2 රාජාවලිය 4
4
තෙල් ස්වල්පය
1දිවැසිවර කණ්ඩායමේ කෙනකුගේ බිරිඳ එලීෂා අමතමින්, “ඔබගේ සේවක, මගේ සැමියා මිය ගිහින්. ඔහු ස්වාමින්වහන්සේට ගෞරව කළ කෙනකු වග ඔබ දන්නවා. ඒත් දැන් ඔහුගේ ණය හිමියා මගේ පුතුන් දෙදෙනා ඔහුගේ දාසයින් ලෙස ගෙන යන්නට ඇවිත් යැ” යි මොර ගෑවා ය.
2එලීෂා ඇයට පිළිතුරු දෙමින්, “මා ඔබට කළ යුත්තේ කුමක් ද? කියන්න මට මොනවද ඔබේ ගෙදර තියෙන්නේ?” යි ඇසී ය.
“ඔබේ දාසිය ළඟ ගෙදර කිසිවක් ම නැහැ; ඇත්තේ තෙල් කුළාවක් පමණකැ” යි ඈ පැවසුවා ය.
3එවිට ඔහු, “යන්න, අහළ පහළ ඔබේ අසල්වාසී සියල්ලන්ගෙන් හිස් භාජන ඉල්ලා ගන්න. භාජන ස්වල්පයක් නො වෙයි. 4ඉන්පසු ඔබ හා ඔබේ පුතුන් ගෙතුළට ගොස්, දොර වසාගෙන, සියලු භාජනවලට තෙල් පුරවන්න. එක් එක් භාජනය පිරුණු විට, එය පසෙක තබන්නැ” යි කීවේ ය.
5ඔහු වෙතින් පිටත් ව ගිය ඈ හා ඇගේ පුත්තු දොර වසා ගත්හ. ඔවුන් ඇය වෙත භාජන ගෙනා කල, ඈ ඒවාට වත් කළා ය. 6භාජන සියල්ල ම පිරුණු පසු, “තවත් භාජනයක් ගෙනෙන්නැ” යි ඈ තම පුතුට කීවා ය.
“එක භාජනයක්වත් ඉතිරි ව නැතැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය. එවිට තෙල් ගලා ඒම නැවතිණි.
7දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වෙත ගිය ඈ ඒ වග දැන්නුවා ය. එවිට ඔහු, “යන්න, තෙල් විකුණා ඔබේ ණයතුරුස් ගෙවන්න. ඉතිරි මුදලෙන් ඔබටත්, ඔබේ පුතුන්ටත් ජීවත් විය හැකි යැ” යි පැවසී ය.
ෂූනෙම්හි කාන්තාවගේ පුත්‍රයා
8එලීෂා ෂූනෙම් වෙත ගිය දිනෙක, එහි සිටි ධනවත් කාන්තාවක් කෑම වේලක් කන්නට ඔහුට පෙරැත්ත කළා ය. එබැවින් ඔහු එහි පැමිණි හැම විටෙක ම කෑම කන්නට එහි නැවතුණේ ය. 9ඈ තම සැමියා අමතමින්, “මා දන්නවා නිතර අප ළඟින් යන එන මේ මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ශුද්ධ මනුෂ්‍යයකු වග; 10පියස්ස මත ඔහුට කුඩා කාමරයක් සාදා, ඇඳක් හා මේසයක් ද පුටුවක් හා පහන් රුකක් ද එහි තබමු. එවිට ඔහු අප වෙත ආ හැම විටෙක එහි නවාතැන් ගත හැකි යැ” යි කීවා ය.
11දිනක් එහි පැමිණි එලීෂා එම කාමරයට ගොස්, එහි වැතිරුණේ ය. 12ඔහු තම සේවක ගෙහාසී අමතමින්, “ෂූනම්මීය කාන්තාවට හඬ ගසන්නැ” යි කී ය. ඔහු ඇයට හඬ ගැසූ බැවින්, ඈ ඔහු ඉදිරියේ සිටගත්තා ය. 13එලීෂා ඔහු අමතා, “ඇයට මෙසේ කියන්න. ‘ඔබ අප නිසා මේ සියලු කරදර විඳී. ඔබ උදෙසා අපට කළ හැක්කේ කවරක් ද? ඔබ වෙනුවෙන් රජුට හෝ හමුදාපතිට හෝ කතා කරන්න දැ?’ යි” පැවසී ය.
ඈ පිළිතුරු දෙමින්, “මගේ ම ජනයා අතරේ නිවසක් මට තිබේ යැ” යි කීවා ය.
14“ඇය උදෙසා කළ හැක්කේ කුමක් දැ?” යි එලීෂා ඇසී ය.
ගෙහාසී පිළිතුරු දෙමින්, “ඇයට පුතකු නැත. ඇගේ සැමියත් මහලු යැ” යි කී ය.
15එවිට එලීෂා, “ඇයට හඬ ගසන්නැ” යි කී ය. එසේ ඔහු ඇයට හඬ ගැසූ කල, ඈ දොරකඩ සිටගත්තා ය. 16එලීෂා කතා කොට, “ලබන වසරේ මේ කාලය වන විට ඔබ පුතකු වැලඳ ගන්නවා ඇතැ” යි කීවේ ය.
ඈ ඊට විරුද්ධ වෙමින්, “නැත මා ස්වාමිනි, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබගේ දාසිය රවටන්න එපා යැ” යි කීවා ය.
17එහෙත් ඒ කාන්තාව ගැබ් ගත්තා ය. එලීෂා ඇයට කියා තිබූ පරිදි, ඊළඟ වසරේ එම කාලයේදී ඈ පුතකු බිහි කළා ය.
18ළමයා වැඩුණු කළ දිනක් ඔහු අස්වනු නෙළන්නන් සමඟ සිටි තම පියා වෙත ගියේ ය. 19“මගේ ඔළුව, මගේ ඔළුව යැ” යි ඔහු තම පියාට කී ය.
ඔහුගේ පියා සේවකයකු අමතා, “මොහුගේ මව ළඟට මොහු රැගෙන යන්නැ” යි කීවේ ය. 20සේවකයා ඔහු ඔසවාගෙන, ඔහුගේ මව ළඟට ගෙන ගියේ ය. ඉන්පසු ළමයා ඉර මුදුන් වේලාව දක්වා ඇගේ උකුළේ හාන්සි වී හිඳ, පසුව මිය ගියේ ය. 21ඈ නැගිට, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ යහන මත ඔහු හොවා, දොර වසා, පිටතට ගියා ය.
22තම සැමියාට හඬ ගැසූ ඈ, “දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වෙත හනික ගොස්, එන්නට සේවකයකුත්, බූරුවකුත් මට එවන්නැ” යි කීවා ය.
23“අද ඔහු වෙත යන්නේ මොකට ද? අද නව සඳ දවසක්වත්, සබත් දවසක්වත් නො වේ යැ” යි ඔහු කී ය.
“ඒකට කමක් නැතැ” යි ඈ පිළිතුරු දුන්නා ය.
24ඈ බූරුවාට සෑදලය යොදා, ඇගේ සේවකයා අමතා, “දක්කාගෙන ඉදිරියට යන්න; මා ඔබට කියන තුරු වේගය අඩු නො කරන්නැ” යි කීවා ය. 25මෙසේ ඈ පිටත් ව, කර්මෙල් කන්දේ සිටි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වෙත පැමිණියා ය.
දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා දුර ඈතදීම ඇය දැක, තම සේවක ගෙහාසී අමතා, “අන්න, ෂූනම්මීය කාන්තාව! 26ඇය හමුවන පිණිස දිව ගොස්, ‘ඔබ හොඳින් ද? ඔබේ සැමියා හොඳින් ද? ඔබේ ළමයා හොඳින් ද?’ කියා ඇගෙන් අසන්නැ” යි පැවසී ය.
“හැමෝම හොඳින්” යයි ඈ කීවා ය.
27ඈ කන්දේ සිටි දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වෙත ළඟා වී, ඔහුගේ පා අල්ලා ගත්තා ය. ඇය අහකට අදින්නට ගෙහාසී ළං විය. එහෙත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා, “ඇය එසේ සිටියාවේ. ඈ සිටින්නේ අධික ශෝකයකින්; එහෙත් ස්වාමින්වහන්සේ එය මගෙන් සැඟ වූ සේක. එය මට කීවේ නැතැ” යි කී ය.
28“මා මගේ ස්වාමින්ගෙන් පුතකු ඉල්ලුවා ද? මා රවටන්නට එපා ය කියා මා කීවේ නැති දැ?” යි ඈ කීවා ය.
29එලීෂා, ගෙහාසී අමතා, “ඔබේ කබායේ පටිය බැඳගෙන, මගේ සැරයටිය අතට ගෙන, දුවන්න. ඔබට කවුරු මුණගැසුනත් ඔහුට ආචාර නො කර, ඔබට කවුරු ආචාර කළත් ඊට පිළිතුරු නො දී, ගොස්, මගේ සැරයටිය ළමයාගේ මුහුණ පිට තබන්නැ” යි කීවේ ය.
30එහෙත් ළමයාගේ මව, “ස්වාමින්වහන්සේ ජීවත් වන වගත්, ඔබ ජීවත් වන වගත් සැබෑ සේ ම, මා ඔබ හැර යන්නේ නැතැ” යි කීවා ය. එබැවින් ඔහු නැගිට, ඇය අනුව ගියේ ය.
31මුලින් එහි ගිය ගෙහාසී ළමයාගේ මුහුණ පිට සැරයටිය තැබී ය. එහෙත් කිසි හඬක් හෝ පණ ඇති ලකුණක් හෝ නො වී ය. එබැවින් ගෙහාසී ආපසු හැරී ගොස්, එලීෂා මුණ ගැසී, “ළමයා අවදි වූයේ නැතැ” යි පැවසී ය.
32එලීෂා නිවස වෙත ළඟා වූ කල, ඔහුගේ යහන පිට මියැදුණු ළමයා හොවා තිබුණේ ය. 33ඔහු ඇතුළට ගොස්, ඔවුන් දෙදෙනා පමණක් සිටියදී දොර වසා, ස්වාමින්වහන්සේට යාච්ඤා කළේ ය. 34ඉන්පසු ඔහු යහනට ගොඩ වී, මුඛය පිට මුඛය ද ඇස් පිට ඇස් ද අත් පිට අත් ද යන වශයෙන් ළමයා පිට දිගා වුණේ ය. ඔහු ළමයා පිට දිගා වූ කල, ඔහුගේ සිරුර උණුසුම් වන්නට විය. 35පසුව ඔහු ඉවත් වී, කාමරයේ එහා මෙහා ඇවිද්දේ ය. ඉන්පසු ඔහු යහනට ගොඩ වී, තවත් වරක් ළමයා පිට දිගා වුණේ ය. ළමයා හත් වරක් කිවිස, තම ඇස් ඇරියේ ය.
36එලීෂා, ගෙහාසී කැඳවා, “ෂූනම්මීය කාන්තාවට හඬ ගසන්නැ” යි කී ය. ඔහු එසේ කළේ ය. ඇය පැමිණි කල, “ඔබේ පුත්‍රයා රැගෙන යන්නැ” යි ඔහු පැවසී ය. 37ඈ ඇතුළට අවුත්, ඔහුගේ පාමුල වැටී, ඉන්පසු තම පුතු රැගෙන පිට ව ගියා ය.
හැළියේ මරණය
38එලීෂා, ගිල්ගාල් වෙත ආපසු ගියේ ය. ඒ පළාතේ සාගතයක් විය. දිවැසිවර කණ්ඩායම ඔහු සමඟ රැස් ව සිටිද්දී, ඔහු තම සේවකයා අමතා, “විශාල මුට්ටිය ලිප තබා, මේ මිනිසුන්ට ව්‍යංජන හොද්දක් හදන්නැ” යි කී ය.
39ඔවුන්ගෙන් කෙනෙක් පලා නෙළන්නට කෙතට ගිය අතර, එහිදී ඔහුට වල් වැලක් සම්බ විය. ඔහු ඒ වල් කැකිරිවලින් තම සාළුව පුරවා, ආපසු අවුත්, ඒවා කැබලි කපා, හොදි හැළියට දැමී ය. ඒ බව කිසිවෙක් දැන සිටියේ නැත. 40එම ව්‍යංජන හොදි මිනිසුන්ට බෙදා දෙන ලදී. එහෙත් ඔවුහු එය කන්නට පටන් ගත් කල, මොර ගසමින්, “අහෝ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, හැළියේ මරණය යැ” යි කීහ. ඔවුන්ට ඒවා කන්නට නො හැකි විය.
41එවිට එලීෂා, “පිටි ටිකක් ගේන්නැ” යි කී ය. ඔහු එය හැළියට දමා, “මිනිසුන්ට කන්නට ඒවා බෙදා දෙන්නැ” යි කී ය. හැළිය තුළ හානිකර දෙයක් නො විණි.
සියයකට කන්නට දීම
42බාල්-ෂාලිෂා සිට පැමිණි මිනිසෙක් ප්‍රථම ධාන්‍ය අස්වැන්නෙන් සෑදූ යව රොටි විස්සක් ද අලුත් ධාන්‍ය කරල් ද තම මල්ලේ දමා, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වෙත ගෙනාවේ ය. “මිනිසුන්ට කන්නට ඒවා දෙන්නැ” යි එලීෂා කී ය.
43එහෙත් ඔහුගේ සේවකයා, “මා මේක මිනිසුන් සියයක් ඉදිරියේ තබන්නේ කෙසේ දැ?” යි ඇසී ය.
එහෙත් එලීෂා පිළිතුරු දෙමින්, “ඒවා මිනිසුන්ට කන්න දෙන්න. ‘ඔවුන් කා, ඉතිරි කරනු ඇතැ’ යි ස්වාමින්වහන්සේ පවසන සේකැ” යි කී ය. 44එවිට ඔහු ඒවා ඔවුන් ඉදිරියේ තැබී ය. ස්වාමින්වහන්සේගේ වචනයට අනුව ඔවුන් කෑ පසු ඉතිරි වී තිබිණ.
Currently Selected:
2 රාජාවලිය 4: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.