එස්තර් 7
7
කුමන්ත්‍රණය හෙළි වීම
1මෙසේ, රජු ද හාමාන් ද එස්තර් බිසව සමඟ මිදි යුෂ සාදයට ගියහ. 2දෙවන දවසේ ඔවුන් මිදි යුෂ පානය කරන අතරේ යළි ඇය ඇමතූ රජු, “එස්තර් බිසවුනි, කුමක් ද ඔබේ ප්‍රාර්ථනාව? එය ඉටු කර දෙනු ලැබේ. කුමක් ද ඔබේ ඉල්ලීම? රාජ්‍යයෙන් හරි අඩක් වුවත්, එය අනුමත කෙරේ” යි කීවේ ය.
3එවිට එස්තර් බිසෝ පිළිතුරු දෙන්නී, “ඔබගේ ප්‍රසාදය මා කෙරේ වේ නම්, අහෝ රජ්ජුරුවනි, ඔබතුමන් ප්‍රසන්න නම්, මට මගේ ජීවිතය දුන මැනවි; මගේ අයැදුම එයයි. මගේ ජනතාව බේරා දුන මැනවි; මගේ ඉල්ලීම එයයි. 4මන්ද මා හා මගේ ජනතාව විනාශයටත්, මරණයටත්, සමූලඝාතනයටත් විකුණනු ලැබ සිටින්නෙමු. අපි හුදෙක් ස්ත්‍රී හා පුරුෂ වහලුන් වශයෙන් විකුණනු ලැබීමු නම්, මට නිහඬ ව සිටින්නට තිබිණි. මක්නිසාද රජුට වන අලාභය අපගේ දුක් වේදනා හා සංසන්දනය කළ නො හැකි බැවිනි#7:4 හෙබ්‍රෙව් බසින් මෙම වාක්‍යයේ අර්ථය පැහැදිලි නැත.” යි කීවා ය.
5එවිට අහෂ්වේරොෂ් රජු එස්තර් බිසව අමතමින්, “කවුරු ද ඒ? ඒ තරම් දෙයක් කරන්න බිය සැක නැති මිනිහා! ඔහු කොහේ දැ?” යි ඇසී ය.
6“අපේ එදිරිවාදියා, අපේ හතුරා මේ දුෂ්ට හාමාන් යැ” යි එස්තර් පැවසුවා ය.
එවිට හාමාන්, රජු හා බිසව හමුවේ භීතියට පත් විය. 7තද කෝපයෙන් යුතු ව මිදි යුෂ පානයෙන් නැගී සිටි රජු, මාලිග උයනට පිට ව ගියේ ය. එහෙත් හාමාන්, රජු විසින් තමාට නපුරක් දැනටමත් තීන්දු කරනු ලැබ ඇතැයි වටහා ගෙන, තම ජීවිතය උදෙසා එස්තර් බිසවට කන්නලව් කිරීමට නැවතුණේ ය.
8මාලිග උයනේ සිට රජු තමන් මිදි යුෂ පානය කළ ශාලාවට ආපසු පිවිසෙද්දී, එස්තර් හාන්සි වී සිටි කවිච්චිය මත හාමාන් වැටී සිටියේ ය.
එවිට රජු, “මොහු බිසවුනට බලහත්කාරකම් කරන්නටත් යනවා ද! මගේ මාලිගයේ, මා ඉදිරිපිටදී ම!” යි මොර ගෑවේ ය.
ඒ වචන රජුගේ මුවින් පිටවෙනවාත් සමඟ ම ඔවුහු හාමාන්ගේ මුහුණ ආවරණ කළහ. 9එවිට, රජුට මෙහෙවර කරන නපුංසක නිලධාරීන්ගෙන් කෙනකු වූ හර්බෝනා කතා කොට, “හාමාන්ගේ නිවස ළඟ රියන් පනහක්#7:9 මීටර් 23ක් පමණ. උස පෝරකයක් සිටුවා තිබේ. ඔහු එය තනවන ලද්දේ වරක් රජතුමාගේ යහපතට තොරතුරු සැපයූ මොර්දෙකයි එල්ලන්නට යැ” යි පැවසී ය.
“මොහු එහි එල්ලා දමනු” යි රජු පැවසී ය. 10මෙසේ, මොර්දෙකයි එල්ලීමට ඔහු සෑදවූ පෝරකයේ ම ඔවුහු හාමාන් එල්ලා දැමූහ. ඉන්පසු රජුගේ උදහස සංසිඳිණි.
Currently Selected:
එස්තර් 7: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.