ය. කළ හැකි වන්නේ හැමට ම අනුභවය පිණිස, අහර පිළියෙල කර ගැනීම ය. කළ යුත්තේ එපමණකි.
17“නුමුහුන් රොටි මංගල්‍යය පවත්වන්න. මන්ද මා ඔබගේ සේනාංක, ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආවේ මේ දවසේදී ය. එබැවින් මතු පරපුරින් පරපුරට නිත්‍ය නියෝගයක් වශයෙන් මේ දවස පැවැත් විය යුතු ය. 18පළමු මස දහහතර වන දින සවස පටන්, විසිඑක් වන දින සවස දක්වා ඔබ මුහුන් නුමුසු රොටි අනුභව කළ යුතු ය. 19හත් දවසක් ම නුඹලාගේ නිවෙස්හි මුහුන් නො තිබිය යුතු ය. මුහුන් මුසු කවර අහරක් වුව අනුභව කරන කවරකු නමුදු, ඔහු පිටරැටියකු වුව ද, පුරවැසියකු වුව ද ඉශ්‍රායෙල් ජන සමාජයෙන් සිඳ දැමිය යුතු ය. 20මුහුන් මුසු කළ කිසිවක් අනුභව නො කළ යුතු ය. ඔබ කොතැනක සිටියත්, අහරට ගත යුත්තේ මුහුන් රහිත රොටි යැ” යි පැවසූ සේක.
21ඉන්පසු මෝසෙස් ඉශ්‍රායෙල් වැඩිහිටි හැම දෙනා කැඳවා, ඔවුන් අමතමින්, “දැන් ම ගොස්, ඔබේ පවුල්වලට අනුකූලව බැටළු පැටවුන් තෝරා ගෙන, පාස්කු බැටළුවා මරන්න. 22හිසොප් ඉත්තක් ගෙන, බඳුනේ ඇති ලෙයෙහි එය ගිල්වා, උළුවහු කඳ දෙකේ හා එහි උඩු කෙළවරේ ලේ ගාන්න. නුඹලාගෙන් කිසිවකු හෝ උදය වන තෙක්, තම ගෙයින් පිටතට නො යා යුතුයි. 23ඊජිප්තුවරුන්ට පහර දීමට ස්වාමින්වහන්සේ දේශය ඔස්සේ ගමන් ගනිද්දී, උළුවහු කඳේ මුඳුනත හා එහි කඳ දෙකේ ලේ දැක එම දොරකඩ පසු කර යන සේක්, ඔබේ ගෙවලට වැද, ඔබට පහර දෙන්නට විනාශකයාට ඉඩ නො දෙන සේක.
24“මෙම පිළිවෙත ඔබත්, ඔබේ දරු පරපුරත් නිත්‍ය නියෝගයක් වශයෙන් පිළිපැදිය යුතු ය. 25උන්වහන්සේ පොරොන්දු වූ පරිදි, ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයට ඔබ ඇතුල් වූ කල, මෙම පිළිවෙත පිළිපැදිය යුතු ය. 26‘මෙම පිළිවෙතින් කුමක් අදහස් කෙරේ දැ?’ යි ඔබගේ දරුවන් ඔබෙන් ඇසූ කල, 27ඔබ කිව යුත්තේ, ‘මෙය ස්වාමින්වහන්සේගේ පාස්කු යාග පූජාව ය. මන්ද උන්වහන්සේ ඊජිප්තුවරුන්ට පහර දුන් අවස්ථාවේ, ඊජිප්තුවේ ඉශ්‍රායෙල්වරුන්ගේ නිවෙස් පසු කර ගිය සේක්, අපේ නිවෙස් ඉතිරි කළ සේක’ කියා” යැයි පැවසී ය. එවිට ජනයා හිස් බිමට නමා නමස්කාර කළහ. 28ඉශ්‍රායෙල් ජනයා පිටත් ව ගොස්, ස්වාමින්වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට අණ කළ පරිදි කළහ.
29මැදියම් රැයේ ස්වාමින්වහන්සේ ඊජිප්තුවේ සියලු කුලුඳුලන්ට, එනම් සිහසුන දැරූ පාරාවෝගේ කුලුඳුලා පටන්, දඟ ගෙයි සිරකරුවාගේ කුලුඳුලා දක්වා ද ඇති කරන සතුන්ගේ සියලු කුලුඳුලන්ට ද පහර දුන් සේක. 30පාරාවෝ ද ඔහුගේ සියලු නිලධාරීහු ද සියලු ඊජිප්තුවරු ද ඒ රැයේ නැගිටුණහ. ඊජිප්තුවෙහි මහා වැලපීමක් නැගිණි. මන්ද කිසිවකු හෝ නො මළ එක ගෙයකුදු නො වී ය.
නික්මයෑම
31ඒ රෑ ම මෝසෙස් හා ආරොන් කැඳවූ පාරාවෝ, “නැගිටිනු! මගේ ජනයා වෙතින් ඉවත් ව යනු! නුඹ ඉල්ලා සිටි පරිදි නුඹත්, ඉශ්‍රායෙල්වරුනුත් ගොස්, ස්වාමින්වහන්සේට නමස්කාර කරනු. 32නුඹ කී පරිදි නුඹලාගේ එළු බැටළු හා ගව රංචු ද රැගෙන, යන්නට-යනු. මටත් ආශිර්වාද කරනු!” යි පැවසී ය.
33රටින් වහාම පිට ව යන ලෙස ඊජිප්තුවරු ඉශ්‍රායෙල් ජනයාට බල කළහ. “නැතහොත් අප සැවොම මැරී යතැ” යි ඔවුහු කීහ. 34එබැවින් ජනයා තමන් ඇනූ පිටි පිපෙන්නටත් පළමු, අනන බඳුන් පිටින් ම ගෙන, ඇඳුම්වලින් ඔතා, කර තබාගෙන ගියහ. 35ඉශ්‍රායෙල් ජනයා ඔවුන්ට මෝසෙස් කියා තිබූ පරිදි, ඊජිප්තුවරුන්ගෙන් රිදී බඩු ද රන් බඩු ද රෙදි පිළි ද ඉල්ලා ගෙන තිබිණ. 36ස්වාමින්වහන්සේ ඊජිප්තුවරුන් හමුවේ ජනයාට ප්‍රසාදය ලැබෙන්නට සලසා තිබූ බැවින්, ඔවුන් ඉල්ලූ දෑ ඊජිප්තුවරු ඔවුන්ට දුන්හ. මෙසේ ඔවුහු ඊජිප්තුවරුන්ගෙන් කොල්ල කෑහ.
37ඉශ්‍රායෙල්වරු රාමසෙස් සිට සුක්කොත් දක්වා ගමන් ගත්හ. කාන්තාවන් හා ළමයින් හැර, පා ගමනේ යෙදුනු පිරිමි හය ලක්ෂයක් පමණ වූහ. 38මිශ්‍ර ජන සමූහයක් ද එළු බැටළු හා ගව ආදී මහත් සත්ව රංචු ද ඔවුන් සමඟ ගමන් ගත්හ. 39ඊජිප්තුවේ සිට ගෙනැවිත් තිබූ ඇනූ පිටිවලින් ඔවුහු නුමුහුන් රොටි පුලුස්සා ගත්හ. ඊජිප්තුවෙන් පිටතට ඔවුන් පලවා හරිනු ලැබූ බැවින්, ඇනූ පිටිවලට මුහුන් එක් කර නො තිබිණි. තමනට අහරක් පිළියෙල කර ගැනීමට ඔවුන්ට කල් වේලා නො තිබිණි.
40ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවේ වාසය කළ කාල-පරාසය, අවුරුදු හාරසිය තිහකි. 41අවුරුදු හාරසිය තිහක් ගෙවී නිම වූ දවසේ ම ස්වාමින්වහන්සේගේ සියලු සේනාවෝ ඊජිප්තු දේශය හැර ගියහ. 42ඊජිප්තු දේශයෙන් පිටතට ඔවුන් ගෙන එන පිණිස, එය ස්වාමින්වහන්සේට අවදිව සිටීමේ රාත්‍රියක් විය. එබැවින් සියලු ඉශ්‍රායෙල්වරුන් පරපුරෙන් පරපුරට මේ රාත්‍රියේ ස්වාමින්වහන්සේට ගෞරවයක් වශයෙන් අවදිව සිටීමක් පැවැත් විය යුතු වෙයි.
පාස්කු නියෝග
43 ස්වාමින්වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කළ සේක්, “පාස්කුව පිළිබඳ නියෝග මේවා ය:
“කිසි විදෙස්සකු එයින් අනුභව නො කළ යුතු ය. 44එහෙත් ඔබ මිල දී ගත් වහලකුට, ඔබ විසින් ඔහු චර්මඡේද කළ පසු, එයින් අනුභව කළ හැකි ය. 45එහෙත් විදේශීය ආගන්තුකයකු හෝ කුලී සේවකයකු හෝ එයින් අනුභව නො කළ යුතු ය.
46“එය අනුභව කළ යුත්තේ, එක් නිවසක් තුළ ය. මසින් කිසිවක් ගෙයින් පිටතට ගෙන නො යා යුතු ය. සතාගේ එක් ඇටයකුදු නො බිඳිය යුතු ය. 47සමස්ත ඉශ්‍රායෙල් ප්‍රජාව ම මෙම උත්සවය පැවැත් විය යුතු ය.
48“ඔබ අතරේ වෙසෙන යම් විදෙස්සකු ස්වාමින්වහන්සේට පාස්කුව පවත්වන්නට කැමති නම්, ඔහුගේ නිවසේ සියලු පිරිමි චර්මඡේදය ලැබිය යුතු ය. එකල දේශයේ උපන් කෙනකුට සේ ඔහුට ඊට පංගුකාර විය හැකි ය. චර්මඡේද නො වූ කිසි පිරිමියකු එයින් අනුභව නො කළ යුතු ය. 49දේශයේ උපන් කෙනකුට මෙන් ම ඔබ අතරේ වෙසෙන විදෙස්සකුට ද මෙම නීතිය එක සේ අදාළ වේ යැ” යි පැවසූ සේක.
50සියලු ඉශ්‍රායෙල්වරු ස්වාමින්වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට අණ කර තිබූ පරිදි කළහ. 51ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනයා ඔවුන්ගේ සේනාංක අනුව ඊජිප්තුවෙන් පිටතට ගෙන ආයේ ඒ එක ම දවසේදී ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in