1 සාමුවෙල් 5
5
දාගෝන් හා විස ගඩු
1දෙවියන්වහන්සේගේ කරඬුව අල්ලා ගත් පිලිස්තිවරු එබෙන්-ඒසෙර්හි සිට එය අෂ්දෝද් වෙත ගෙනාහ. 2ඉන්පසු පිලිස්තිවරු දෙවියන්වහන්සේගේ කරඬුව, දාගෝන්ගේ දෙවොලට ගෙන අවුත්, දාගෝන් පසෙකින් පිහිටූහ. 3අෂ්දෝද් වාසීන් පසු දා උදෙන් පිබිදුණු කල, මෙන්න! ස්වාමින්වහන්සේගේ කරඬුව අබියස දාගෝන් මුණින් තලා බිම වැටී සිටියේ ය. ඔවුහු දාගෝන් ගෙන, ආපසු ඔහුගේ ස්ථානයේ තැබූහ. 4එහෙත් පසු දා උදෑසන ඔවුන් පිබිදුණු කල මෙන්න! ස්වාමින්වහන්සේගේ කරඬුව අබියස දාගෝන් මුණින් තලා බිම වැටී සිටියේ ය. දාගෝන්ගේ හිස හා අත් කැඩී, වෙන් වී, එළිපත්ත මත වැටී තිබිණි. ඉතිරි ව තිබුණේ දාගෝන්ගේ කඳ කොටස පමණි. 5අද දවස දක්වාත්, දාගෝන්ගේ පූජකයින් හෝ සෙසු අය අෂ්දෝද්හි දාගෝන්ගේ දෙවොලට ඇතුළුවීමේදී එළිපත්ත නො පාගන්නේ එබැවිනි.
6 ස්වාමින්වහන්සේගේ හස්තය අෂ්දෝද් වාසීන් පිට බර විය. උන්වහන්සේ අෂ්දෝද් හා එහි භූමි ප්රදේශයේ ජනයාට විස ගඩු හට ගැන්වීමෙන්, ඔවුන්ට පීඩා කළ සේක. 7සිදු වන්නේ කුමක් දැයි දුටු අෂ්දෝද් වාසීහු, “ඉශ්රායෙල්ගේ දෙවියන්ගේ කරඬුව මෙහි අප සමඟ නො තිබිය යුතුයි. මන්ද උන්වහන්සේගේ හස්තය අප පිටත්, අපගේ දෙවියන් වන දාගෝන් පිටත් බර වී ඇතැ” යි කීහ. 8එබැවින් පිලිස්තිවරුන්ගේ අධිපතීන් වෙත පණිවුඩ යවා, සැවොම එක් රැස් කර වූ ඔවුහු, ඔවුන් අමතමින්, “ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේගේ කරඬුවට කුමක් කරන්නෙමු දැ?” යි ඇසූහ.
ඔවුහු පිළිතුරු දෙමින්, “ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේගේ කරඬුව, ගාත් වෙතට ගෙන එන්නැ” යි කීහ. එබැවින් ඔවුහු ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේගේ කරඬුව, එහි ගෙන ආහ.
9ඔවුන් එය ගෙන ගිය පසු ස්වාමින්වහන්සේගේ හස්තය එපුරවරයට ද එරෙහි වී, මහත් සංත්රාසයක් හටගැන්විණි. නගර වාසී ජනයා පිට, බාල මහලු දෙගොල්ල පිට ම විස ගඩු පතුරවමින්, උන්වහන්සේ ඔවුන්ට පීඩාවක් එවූ සේක. 10එබැවින් ඔවුහු දෙවියන්වහන්සේගේ කරඬුව, එක්රෝන් වෙත යැවූහ.
දෙවියන්වහන්සේගේ කරඬුව එක්රෝන් නගරයට ඇතුළු වෙත් ම, එක්රෝන්හි ජනයා කෑ මොර දෙමින්, “අපත්, අපේ ජනයාත් මරා දමන පිණිස, ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේගේ කරඬුව අප වෙත මෙහි ගෙනැවිල්ලා” යි විලාප දුන්හ. 11එබැවින් ඔවුන් කැඳවුම් යවා, පිලිස්තිවරුන්ගේ අධිපතීන් සියලු දෙනා එක් රැස් කර වූ ඔවුහු, ඔවුන්ට කතා කොට, “ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේගේ කරඬුව ඉවත් කර හරින්න. එය අයිති ස්ථානයට එය ආපසු යවන්න. එසේ නූවහොත් එය අපත්, අපේ ජනතාවත් නසා දමනු ඇතැ” යි කීහ. මන්ද මරණීය සංත්රාසයකින් එපුර මුළුමනින් කැලඹී තිබිණි. දෙවියන්වහන්සේගේ හස්තය, ඔවුන් පිට දැඩි ව පීඩාකාරී විය. 12නොමැරුණු අය, විස ගඩුවලින් පීඩා වින්දහ. නගරයේ කෑ මොර දීම ස්වර්ගය දක්වා ම ඉහළ නැගුණේ ය.
Currently Selected:
1 සාමුවෙල් 5: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.