1 සාමුවෙල් 8
8
රජකු ඉල්ලීම
1සාමුවෙල් මහලු වූ කල, ඔහු තම පුතුන් ඉශ්‍රායෙල්හි විනිසුරුවන්#8:1 විනිසුරුවන් එනම් නායකයින් කොට පත් කළේ ය. 2ඔහුගේ කුලුඳුල් පුතුගේ නම යෝවෙල් ය. දෙවැන්නාගේ නම අබියා ය. ඔවුහු බෙයර්ෂෙබාහි විනිසුරුවන් ලෙස කටයුතු කළහ. 3එහෙත් ඔහුගේ පුතුන්, ඔහුගේ මාර්ගවල හැසිරුණේ නැත. අයුතු වාසිය වෙත හැරී ගිය ඔවුහු අල්ලස් ගෙන, යුක්තිය පෙරළූහ.
4එබැවින් ඉශ්‍රායෙල් සියලු වැඩිමහල්ලෝ එකට එක් රැස් ව, සාමුවෙල් වෙත රාමාට ආහ. 5ඔවුහු ඔහු අමතමින්, “බලන්න, ඔබ දැන් මහලුයි. ඔබේ පුතුන් ඔබේ මාර්ගවල ගමන් කරන්නේ නෑ. එනිසා අනෙක් හැම ජාතියකට වගේ ම අප විනිශ්චය කරන්නට අපටත් රජකු පත් කර දෙන්නැ” යි ඉල්ලූහ.
6එහෙත්, “අප විනිශ්චය කරන්නට අපට රජකු දෙන්නැ” යි යන ඔවුන්ගේ කීමට, සාමුවෙල් නො සතුටු විය. එබැවින් ඔහු ස්වාමින්වහන්සේට යාච්ඤා කළේ ය. 7ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “ජනතාව ඔබට කියන සියල්ල ගැන ඔවුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න. මන්ද, ඔවුන්, ඔබ ප්‍රතික්ෂේප කරනවා නො වේ. ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ, මා ඔවුන්ගේ රජු ව සිටීමයි. 8ඊජිප්තුවෙන් පිටතට මා ඔවුන් ගෙන ආ දවසේ පටන් මේ අද දවස දක්වා, මා අත්හැර දමමින් ද අන් දෙවිවරුනට සේවය කරමින් ද ඔවුන් ක්‍රියා කළ පරිදි ඔවුහු ඔබටත් කරති. 9දැන්, ඔවුන්ගේ හඬට සවන් දෙන්න. එහෙත්, ඔවුන් අතරේ ආණ්ඩු කරන රජු තම අයිතිවාසිකම ලෙස කෙලෙස ක්‍රියා කරයි ද යන්න ගැන බැරෑරුම් ව අවවාද කරමින්, ඔවුනට පෙන්වා දෙන්නැ” යි පැවසූ සේක.
10එබැවින් සාමුවෙල් තමාගෙන් රජකු ඉල්ලූ ජනයාට ස්වාමින්වහන්සේ පැවසූ හැම වදනක් ම පැවසී ය. 11ඔහු කතා කරමින්, “නුඹලා කෙරේ රජකම් කරන රජු තම අයිතිවාසිකම ලෙස කරනුයේ මෙලෙසයි; ඔහු ඔබේ පුතුන් ගෙන, ඔහුගේ රථවල සේවයට හා ඔහුගේ අසරුවන් වශයෙන් හා ඔහුගේ රථවලට පෙරටුව දුවන්නට පත් කර ගනු ඇත. 12ඔහු ඇතමකු දහසකට සෙන්පති ලෙසින් ද ඇතමකු පනසකට සෙන්පති ලෙසින් ද පත් කරනු ඇත. ඔහු තමාගේ ඉඩම් අස්වද්දන්නට හා අස්වනු නෙළන්නට ඇතමුන් පත් කරනු ඇත. සෙස්සන් ඔහුගේ යුද-අවි හා රථ උපකරණ තනන්නට ද යොදවනු ඇත. 13ඔහු ඔබගේ දූවරුන් සුවඳ විලවුන් සාදන්නියන් ද අහර පිසින්නියන් ද පාන් පුලුස්සන්නියන් ද යන වශයෙන් ගනු ඇත. 14ඔහු ඔබගේ හොඳ ම කෙත් වතු ද මිදි වතු ද ඔලීව උයන් ද ගෙන, තම අධිකාරීන්ට දෙනු ඇත. 15ඔහු ඔබගේ ධාන්‍යවලින් හා මිදි යුෂවලින් දසයෙන් කොටසක් ගෙන, ඒවා තම නිලධාරීන්ට හා අධිකාරීන්ට දෙනු ඇත. 16ඔහු ඔබගේ සේවක සේවිකාවන් ද ඔබගේ හොඳ ම ගවයින්#8:16 ගවයින් හෙබ්‍රෙව් තරුණයින් ද බූරුවන් ද ස්වකීය ප්‍රයෝජනය සඳහා ගනු ඇත. 17ඔහු ඔබගේ එළු බැටළු රංචුවලින් දසයෙන් එකක් ගනු ඇත. නුඹලා ඔහුගේ දාසයින් බවට පත් වනු ඇත. 18එදවස පැමිණි කල, ඔබ ම තෝරාගත් ඔබේ රජු නිසා, ඔබ මොර ගසනු ඇත. එහෙත් ස්වාමින්වහන්සේ ඒ දවසේදී ඔබට උත්තර දෙන්නේ නැතැ” යි පැවසී ය.
19කෙසේ වුව ද ජනයා සාමුවෙල්ට සවන් දීම ප්‍රතික්ෂේප කළහ. “නැත. අපටත් රජකු ඕනෑ මැ” යි කී ඔවුහු, 20“එවිට අප විනිශ්චය කරන්නට ද අපට පෙරටුව යන්නට හා අපේ යුද්ධවලදී සටන් වදින්නට ද රජකු ඇති ව අපත් අන් සියලු ජාතීන් මෙන් වනු ඇතැ” යි කීහ.
21ජනයා කී සියලු වචන ඇසූ සාමුවෙල්, ස්වාමින්වහන්සේගේ සවන් ඉදිරියේ ඒවා යළි පැවසී ය. 22ස්වාමින්වහන්සේ පිළිතුරු දුන් සේක්, “ඔවුන්ට සවන් දී, ඔවුන්ට රජකු පත් කර දෙන්නැ” යි පැවසූ සේක.
ඉන්පසු ඉශ්‍රායෙල් මිනිසුන් ඇමතූ සාමුවෙල්, “හැම කෙනකු ම තම තමන්ගේ නගරවලට යනු” යි පැවසී ය.
Currently Selected:
1 සාමුවෙල් 8: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.