YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 6

6
කරඬුව ආපසු යැවේ
1 ස්වාමින්වහන්සේගේ කරඬුව, පිලිස්තිවරුන්ගේ රටේ හත් මාසයක් තිබිණි. 2පූජකයින් ද පේන කියන්නන් ද කැඳවූ පිලිස්තිවරු, ඔවුන් අමතමින්, “ස්වාමින්වහන්සේගේ කරඬුව සම්බන්ධ ව අප විසින් කළ යුත්තේ කුමක් ද? එහි නියමිත ස්ථානයට අප එය යැවිය යුත්තේ කෙසේදැයි අපට කියන්නැ” යි ඉල්ලා සිටියහ.
3ඔවුහු පිළිතුරු දෙමින්, “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ කරඬුව ඔබ ආපසු යවනවා නම්, එය නිකම්ම නො යවන්න. පව් නසන පූජාවක් නියතින් ම උන්වහන්සේට යවන්න. එවිට ඔබ සුවපත් වේවි; උන්වහන්සේගේ හස්තය, ඔබ වෙතින් ඉවත් නො වූ හේතුවත්, ඔබට දැනගත හැකි වේවි” යි කීහ.
4ඔවුහු ප්‍රශ්න කරමින්, “අප උන්වහන්සේට යැවිය යුත්තේ වරද සඳහා වන කවර පූජාවක් දැ?” යි ඇසූහ.
ඔවුහු පිළිතුරු දෙමින්, “පිලිස්තීය අධිපතීන්ගේ ගණන පරිදි, රනින් කළ විස ගඩු පහක් හා රනින් කළ මීයන් පහකි. මන්ද ඔබටත්, ඔබේ අධිපතීන්ටත් පහර දුන්නේ එක ම උපද්‍රවයකිනි. 5ඔබගේ විස ගඩුවල හා රට වනසන ඔබගේ මීයන්ගේ අනුරූප සාදා, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ ගෞරවයට පත් කරන්න. ඇතැම් විට උන්වහන්සේ ඔබ වෙතින් ද ඔබේ දෙවිවරුන් වෙතින් ද ඔබේ දේශය වෙතින් ද ස්වකීය හස්තය සැහැල්ලු කර ගනු ඇත. 6ඊජිප්තුවරු හා පාරාවෝ රජු තම හදවත් දැඩි කර ගත් සේ ඔබත් ඔබේ හද දැඩි කර ගන්නේ ඇයි? උන්වහන්සේ ඔවුන්ට තද අන්දමින් සැලකූ විට ඔවුන් ඉශ්‍රායෙල් ජනයාට ඔවුන්ගේ ගමන යෑමට ඔවුන් පිටත් කර හැරියේ නැද්ද?
7“එබැවින් දැන්, අලුත් ගැලක් සූදානම් කර, කිසි දා වියගහ නො දැරූ කිරි දෙන එළදෙනුන් දෙදෙනකු ද ගෙන, එළදෙනුන් ගැලෙහි බැඳ, උන්ගේ පැටවුන් උන්ගෙන් ඉවතට ගෙන, ගාලට ගෙන යන්න. 8ස්වාමින්වහන්සේගේ කරඬුව ගෙන, ගැල මත තබන්න. පව් නසන පූජාවක් වශයෙන් උන්වහන්සේ වෙත යවන රන් භාණ්ඩ පෙට්ටියක ලා, කරඬුව පසෙකින් තබන්න. ඉන්පසු එය යන්නට හැර, 9බලා සිටින්න. එය බෙත්-ෂෙමෙෂ් දෙසට, එය අයත් පළාත දෙසට, යන්නේ නම්, මේ මහා විපත්තිය අප පිටට ගෙනවුත් ඇත්තේ, උන්වහන්සේ ය. එහෙත් එය එදෙසට නො යේ නම්, අපට පහර දී ඇත්තේ උන්වහන්සේගේ හස්තය නො වන වග අපි දැනගන්නෙමු. එය අහම්බෙන් සිදු වූවකි” යි කීහ.
10ඒ මිනිස්සු එසේ කළහ. කිරි දෙන එළදෙනුන් දෙදෙනකු ගෙන, උන් ගැලෙහි බැඳ, උන්ගේ පැටවුන් ගාලෙහි වැසූහ. 11ස්වාමින්වහන්සේගේ කරඬුව, ගැල මත තැබූ ඔවුහු, රන් මීයන් හා ඔවුන්ගේ විස ගඩුවල අනුරූ බහාලූ පෙට්ටිය ද ඒ පසෙකින් තැබූහ. 12එවිට එළදෙන්නු සෘජු ව ම බෙත්-ෂෙමෙෂ් දෙසට ගමන් ගත්හ; එක දිගට ම තප්පුලමින් පාර දිගේ ම ගියහ. උන් දකුණටවත්, වමටවත් හැරුණේ නැත. පිලිස්තිවරුන්ගේ අධිපතීහු ද බෙත්-ෂෙමෙෂ් දේශ සීමා තෙක් උන් පසු පස ගියහ.
13මෙවිට බෙත්-ෂෙමෙෂ් ජනයා සිටියේ මිටියාවතේ තම තිරිඟු අස්වනු නෙළමිනි. ඔවුහු හිස් ඔසවා බැලූ කල, කරඬුව දැක, ඒ දසුනින් සොම්නසින් ඉපිල ගියහ. 14බෙත්-ෂෙමෙෂ්හි යෝෂුවාගේ කෙතට පැමිණි ගැල, එහි නැවතිණි. එහි විසල් ගලක් තිබිණි. ඔවුහු ගැලෙහි ලී පලා, ස්වාමින්වහන්සේට දවන යාගයක් කොට, එළදෙනුන් පූජා කළෝ ය. 15ලෙවීවරු ස්වාමින්වහන්සේගේ කරඬුව බා, රන් භාණ්ඩ පෙට්ටිය ද ඒ සමඟ ගෙන, මහ ගල මත තැන්පත් කළහ. ඒ දවසේ බෙත්-ෂෙමෙෂ්හි මිනිස්සු ස්වාමින්වහන්සේට දවන යාග හා යාග පූජා ඔප්පු කළහ. 16පිලිස්තිවරුන්ගේ අධිපතීන් පස්දෙනා මේ සියල්ල දුටුවහ. ඉන්පසු ඒ දවසේ ම ඔවුහු එක්‍රෝන් වෙත ආපසු ගියහ.
17රනින් කළ මෙම විස ගඩු, පිලිස්තිවරුන් විසින් පාප නසන පූජාවක් වශයෙන් ස්වාමින්වහන්සේට යවන ලද්දේ අෂ්දෝද් උදෙසා එකක් ද ගාසා උදෙසා එකක් ද අෂ්කෙලොන් උදෙසා එකක් ද ගාත් උදෙසා එකක් ද එක්‍රෝන් උදෙසා එකක් ද යන වශයෙනි. 18රන් මීයන්ගේ ගණන, අධිපතීන් පස්දෙනාට අයත් බළකොටු පුරවර හා පවුරු රහිත ගම්මාන යන පිලිස්තිවරුන්ගේ පුරවර සියල්ලේ මුළු ගණනට අනුව ය. ස්වාමින්වහන්සේගේ කරඬුව පිහිටු වන ලද බෙත්-ෂෙමෙෂ්හි යෝෂුවාගේ කෙතෙහි විශාල ගල අද දවස දක්වා සාක්ෂියකි.
19එහෙත් උන්වහන්සේ බෙත්-ෂෙමෙෂ්හි ඇතැම් දෙනකු ගසා හෙළූ සේක. ස්වාමින්වහන්සේගේ කරඬුව ඇර බැලූ බැවින්, උන්වහන්සේ ඔවුන් හැත්තෑ දෙනකු#6:19 බොහෝ හෙබ්‍රෙව් පිටපත්වල හා සෙප්ටුවජින්ට්: හැත්තෑ දෙනකු, පනස් දහස් දෙනකු ලෙස සඳහන් වේ. මරණයට පත් කළ සේක. ස්වාමින්වහන්සේ ඉතා තද පහරක් දී තිබූ බැවින් ජනයා වැලපුණහ. 20බෙත්-ෂෙමෙෂ් මිනිස්සු කතා කොට, “ස්වාමින්වහන්සේ ඉදිරියේ, මේ ශුද්ධ දෙවියන්වහන්සේ ඉදිරියේ සිටින්න පුළුවන් කවුරුන්ට ද? කරඬුව මෙතැනින් ගෙන යා යුත්තේ කවුරුන් වෙතට දැ?” යි ඇසූහ.
21ඉන්පසු ඔවුහු කිරියත්-යෙයාරීම් වාසීන් වෙත පණිවුඩකරුවන් යවමින්, “පිලිස්තිවරුන් ස්වාමින්වහන්සේගේ කරඬුව ආපසු එවා ඇත. අවුත්, එය ඔබ වෙත රැගෙන යන්නැ” යි දැන්වූහ.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for 1 සාමුවෙල් 6