YouVersion Logo
Search Icon

2 රාජාවලිය 23

23
ගිවිසුම අලුත් කිරීම
1ඉන්පසු රජු පණිවුඩ යවා, යූදා සහ යෙරුසලම් වැඩිහිටි සියල්ලන් එකට එක් රැස් කළේ ය. 2ඔහු සියලු යූදා මිනිසුන් හා සියලු යෙරුසලම් වාසීන්, පූජකයින් හා දිවැසිවරුන් යන ලොකු කුඩා සියලු මිනිසුන් සමඟ ස්වාමින්වහන්සේගේ ගෘහයට ගොස්, ස්වාමින්වහන්සේගේ ගෘහයේදී හමුව තිබූ ගිවිසුම් පොතේ සියලු වචන ඔවුන් අසාගෙන සිටිද්දී කියවී ය. 3රජු කුලුන පසෙක සිටගෙන, මේ පොතේ සඳහන් ගිවිසුමේ වචන ඉටු කරන ලෙස, ස්වාමින්වහන්සේ අනුගමන කරන පිණිසත්, තමාගේ මුළු හදවතින් හා තමාගේ මුළු ජීවයෙන් උන්වහන්සේගේ ආඥා ද උන්වහන්සේගේ පනත් හා නියෝග ද රක්ෂා කරන පිණිසත්, ස්වාමින්වහන්සේ අබියස ගිවිසුමක් කළේ ය. එවිට මුළු ජනතාව ගිවිසුම පැවැත්වීමට පොරොන්දු වූහ.
4ඉන්පසු රජු, බාල් දේවතාවුන්ට ද අෂේරා දේවතාවියට ද සියලු ග්‍රහ-තරු මණ්ඩලවලට ද සාදා තිබූ භාණ්ඩ සියල්ල ස්වාමින්වහන්සේගේ මාලිගයෙන් ඉවත් කරන්නට උත්තම පූජක හිල්කීයාට ද ඊළඟ පන්තියේ පූජකයින්ට ද දොරටුපාලයින්ට ද නියෝග කළේ ය. ඔහු යෙරුසලමෙන් පිටත, කිද්‍රොන් නිම්නයේ පිට්ටනිවලදී ඒවා පුලුස්සා, ඒවායේ අළු බෙතෙල් වෙත ගෙන ගියේ ය. 5යූදා නගරවල හා යෙරුසලම අවට තිබූ උස් තැන් පුදසුන් පිට බාල් දෙවියාට, ඉරට හා හඳට, තාරකා පද්ධතිවලට හා සියලු ග්‍රහ-තරු මණ්ඩලවලට සුවඳ දුම් ඔප්පු කිරීමට යූදා රජවරුන් විසින් පත් කර සිටි පූජකයින් ද ඔහු පහ කර දැම්මේ ය. 6අෂේරා කණුව ස්වාමින්වහන්සේගේ ගෘහයෙන් පිටතට ගෙනා ඔහු යෙරුසලමෙන් පිටත කිද්‍රොන් නිම්නය වෙත ගෙන ගොස්, එහිදී එය පුලුස්සා දැමී ය. ඔහු එය සුනු කර, පොදු ජනයාගේ සොහොන් කොත් පිට විසුරුවා දැමී ය. 7ස්වාමින්වහන්සේගේ ගෘහයේ සිටි පිරිමි දේවාල ගණිකාවන්ගේ නිවෙස් ඔහු බිඳ දැමී ය. ඒවායෙහි ස්ත්‍රීහු අෂේරා කණුවලට තිර වියූහ.
8තවද යොෂීයා, යූදා නගරවලින් පූජකයින් සියලු දෙනා කැඳවා, ගෙබා පටන් බෙයර්ෂෙබා දක්වා පූජකයින් සුවඳ දුම් දැවූ උස් තැන් පුදසුන් කෙලෙසා දැම්මේ ය. පුර පවුරට වම් පැත්තෙන් වූ පුර-ආණ්ඩුකාර යෝෂුවාගේ දොරටු පිවිසුමේ වූ පුදසුන් ඔහු බිඳ දැම්මේ ය. 9උස් තැන් පුදසුන්වල පූජකයෝ, යෙරුසලමේ ස්වාමින්වහන්සේගේ පූජාසනය ළඟ මෙහෙ නො කළා වුව ද, තම සහෝදර පූජකයින් සමඟ නුමුහුන් රොටි අනුභව කළහ.
10ඔහු බෙන්-හින්නොම් මිටියාවතේ වූ තොෆෙත් කෙලෙසී ය. එබැවින් කිසිවකුට තම පුතු හෝ දියණිය හෝ මොලෙක් දේවතාවාට ගින්නෙහි යාග කරන්නට එය භාවිත කළ නො හැකි විය. 11ස්වාමින්වහන්සේගේ ගෘහ පිවිසුම අසල පිහිටි මළුවෙහි නාතාන්-මෙලෙක් නම් නිලධාරියාගේ කුටිය අසල වූ යූදා රජුන් විසින් සූර්යයාට කැප කළ අශ්වයින් ඉවත් කළ යොෂීයා ඉන්පසු සූර්යයාට කැප කර තිබූ රථ පුලුස්සා දැමී ය.
12ආහාස්ගේ ඉහළ කුටියේ පියස්ස මත යූදා රජවරුන් විසින් ඉදිකර තිබූ පූජාසන ද ස්වාමින්වහන්සේගේ ගෘහ මිදුලේ මළු දෙක තුළ මනස්සේ විසින් තනා තිබූ පූජාසන ද ඔහු බිම හෙළා, කෑලි කෑලිවලට කඩා, කිද්‍රොන් නිම්නයට විසිකර දැමී ය. 13යෙරුසලමට නැගෙනහිර දෙසින් විනාශයේ කන්දට දකුණින්, සීදොන්වරුන්ගේ පිළිකුල වූ අෂ්තොරෙත්ටත්, මෝවබ්ගේ පිළිකුල වූ කෙමොෂ්ටත්, අම්මොන් ජනයාගේ පිළිකුල වූ මිල්කොම්ටත්, ඉශ්‍රායෙල් රජු වූ සාලමොන් විසින් ඉදිකර තිබූ උස් තැන් පුදසුන් යොෂීයා රජු කෙලෙසා දැම්මේ ය. 14ඔහු රූප ස්තම්භ පොඩිකර, අෂේරා කණු කපා හෙළා, මිනී ඇටකටුවලින් ඒ බිම් පිරවී ය.
15ඉශ්‍රායෙල් ජනතාවට පව් කරන්නට සැලැස් වූ නෙබාට්ගේ පුත්‍ර යෙරොබොවම් විසින් සාදන ලද බෙතෙල්හි පූජාසනය පවා එහි උස් තැන් පුදසුන සමඟ ඔහු බිඳ හෙළී ය. ඔහු උස් තැන් පුදසුන පුලුස්සා, දූලි වන තෙක් කුඩුකර, අෂේරා කණුව ද පුලුස්සා දැමී ය. 16තවද යොෂීයා හැරී බලා, කන්දේ තිබූ සොහොන් කොත් දැක, ඒවායේ වූ ඇටකටු පිටතට ගෙන, පූජාසනය පිට ඒවා දවා දමමින් එය කෙලෙසී ය. ඔහු එසේ කළේ, මේ දේවල් සිදුවන වග කලින් පැවසූ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ප්‍රකාශ කළ ස්වාමින්වහන්සේගේ වචනයට අනුව ය.
17රජු කතා කොට, “මට පේන අර සොහොන් කොත මොකක් දැ?” යි ඇසී ය.
එපුර මිනිස්සු පිළිතුරු දෙමින්, “මේ බෙතෙල් පූජාසනයට ඔබ කළ මේ දේ යූදා සිට පැමිණ, කලින් ප්‍රකාශ කළ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාගේ සොහොන් කොත යැ” යි පැවසූහ.
18එවිට ඔහු කතා කොට, “ඔහු එහෙම සිටියාවේ. ඔහුගේ ඇටකටුවලට අත ගසන්නට කිසිවකුට ඉඩ නො හරිනු” යි පැවසී ය. එබැවින් ඔවුහු ඔහුගේ ඇටකටු ද සමාරියෙන් පැමිණි දිවැසිවරයාගේ ඇටකටු ද එසේ තිබෙන්නට හැරියහ.
19 ස්වාමින්වහන්සේ කෝප කරවන හැටියට ඉශ්‍රායෙල් රජුන් සමාරියේ නගරවල ඉදිකර තිබූ උස් තැන් පුදසුන් සියල්ල යොෂීයා බෙතෙල්හි දී තමා කළ පරිදි ඉවත් කර, ඒවා කෙලෙසා දැම්මේ ය. 20යොෂීයා උස් තැන් පුදසුන්හි පූජකයින් එම පුදසුන් මත මරා, ඒ මත මිනිස් ඇටකටු දවා දැම්මේ ය. ඉන්පසු ඔහු යෙරුසලම වෙත ආපසු හැරී ගියේ ය.
21ඉන්පසු රජු මුළු ජනතාවට නියෝග කරමින්, “මේ ගිවිසුම් පොතේ සඳහන් පරිදි ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට පාස්කු මංගල්‍යය සමරන්නැ” යි පැවසී ය. 22ඉශ්‍රායෙල්වරුන් පාලනය කළ විනිසුරුවන්ගේ දවස්හි දී හෝ ඉශ්‍රායෙල් රජවරුන්ගේ හා යූදා රජවරුන්ගේ මුළු දවස්හි දී හෝ එවැනි පාස්කු මංගල්‍යයක් පවත්වා තිබුණේ නැත. 23එහෙත් යොෂීයා රජුගේ දහඅට වන වසරේදී යෙරුසලමේදී ස්වාමින්වහන්සේට මෙම පාස්කු මංගල්‍යය පැවැත්විණි.
24තවද යොෂීයා අනවිනකරුවන් ද ආත්ම බන්ධනකරුවන් ද ගෘහ දේවතා පිළිම හා රූප ද යූදා හා යෙරුසලමේ දක්නට ලැබුණු සෙසු සියලු පිළිකුල් දෑ ද පහ කර දැමී ය. ඔහු එසේ කළේ ස්වාමින්වහන්සේගේ ගෘහයේදී පූජක හිල්කීයාට හමුව තිබූ පොතේ සඳහන් නියමයන් සම්පූර්ණ කරනු පිණිස ය. 25මෝසෙස්ගේ මුළු ව්‍යවස්ථාවට අනුව තම මුළු හදවතින් ද තම මුළු ජීවයෙන් ද තම මුළු ශක්තියෙන් ද ස්වාමින්වහන්සේ වෙත හැරුණු යොෂීයා හා සමාන රජකු ඔහුට පෙර හෝ ඔහුට පසුව හෝ සිටියේ නැත.
26එසේ වුවත් ස්වාමින්වහන්සේ කෝප කරවන පිණිස මනස්සේ විසින් කර තිබූ සියල්ල නිසා, යූදාට එරෙහිව ඇවිළුණු තම දැවෙන කෝපයෙන් උන්වහන්සේ ඉවත හැරුණේ නැත. 27එබැවින් ස්වාමින්වහන්සේ කතා කොට, “මා ඉශ්‍රායෙල් අහක් කර දැමූ ලෙස මා අබියසින් යූදා ද අහක් කර දමන්නෙමි. මා තෝරාගත් මගේ පුරවරය වන යෙරුසලම ද ‘මගේ නාමය එහි වන්නේ යැ’ යි මා පැවසූ මේ ගෘහය ද මම ප්‍රතික්ෂේප කරන්නෙමි” යි පැවසූ සේක.
28යොෂීයා සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල ද යූදා රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද?
29යොෂීයාගේ දවස්වලදී ඊජිප්තුවේ රජු වූ පාරාවෝ නෙකො, අසිරියාවේ රජුට උපකාර කරන්නට යුප්‍රටීස්#23:29 යුප්‍රටීස් හෙවත් පෙරාත් ගඟ තෙක් ගියේ ය. යොෂීයා රජු ඔහුට මුහුණ දෙන්නට ගිය නමුදු නෙකො ඔහු දුටු විගස ඔහු මරා දැමී ය. 30යොෂීයාගේ සේවකයෝ ඔහුගේ සිරුර රථයක තබා මෙගිද්දෝ සිට යෙරුසලමට ගෙනවුත්, ඔහුගේ සොහොනේ භූමදාන කළහ. දේශයේ ජනයා යොෂීයාගේ පුත් යෙහෝවාහාස් ආලේප කර, ඔහුගේ පියා වෙනුවට ඔහු රජකමට පත් කර ගත්හ.
යූදාහි යෙහෝවාහාස් රජු
31යෙහෝවාහාස් විසිතුන් වියේදී රජ වී, යෙරුසලමෙහි තුන් මසක් රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම හමූටල් ය. ඈ ලිබ්නාහි යෙරමියාගේ දියණිය ය. 32ඔහු තම පියවරුන් කර තිබූ සියල්ල පරිදි ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කළේ ය. 33ඔහු යෙරුසලමේ රජකම් නො කරන පිණිස පාරාවෝ නෙකො, හමාත් දේශයේ රිබ්ලාහි දී ඔහු යදමින් බැඳ, යූදා දේශයට රිදී තලෙන්ත සියයක#23:33 මෙට්‍රික් ටොන් 3.4ක් පමණ. හා රන් තලෙන්තයක#23:33 කිලෝග්‍රෑම් 34ක් පමණ. දඩයක් ගැසී ය. 34පාරාවෝ නෙකො, යොෂීයා රජුගේ පුත් එලියාකීම්, යොෂීයාගේ තනතුරට පත් කොට, එලියාකීම්ගේ නම යෙහෝයාකීම් යනුවෙන් වෙනස් කළේ ය. එහෙත් ඔහු යෙහෝවාහාස් ඊජිප්තුවට ගෙන ගියේ ය. එහිදී ඔහු මිය ගියේ ය. 35පාරාවෝ නෙකො නියම කළ රිදී හා රන් යෙහෝයාකීම් ගෙවී ය. ඒ සඳහා ඔහු දේශයේ ජනයාගෙන් එකිනෙකාට නියම කළ තක්සේරුවට අනුව රිදී හා රන් බද්දක් අය කර ගත්තේ ය.
යූදාහි යෙහෝයාකීම් රජු
36යෙහෝයාකීම් රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විසිපහක් විය; ඔහු යෙරුසලමෙහි වසර එකොළහක් රජකම් කළේ ය. රූමාහි පෙදායාගේ දියණිය වූ ඔහුගේ මවගේ නම සෙබීදා ය. 37ඔහු තම පියවරුන් කර තිබූ සියල්ල පරිදි ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දේ කළේ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in