YouVersion Logo
Search Icon

2 රාජාවලිය 3

3
මෝවබ් කැරලි ගැසීම
1ආහාබ්ගේ පුත් යෙහෝරාම්, යූදාහි රජු වූ යෙහෝෂාෆාට්ගේ දහඅට වන අවුරුද්දේ ඉශ්‍රායෙල් කෙරෙහි රජකමට පත් විය. ඔහු දොළොස් අවුරුද්දක් සමාරියේ රජකම් කළේ ය. 2ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුරු දේ කළේ ය. එහෙත් තම පියා හා මව පරිද්දෙන් නො වේ. මන්ද ඔහු තම පියා සාදා තිබූ බාල් දෙවියාගේ රූප ස්තම්භය ඉවත් කළේ ය. 3එසේ වුවත්, ඉශ්‍රායෙල්ට පව් කරන්නට සැලැස් වූ නෙබාට්ගේ පුත් යෙරොබොවම්ගේ පාපවල ගැලී සිටි ඔහු ඒවායින් ඉවත් වූයේ නැත.
4තවද මෝවබ්හි රජු වූ මේෂා, බැටළුවන් ඇති කරන්නෙක් විය. බැටළු පැටවුන් එක්ලක්ෂයක් ද බැටළුවන් එක් ලක්ෂයකගේ ලොම් ද ඉශ්‍රායෙල් රජුට ගෙවන්නට ඔහුට සිදු වී තිබිණ. 5එහෙත් ආහාබ් මිය ගිය පසු, ඉශ්‍රායෙල් රජුට එරෙහිව මෝවබ් රජු කැරලි ගැසී ය. 6එබැවින් යෙහෝරාම් රජු එකල සමාරියෙන් පිටත් ව ගොස්, ඉශ්‍රායෙල්වරුන් සියලු දෙනා එක් රැස් කරවී ය. 7ඔහු යූදා රජු වූ යෙහෝෂාෆාට් වෙත පණිවුඩ යවමින්, “මෝවබ් රජු මට එරෙහිව කැරලි ගසමින් සිටී. මෝවබ්ට එරෙහිව සටන් වදින්නට ඔබ මා සමඟ එනවා ද?” යි දැන්වී ය.
ඔහු පිළිතුරු දෙමින්, “මම ඔබ සමඟ එන්නම්. මා ඔබ මෙන් ය. මගේ ජනයා ඔබේ ජනයා මෙන් ය. මගේ අශ්වයින් ඔබේ අශ්වයින් මෙන් යැ” යි පැවසී ය.
8“අප පහර දීමට යා යුත්තේ කවර මාර්ගයෙන් දැ?” යි ඔහු ඇසී ය.
“ඒදොම් කාන්තාරය මැදින් යැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
9එබැවින් යූදා රජු හා ඒදොම් රජු කැටුව ඉශ්‍රායෙල් රජු පිටත් ව ගියේ ය. හත් දවසක් වටේට ගමන් කළ පසු, හමුදාවට හා ඔවුන් සමඟ වූ සතුන්ට වතුර නැති විය.
10එවිට ඉශ්‍රායෙල් රජු, “මොනවා! මෝවබ් අතට හසුකර දෙන පිණිස ස්වාමින්වහන්සේ අප රජවරුන් තිදෙනා කැඳවා ඇතැ” යි කීවේ ය.
11එහෙත් යෙහෝෂාෆාට් කතා කොට, “දිවැසිවරයකු මගින් අප ස්වාමින්වහන්සේගෙන් විමසන පිණිස, ස්වාමින්වහන්සේගේ දිවැසිවරයකු මෙහි නැද්ද?” යි ඇසී ය.
ඉශ්‍රායෙල් රජුගේ නිලධාරියෙක් පිළිතුරු දෙමින්, “ෂාෆාට්ගේ පුත් එලීෂා මෙහි සිටී. ඔහු එලියාගේ අත්වලට වතුර වත් කළ තැනැත්තා යැ” යි පැවසී ය.
12එවිට යෙහෝෂාෆාට්, “ස්වාමින්වහන්සේගේ වචනය ඔහු වෙත තිබේ යැ” යි කී ය. එබැවින් ඉශ්‍රායෙල් රජු, යෙහෝෂාෆාට් හා ඒදොම් රජු ඔහු වෙත ගියහ.
13එලීෂා, ඉශ්‍රායෙල් රජු අමතමින්, “මේ ගැන නුඹෙන් මට ඇති කාරිය කිම ද? ඔබේ පියාගේ දිවැසිවරුන් ද ඔබේ මවුගේ දිවැසිවරුන් ද වෙත යන්නැ” යි පැවසී ය.
ඉශ්‍රායෙල් රජු පිළිතුරු දෙමින්, “නැත; රජවරුන් වන අප තිදෙනා මෝවබ් අතට හසුකර දෙන්නට අප කැඳවා ඇත්තේ ස්වාමින්වහන්සේ යැ” යි පැවසී ය.
14එවිට එලීෂා, “මා සේවය කරන සේනාංකවල ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, යූදා රජු වූ යෙහෝෂාෆාට් වෙත ඇති ගරු සැලකිල්ල නිසා මිස, මා ඔබ දෙස බලන්නේවත්, ගණන් ගන්නේවත් නැත. 15එහෙත් දැන් වීණා වයන්නකු මා වෙත ගෙනෙන්නැ” යි පැවසී ය.
වීණා වයන්නා වයද්දී, ස්වාමින්වහන්සේගේ හස්තය එලීෂා පිට පැමිණියේ ය. 16ඔහු කතා කොට, “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මේ මිටියාවත පුරා අගල් කපන්න#3:16 හෙවත් මම මේ මිටියාවත පුරා දිය පොකුණු සාදන්නෙමි.. 17මන්ද සුළඟ හෝ වැස්ස ඔබ දකින්නේ නැති නමුදු මේ මිටියාවත වතුරින් පිරී යනු ඇත. ඔබ ද ඔබේ ගව පට්ටි ද ඔබේ අනෙක් සතුන් ද ඉන් බොනු ඇතැයි ස්වාමින්වහන්සේ පවසන සේක. 18ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ මෙය ඉතා සුළු දෙයකි; උන්වහන්සේ මෝවබ් ද ඔබගේ අත්වලට හසුකර දෙන සේක. 19ඔබ සියලු බළකොටු පුරවර හා ප්‍රධාන නගර බිඳ දමනු ඇත. ඔබ සියලු ම හොඳ ගස් කපා හෙළා, සියලු උල්පත් වසා, සියලු හොඳ කෙත් වතු ගල් දමා විනාශ කරනු ඇතැ” යි පැවසී ය.
20පසු දා උදෑසන යාග පූජා ඔප්පු කරන වේලාවේ මෙන්න! ඒදොම් දෙසින් වතුර ගලා එන්නට වී, දේශය වතුරෙන් පිරී ගියේ ය.
21මේ අතර තමන්ට එරෙහිව යුද වදින්නට රජවරුන් පැමිණ සිටින වග සියලු මෝවබ්වරුන්ට අසන්නට ලැබිණ. එබැවින් අවි දරන්නට හැකි වූ තරුණ-මහලු හැම කෙනකු ම කැඳවන ලදුව, දේශ සීමාවේ ස්ථානගත කරනු ලැබූහ. 22ඔවුන් අලුයම් උදය අවදි වූ කල, හිරු රැස් වතුර පිට වැටී දිළිසෙන්නට විය. මෝවබ්වරුන්ට තමන් ඉදිරිපිට ඇති ඒ වතුර පෙනුණේ රතු පාටට ලේ වැනි ව ය. 23“මෙන්න ලේ! ඒ රජවරුන් සටන් කොට, එකිනෙකා මරා ගන්නට ඇත. මෝවබ්වරුනි, දැන් කොල්ලය ගනිල්ලා” යි ඔවුහු පැවසූහ.
24එහෙත් මෝවබ්වරුන් ඉශ්‍රායෙල් කඳවුර වෙත ආ කල ඉශ්‍රායෙල්වරු නැගිට, ඔවුන් පලා යන තුරු ඔවුන්ට පහර දුන්හ. ඉශ්‍රායෙල්වරු එම දේශය ආක්‍රමණ කොට, මෝවබ්වරුන් ඝාතන කළහ. 25ඔවුහු එම නගර විනාශ කොට, හොඳ කෙත් වතු සියල්ල ම වැසී යන තුරු ඒවා ගලින් පිරවූහ. සියලු උල්පත් වසා දැමූ ඔවුහු සියලු හොඳ ගස් කපා දැමූහ. ආරක්ෂා වී තිබුණේ කීර්-හරෙසෙත් නගරය පමණි. එහෙත් ගල් පටියෙන් විදින්නෝ එය වටලා, ඊට පහර දුන්හ.
26මෝවබ් රජු තමන්ට විරුද්ධ ව යුද්ධය උග්‍ර වූ වග දැක, සේනාව බිඳගෙන ඒදොම් රජු වෙත යන්නට කඩුගත් මිනිසුන් හත්සියයක් කැටුව ගිය නමුදු නො හැකි විය. 27එවිට ඔහු තමාට පසු රජකමට පත් වන්නට සිටි තම කුලුඳුල් පුතු යාග පූජාවක් හැටියට පුරවරයේ පවුර පිට යාග කළේ ය. ඉශ්‍රායෙල්වරුන්ට එරෙහිව මහත් උදහසක් පැමිණියේ ය; ඔවුහු පුරවරයෙන් ඉවත් වී තමන්ගේ ම රටට හැරී ගියහ.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in