1 සාමුවෙල් 7
7
1කිරියත්-යෙයාරීම්හි මිනිස්සු අවුත්, ස්වාමින්වහන්සේගේ කරඬුව ඔසවාගෙන, කඳු ගැටයෙහි වූ අබිනාදාබ්ගේ නිවසට ගෙන ආහ. ස්වාමින්වහන්සේගේ කරඬුවේ භාරකාරත්වය පවරමින්, අබිනාදාබ්ගේ පුත් එලෙයාසර් ඊට කැප කළහ. 2කරඬුව, කිරියත්-යෙයාරීම්හි ලැගුම් ගත් දවසේ සිට දිගු කලක්, විසි වසරක් ගත විණ.
මිස්පාහි දී
සියලු ඉශ්රායෙල් වංශිකයෝ ස්වාමින්වහන්සේ සොයා වැලපුණහ. 3සාමුවෙල් මුළු ඉශ්රායෙල් වංශයට කතා කොට, “නුඹලාගේ මුළු හදින් නුඹලා ස්වාමින්වහන්සේ වෙත හැරී එනවා නම්, විදේශීය දෙවිවරුන් හා අෂ්තොරෙත් නුඹලා අතරින් පහ කර දමනු. ස්වාමින්වහන්සේ වෙත හදවත යොමා, උන්වහන්සේට පමණක් සේවය කරනු. එවිට උන්වහන්සේ පිලිස්තිවරුන් අතින් නුඹලා ගලවා ගනු ඇතැ” යි කීවේ ය. 4එබැවින් ඉශ්රායෙල්වරු ඔවුන්ගේ බාල් දේවතාවුන් සහ අෂ්තොරෙත් දේවතාවන් ඉවත දමා, ස්වාමින්වහන්සේට පමණක් සේවය කරන්නට වන්හ.
5එකල සාමුවෙල් කතා කොට, “සියලු ඉශ්රායෙල්වරුන් මිස්පා වෙත එක් රැස් කරන්න. ඔබ උදෙසා මම, ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්නෙමි” යි කීවේ ය. 6මිස්පාහි එක් රැස් වූ ඔවුහු වතුර ඇද, ඒවා ස්වාමින්වහන්සේ ඉදිරියේ වැගිරවූහ. ඒ දවසේ ඔවුහු නිරාහාර ශීලය රක්ෂා කළෝ, “ස්වාමින්වහන්සේට එරෙහිව අපි පව් කළෙමු” යි පාපොච්චාරණ කළෝ ය. සාමුවෙල් මිස්පාහි දී ඉශ්රායෙල්වරුන් විනිශ්චය කළේ ය.
7ඉශ්රායෙල්වරුන් මිස්පාහි එක් රැස් වූ වග පිලිස්තිවරුන්ට සැල වූ කල, පිලිස්තීය අධිපතීහු ඉශ්රායෙල්වරුන්ට එරෙහිව නැගී ආහ. ඉශ්රායෙල් ජනයා ඒ වග ඇසූ කල, පිලිස්තිවරුනට භය වූහ. 8ඉශ්රායෙල් ජනයා සාමුවෙල්ට කතා කොට, “පිලිස්තිවරුන්ගේ අතින් උන්වහන්සේ අප ගලවා ගන්නා පිණිස, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට අප උදෙසා මොර ගැසීම නො නවත්වන්නැ” යි ඉල්ලූහ. 9එවිට සාමුවෙල් කිරි-බැටළු පැටවකු ගෙන, ස්වාමින්වහන්සේට සම්පූර්ණ දවන යාග පූජාවක් වශයෙන් ඔප්පු කළේ ය. ඉශ්රායෙල් උදෙසා ඔහු ස්වාමින්වහන්සේට කන්නලව් කළේ ය. ස්වාමින්වහන්සේ ඔහුට උත්තර දුන් සේක.
10සාමුවෙල් දවන යාග පූජාව ඔප්පු කරන අතරේ, පිලිස්තිවරු ඉශ්රායෙල්ට පහර දීමට ළං වූහ. එහෙත් ඒ දවසේ ස්වාමින්වහන්සේ පිලිස්තිවරුන්ට විරුද්ධ ව මහ හඬකින් ගර්ජනා කොට, කොතරම් සංත්රාසයකට ඔවුන් ඇද දැමුවේ ද යත්, ඔවුහු ඉශ්රායෙල්වරුන් අබියසින් පලා ගියහ. 11එකල මිස්පා වෙතින් පිටතට වන් ඉශ්රායෙල්වරු පිලිස්තීන් ලුහුබඳිමින් පහළ බෙත්-කාර් වෙත යන තෙක් ම ඔවුන් ගසා හෙළූහ.
12ඉන්පසු සාමුවෙල් ගලක් ගෙන, මිස්පා හා ෂේන් අතර එය පිහිටුවා, “මෙතරම් දුරක් ස්වාමින්වහන්සේ අපට පිහිට වූ සේකැ” යි කියමින්, එබෙන්-ඒසෙර්#7:12 එබෙන්-ඒසෙර් එනම් පිහිටවීමේ ගල යයි ඊට නම් තැබී ය.
13මෙසේ යටත් කරනු ලැබූ පිලිස්තිවරුන් යළි ඉශ්රායෙල් ප්රදේශ ආක්රමණ කළේ නැත. ස්වාමින්වහන්සේගේ හස්තය සාමුවෙල්ගේ ජීවිත කාලය පුරා ම පිලිස්තිවරුන්ට එරෙහිව පැවැත්තේ ය. 14ඉශ්රායෙල් වෙතින් පිලිස්තිවරුන් අල්ලාගෙන තිබූ එක්රෝන් සිට ගාත් දක්වා වූ නගර ඉශ්රායෙලයට යළි දෙනු ලැබිණ. එම නගර අයත් ප්රදේශ ඉශ්රායෙල්වරු පිලිස්ති ග්රහණයෙන් මුදා ගත්හ. ඉශ්රායෙල්වරුන් හා අමෝරිවරුන් අතරේ ද සාමය පැවතිණ.
15සාමුවෙල් තම ජීවිතයේ සියලු දවස්හි ඉශ්රායෙල් ජනයා විනිශ්චය කළේ ය. 16ඔහු වසරක් පාසා බෙතෙල් වෙත ද ගිල්ගාල් වෙත ද මිස්පා වෙත ද යමින්, ඒ සියලු තැන්හි ඉශ්රායෙල්වරුන් විනිශ්චය කරමින්, චාරිකා කළේ ය. 17ඒ හැම විටෙක ඔහු රාමා වෙත ආපසු යන්නේ ය. ඔහුගේ නිවස තිබුණේ එහි ය. එහි සිට ද ඔහු ඉශ්රායෙල් විනිශ්චය කළේ ය. ස්වාමින්වහන්සේට පූජාසනයක් ඔහු එහි ඉදි කළේ ය.
Currently Selected:
1 සාමුවෙල් 7: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.