එස්තර් 8
8
යුදෙව්වරුන්ගේ ගැලවීම
1අහෂ්වේරොෂ් රජ එදින ම, යුදෙව්වරුන්ගේ හතුරා වූ හාමාන්ගේ ගේ-දොර එස්තර් බිසවට දුන්නේ ය. මොර්දෙකයි රජු ඉදිරියට පැමිණියේ ය. මන්ද ඔහු තමාට කවුරුන්දැයි, එස්තර් පවසා තිබිණි. 2රජු හාමාන්ගෙන් ආපසු ලබාගෙන තිබූ පේරැස් මුද්ද ගලවා, මොර්දෙකයිට පිළිගැන්වී ය. එස්තර්, හාමාන්ගේ ගේ-දොර භාරකාරත්වය ඔහුට පැවරී ය.
3එස්තර් රජුගේ පාමුල වැටී, හඬමින් අගාගීය හාමාන්ගේ කුරිරු සැලැස්මත්, යුදෙව් ජනයාට විරුද්ධ ව ඔහු යොදා තිබූ උපාය මාර්ගත් නවතා දමන ලෙස යදිමින්, යළිදු රජුට කන්නලව් කළා ය. 4එවිට රජු රන් සෙංකෝලය එස්තර් වෙත දිගු කළේ ය; ඈ නැගිට, ඔහු අබියස සිටගත්තා ය.
5ඈ රජු අමතමින්, “රජතුමා ප්‍රසන්න නම්, ඔබගේ ප්‍රසාදය මා කෙරේ වේ නම්, කළ යුතු දේ මේ යයි රජතුමාට සිතේ නම්, රජු මා කෙරේ ප්‍රිය මනාප නම්, මෙසේ කරන්න. රජුගේ සියලු ප්‍රාන්තවල යුදෙව් ජනයා වැනසීමට, අගාගීය හම්මෙදාතාගේ පුත් හාමාන් විසින් උපායශීලී ව ලියා යවන ලද ආඥාපත්, අවලංගු කරන නියෝගයක් ලියනු ලැබේවා. 6මගේ ජනයා පිට ඒ විපත්තිය එනු බලා, මා ඉවසා දරා සිටින්නේ කෙසේ ද? මගේ ම නෑ පරපුර විනාශ වනු බලා, මා ඉවසා දරා ගන්නේ කෙසේ දැ?” යි කීවා ය.
7අහෂ්වේරොෂ් රජු, එස්තර් බිසවටත්, යුදෙව්වරයකු වූ මොර්දෙකයිටත් පිළිතුරු දෙමින්, “ඔන්න! හාමාන් යුදෙව්වරුන්ට අත හෙළීමට උපා යෙදූ බැවින්, ඔහුගේ ගේ-දොර මම එස්තර්ට දුනිමි. ඔවුහු පෝරකයේ ඔහු එල්ලා දැමූහ. 8දැන් යුදෙව් ජනයා උදෙසා හොඳ ම දේ මේ යයි ඔබට පෙනෙන හැටියට රජුගේ නමින් වෙනත් ආඥාවක් කෙටුම්පත් කර, රජුගේ පේරැස් මුද්දෙන් එය මුද්‍රා තබන්න. මන්ද රජුගේ නමින් ලියා, රජුගේ මුදුවෙන් මුද්‍රා තබන ලද කිසිදු ලියවිල්ලක් අවලංගු කළ නො හැකි යැ” යි පැවසී ය.
9එකල රජුගේ ලේකම්වරුන් කැඳවන ලදී. ඒ, තුන් වන මාසය වන සීවාන් මස විසිතුන් වන දිනයයි. ඔවුහු මොර්දෙකයිගේ සියලු නියෝග, ඉන්දියාවේ සිට කූෂ් දේශය දක්වා පැතිරුණු ප්‍රාන්ත එකසිය විසිහතක වූ යුදෙව්වරුන්ට ද ප්‍රාදේශීය ආණ්ඩුකාරයින්ට ද ප්‍රාන්ත-පාලකයන්ට ද ජන අධිපතීන්ට ද ලියා යැවූහ. එම නියෝග, ඒ ඒ ප්‍රාන්තයන්ට පොදු අකුරින් ද එක් එක් ජනතාවගේ මව් බසින් ද යුදෙව්වරුන්ට ඔවුන්ගේ ම අකුරින් හා භාෂාවෙන් ද ලියන ලදී. 10ඔහු මෙම ආඥාපත් අහෂ්වේරොෂ් රජුගේ නමින් ලියා, රජුගේ පේරැස් මුදුවෙන් මුද්‍රා තබා, රජුගේ අස්හලේ ම උපන්, ජවාධික අශ්වයින් පිට නැගී යන රාජ දූතයින් අත පිටත් කර යැවී ය.
11රජුගේ මෙම ආඥාපත් මගින් හැම පුරවරයක ම වෙසෙන යුදෙව්වරුන්ට එක් රැස් වී, තමන්ගේ ආත්මාරක්ෂාව සලසා ගැනීමේ ද තමන්ට හෝ තම භාර්යාවන් හා දරුවන්ට පහර දෙන කවර ජාතියකට හෝ කවර ප්‍රාන්තයකට හෝ අයත් ආයුධ සන්නද්ධ සේනාවන් විනාශ කිරීමේ, මරා දැමීමේ හා සමූලඝාතන කිරීමේ ද#8:11 හෙවත් තමන්ට පහර දෙන කවර ජාතියකට හෝ කවර ප්‍රාන්තයකට හෝ අයත් ආයුධ සන්නද්ධ සේනාවන් ඔවුන්ගේ භාර්යාවන් හා දරුවන් ඇතුළු ව විනාශ කිරීමේ, මරා දැමීමේ හා සමූලඝාතන කිරීමේ ද ඔවුන්ගේ සතුරන්ගේ දේපළ කොල්ලකෑමේ ද අයිතිය අනුමත කරන ලදී. 12අහෂ්වේරොෂ් රජුගේ සියලු ප්‍රාන්තවල යුදෙව්වරුන්ට එසේ ක්‍රියා කිරීම සඳහා නියම කරන ලද දිනය වූයේ, අදාර් මස හෙවත් දොළොස් වන මස දහතුන් වන දිනයයි. 13ඒ දිනයේ තම සතුරන්ගෙන් පළි ගැනීම සඳහා යුදෙව් ජනයා සූදානම් ව සිටින පිණිස, එම ආඥා ලියවිල්ලේ පිටපතක් හැම ප්‍රාන්තයක ම නීතිය වශයෙන් නිවේදන කොට, හැම ජනතාවකට ම දැනගන්නට සැලැස්විය යුතු විණි.
14රාජ දූතයෝ රජුගේ විධානයෙන් පිටත් ව, යුහු යුහු ව රාජකීය-අශ්වයින් පන්නමින්, පිම්මේ ගියහ. රාජාඥාව ෂූෂන් බළකොටුවෙහි ද ප්‍රකාශයට පත් කරන ලදී.
යුදෙව් විජයග්‍රහණය
15නිල් සහ සුදු පැහැති රාජකීය ඇඳුමින් ද ලොකු රන් ඔටුන්නකින් ද දම් පැහැ අගනා හණ ලෝගුවකින් ද සැරසුණු මොර්දෙකයි, රජු අබියසින් පිටත් ව ආවේ ය. ෂූෂන් පුරවරයෙහි ප්‍රීති ඝෝෂා නැගෙන්නට විණි. 16යුදෙව්වරුන්ට එය සොම්නසේ, ප්‍රීතියේ, ප්රමෝදයේ හා ගෞරවයේ කාලයක් විය. 17රජුගේ ආඥාව ගිය හැම ප්‍රාන්තයක ම හා හැම පුරවරයක ම යුදෙව් ජනයා අතරේ ප්‍රීතියත්, ප්‍රමෝදයත් ඇති වී, ප්‍රිය සාද හා උත්සව පවත්වන්නට වන්හ. යුදෙව්වරුන් කෙරේ වූ බියෙන් ඇලළී ගිය වෙනත් ජාතීන්ගෙන් බොහෝ දෙනෙක් තමන් ම යුදෙව්වරුන් බවට පත් වූහ.
Currently Selected:
එස්තර් 8: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.