YouVersion Logo
Search Icon

දේශනාකරු 1:1-18

දේශනාකරු 1:1-18 SCV

දාවිත්ගේ පුත්‍රයා වන යෙරුසලමේ රජු වූ දේශනාකරුගේ වචන: “නිරර්ථක ය! නිරර්ථක ය! මුළුමනින් ම නිරර්ථක ය! හැම දෙයක් ම නිරර්ථක යැ” යි දේශනාකරු පවසයි. හිරු යටදී වෙහෙස වී කරන ඔහුගේ මහන්සියෙන් මිනිසාට ඇති ප්‍රයෝජනය කුමක් ද? පරම්පරාවක් යයි; පරම්පරාවක් එයි. එහෙත් පොළොව සදහට ම පවතී. හිරු නැග එයි; හිරු බැස යයි; කඩිනමින් එය නැග එන තැනට ආපසු යයි. සුළඟ දකුණු දෙසට හමයි; එය වටේට උතුරට යයි; සුළඟ වටයෙන් වටයට හමා යමින්, සුළඟ එහි ගමන් පථයක යළි පැමිණෙයි. සියලු ගංගා සයුරට ගලයි; එහෙත් සයුර පිරී ඉතිරෙන්නේ නැත; ගංගා ඒවා පටන් ගත් තැනට ම ආපසු එයි. කෙනකු විසින් විස්තර කරන්නට බැරි තරම් හැම දෙයක් ම වෙහෙසකර ය; දැකීමෙන් ඇස සෑහීමට පත් නො වේ; ඇසීමෙන් කන ද නො පිරේ. කලින් තිබූ දේ, යළි ඇති වේ; පෙර කළ දෑ, යළි කරනු ලැබේ; අහසින් යට කිසිවක් අලුත් නැත. “මෙන්න! මේක අලුත් දෙයක්” ය කියා කීමට හැකි කිසිවක් තියේ ද? බොහෝ ඉහතදී එය මෙහි තිබිණ; අපේ කාලයට ඉස්සර එය මෙහි තිබී ඇත. පූර්වයේ සිටියවුන් ගැන සිහි කිරීමක් නැත; තවමත් එන්නට සිටින්නවුන් ගැන ද ඔවුනට පසුව පැමිණෙන්නවුන් විසින් සිහි නො කරනු ඇත. දේශනාකරු වන මම යෙරුසලමේ ඉශ්‍රායෙල් රජු වශයෙන් සිටියෙමි. අහසින් යට කෙරෙන හැම දෙයක් ම ප්‍රඥාවෙන් විමසා, හැදෑරීමට මම කැපවුණෙමි. දෙවියන්වහන්සේ මිනිසුන් පිට පටවා ඇත්තේ මොන තරම් බැරි බරක් ද! හිරුට යටින් කෙරෙන හැම දෙයක් ම මම දුටිමි; ඇත්තෙන් ම ඒ හැම නිරර්ථක ය; සුළඟ අල්ලන්නට හඹා යෑමක් ය. වකගැසුණු දෑ කෙළින් කළ නො හැක; නැති දෑ ගණන් කළ නො හැක. “මෙන්න, මට කලින් යෙරුසලම පාලනය කළ කවරකුටත් වඩා මම මහා ප්‍රඥාවක් අත්කර ගෙන, එය වඩවා ගතිමි; ප්‍රඥාවේ හා අවබෝධයේ අපමණ අත්දැකීම් මට ඇත්තේ යැ” යි මම මගේ හද තුළ කියා ගතිමි. ඉන්පසු මම ප්‍රඥාවේ අවබෝධය ද මෝහය හා අඥානකම ද දැනගැනීමට සිත් යොමු කළෙමි; එයින් මා වටහා ගත්තේ මෙය ද සුළඟ අල්ලන්නට හඹා යෑමක් බව ය. මන්ද ප්‍රඥාව වැඩිවත් ම දුක ද වැඩි වේ; අවබෝධය වැඩිවත් ම ශෝකය ද වැඩි වේ.