2 රාජාවලිය 24
24
1යෙහෝයාකීම්ගේ පාලන සමයේ බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර් දේශය ආක්රමණ කළේ ය. යෙහෝයාකීම් වසර තුනක් ඔහුට සේවය කළේ ය. පසුව සිත වෙනස් කර ගත් ඔහු නෙබුකද්නෙසර්ට එරෙහිව කැරලි ගැසී ය. 2ස්වාමින්වහන්සේ ඔහුට එරෙහිව කල්දිවරුන්ගේ#24:2 කල්දිවරුන්ගේ හෙවත් බබිලෝනිවරුන්ගේ ද අරාම්වරුන්ගේ ද මෝවබ්වරුන්ගේ ද අම්මොන්වරුන්ගේ ද කොල්ලකාර හමුදාවන් යැවුවේ, උන්වහන්සේගේ සේවකයන් වන දිවැසිවරුන් විසින් ප්රකාශ කරන ලද ස්වාමින්වහන්සේගේ වචනයට අනුව යූදා විනාශ කරන පිණිස ය. 3සැබවින් ස්වාමින්වහන්සේගේ ආඥාවට අනුව යූදා ජනයාට මේ දෑ සිදු වූයේ, උන්වහන්සේ තමන් අබියසින් ඔවුන් පහ කරන පිණිස ය. ඒ මනස්සේගේ බොහෝ පාප හා ඔහු කළ සියල්ල ද 4ඔහු වැගුරූ නිදොස් ලේ ද නිසා ය. ඔහු නිදොස් ලේවලින් යෙරුසලම පුරවාලූ බැවින් ස්වාමින්වහන්සේ කමා වන්නට අකමැති වූ සේක.
5යෙහෝයාකීම් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල ද යූදා රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? 6යෙහෝයාකීම් තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඔහු වෙනුවට ඔහුගේ පුත් යෙහෝයාකීන් රජකමට පත් විය.
7ඊජිප්තු ඔය පටන් යුප්රටීස්#24:7 යුප්රටීස් හෙවත් පෙරාත් ගංගාව දක්වා වූ තමන්ගේ මුළු පළාත බබිලෝනියේ රජු විසින් අල්ලාගෙන තිබූ බැවින්, ඊජිප්තුවේ රජු තම දේශයෙන් පිටතට තවත් ආවේ නැත.
යූදාහි යෙහෝයාකීන් රජු
8යෙහෝයාකීන් රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු දහඅටකි. ඔහු යෙරුසලමේ මාස තුනක් රජකම් කළේ ය. ඔහුගේ මව යෙරුසලමෙහි එල්නාතාන්ගේ දියණිය වූ නෙහුෂ්තා ය. 9තම පියා කර තිබූ පරිද්දෙන් ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුරු දෑ කළේ ය.
10එකල බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙසර්ගේ නිලධාරීහු යෙරුසලමට එරෙහිව අවුත්, එය වැටලූහ. 11ඔහුගේ නිලධාරීන් එපුර වටලා සිටියදී බබිලෝනි රජු, නෙබුකද්නෙසර් එහි පැමිණියේ ය. 12යූදා රජු වූ යෙහෝයාකීන්, ඔහුගේ මව, ඔහුගේ සේවකයින්, ඔහුගේ වංශවතුන් හා ඔහුගේ නිලධාරීන් යන සියල්ලෝ ඔහුට යටත් වූහ.
බබිලෝනි රජු තම පාලනයේ අට වන අවුරුද්දේ යෙහෝයාකීන් සිර භාරයට ගත්තේ ය. 13ස්වාමින්වහන්සේ ප්රකාශ කර තිබූ පරිදි නෙබුකද්නෙසර්, ස්වාමින්වහන්සේගේ ගෘහයෙන් හා රජ මැදුරෙන් සියලු අනර්ඝ දේ ඉවතට ගත්තේ ය. ඉශ්රායෙල් රජු වූ සාලමොන් විසින් ස්වාමින්වහන්සේගේ මාලිගය උදෙසා තනා තිබූ සියලු රන් භාණ්ඩ ඔහු කෑලිවලට කැපී ය. 14ඔහු සියලු නිලධාරීන් හා සටන්කරුවන්, ශිල්පීන් හා ලෝකරුවන් යන මුළු යෙරුසලම ම, එනම් දස දහස් දෙනකු පිටුවහල් කොට ගෙන ගියේ ය. ඉතිරි ව සිටියේ දේශයේ ඉතා දිළිඳු ජනයා පමණකි.
15නෙබුකද්නෙසර්, යෙහෝයාකීන් බබිලෝනිය වෙත පිටුවහල් කොට ගෙන ගියේ ය. තවද ඔහු රජුගේ මව ද ඔහුගේ භාර්යාවන් ද ඔහුගේ නිලධාරීන් හා දේශයේ නායකයින් ද යෙරුසලමේ සිට බබිලෝනියට ගෙන ගියේ ය. 16බබිලෝනියේ රජු යුද්ධයට දක්ෂ හත්දහසක මුළු හමුදා බළඇණිය ද ශිල්පීන් හා ලෝකරුවන් දහසක් ද බබිලෝනිය වෙත පිටුවහල් කොට ගෙන ගියේ ය. 17ඔහු යෙහෝයාකීන්ගේ බාප්පා වන මත්තනියා ඔහු වෙනුවට රජකමට පත් කර, ඔහුගේ නම සෙදෙකියා යනුවෙන් වෙනස් කළේ ය.
යූදාහි සෙදෙකියා රජු
18සෙදෙකියා රජකමට පත් වන කල, ඔහුගේ වයස අවුරුදු විසිඑකක් විය. ඔහු යෙරුසලමෙහි වසර එකොළහක් රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම හමූටල් ය. ඈ ලිබ්නාහි යෙරමියාගේ දියණිය ය. 19යෙහෝයාකීම් කළ පරිදි ම ඔහු ද ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දෑ කළේ ය. 20යෙරුසලමටත්, යූදාටත් මේ සියලු දෑ සිදු වූයේ, ස්වාමින්වහන්සේගේ කෝපය නිසා ය. අවසානයේදී උන්වහන්සේ තමන් අබියසින් ඔවුන් පන්නා දැමූ සේක.
තවද සෙදෙකියා බබිලෝනියේ රජුට එරෙහිව කැරලි ගැසී ය.
Currently Selected:
2 රාජාවලිය 24: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.