1 රාජාවලිය 8
8
කරඬුව රැගෙන ඒම
1ඉන්පසු සාලමොන් රජු, දාවිත් පුරය වූ සියොන වෙතින් ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනෙන පිණිස ඉශ්‍රායෙල් වැඩිහිටියන් ද ඉශ්‍රායෙල් පියවංශ ප්‍රධානීන් වූ ගෝත්‍ර වංශ නායක සියලු දෙනා ද තමා ඉදිරියට යෙරුසලමට එක් රැස් කරවී ය. 2ඉශ්‍රායෙල් ජනයා සැවොම හත් වන මාසය වන ඒතානිම් මස මංගල්‍යයේදී සාලමොන් රජු ඉදිරියට එක් රැස් වූහ.
3ඉශ්‍රායෙල් වැඩිහිටියන් සියලු දෙනා පැමිණි කල පූජකයෝ කරඬුව ඔසවා ගත්හ. 4ඔවුහු ස්වාමින්වහන්සේගේ කරඬුව ද හමුවීමේ කූඩාරම ද එහි සියලු ශුද්ධ භාණ්ඩ ද ඔසවාගෙන ආහ. පූජකයෝ ද ලෙවීවරු ද ඒවා ගෙනාවෝ ය. 5සාලමොන් රජු හා ඔහු ඉදිරිපිට රැස් ව සිටි මුළු ඉශ්‍රායෙල් ජන සමාජය, ගණන් කරන්නටවත්, ගණන කියන්නටවත් නො හැකි තරම් අසංඛ්‍ය වූ බැටළුවන් හා ගවයින් ගණනාවක් පූජා කරමින් ඔහු සමඟ කරඬුව ඉදිරිපිට සිටියහ.
6පූජකයෝ ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෘහයේ ඇතුළු ශුද්ධස්ථානයේ ඊට නිසි තැන වන අතිශුද්ධස්ථානයට ගෙනැවිත්, කෙරුබ් පියාපත් යටින් තැබූහ. 7කරඬුව හා එය ඉසිලූ පොලු වසාගැනෙන සේ කරඬුව තිබූ ස්ථානයට ඉහළින් කෙරුබ්වරු තම පියාපත් විදහා සිටියහ. 8එම පොලු ඉතා දිගු නිසා ඒවායේ කෙළවර, ඇතුළු ශුද්ධස්ථානය ඉදිරිපිට ශුද්ධස්ථානයේ සිට දැකිය හැකි විය. එහෙත් ශුද්ධස්ථානයෙන් පිටතට ඒවා පෙනුණේ නැත; ඒවා අද දක්වා එහි තිබේ. 9කරඬුව තුළ වූයේ ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තු දේශයෙන් පිටතට පැමිණි කල, ස්වාමින්වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට හොරේබ් කන්දේදී මෝසෙස් විසින් එහි තැන්පත් කරන ලද ගල්ලෑලි දෙක මිස අන් කිසිවක් නො වේ.
10පූජකයින් ශුද්ධස්ථානයෙන් පිටතට ආ කල, වලා පටලය ස්වාමින්වහන්සේගේ ගෘහය පිරවී ය. 11වලාව නිසා පූජකයින්ට තම මෙහෙයය ඉටු කරන්නට නො හැකි විය. මන්ද ස්වාමින්වහන්සේගේ තේජශ්‍රීයෙන් ස්වාමින්වහන්සේගේ ගෘහය පිරී ගියේ ය.
12එවිට සාලමොන් කතා කරමින්, “තමන්වහන්සේ ඝන අන්ධකාරයේ වසන වග ස්වාමින්වහන්සේ පවසා ඇත. 13එහෙත් මම සැබවින් ම ඔබවහන්සේට උත්කෘෂ්ට ගෘහයක්, සදහට ම ඔබට වාසය කරන්නට ස්ථානයක් ඉදි කළෙමි” යි පැවසී ය.
14මුළු ඉශ්‍රායෙල් සමාජය නැගිට සිටියදී, රජු ඔවුන් දෙසට හැරී ආශිර්වාද කළේ ය. 15ඉන්පසු ඔහු මෙසේ පැවසී ය:
“ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! මන්ද උන්වහන්සේ මගේ පියා වූ දාවිත්ට තම මුඛයෙන් පොරොන්දු වූ දේ තම හස්තයෙන් ඉටු කළ සේක. මන්ද උන්වහන්සේ, 16‘මගේ ජනයා වන ඉශ්‍රායෙල් මා විසින් ඊජිප්තුවෙන් පිටතට ගෙනා දවසේ පටන්, මගේ නාමය තබන පිණිස ගෘහයක් ඉදි කරන්නට ඉශ්‍රායෙල් ගෝත්‍රවංශයක කිසි නගරයක් මා තෝරා ගත්තේ නැත. එහෙත් මගේ ජනයා වන ඉශ්‍රායෙල් පාලනය කරන්නට දාවිත් තෝරා ගතිමි’ යි පැවසූ සේක.
17“ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය උදෙසා ගෘහයක් තැනීමේ අදහසක් මා පිය දාවිත්ගේ හදවතේ තිබිණි. 18එහෙත් ස්වාමින්වහන්සේ මා පිය දාවිත් අමතමින්, ‘මගේ නාමය උදෙසා ගෘහයක් තනන්නට ඔබේ හදවතේ ඇති අදහස අගෙයි. 19කෙසේ වෙතත් ඒ ගෘහය ඉදි කරන්නේ ඔබ නො වෙයි, ඔබෙන් ම උපදින ඔබේ පුත්‍රයායි. මගේ නාමය උදෙසා ගෘහයක් ඉදි කරන්නේ ඔහු යැ’ යි පැවසූ සේක.
20“ස්වාමින්වහන්සේ ස්වකීය පොරොන්දුව ඉටු කළ සේක. ස්වාමින්වහන්සේ පොරොන්දු වූ පරිදි, මම මගේ පියා වූ දාවිත් වෙනුවට රජ වී, ඉශ්‍රායෙල්හි සිහසුනේ හිඳ සිටිමි. එසේ ම ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය උදෙසා ගෘහය ද ඉදි කළෙමි. 21ස්වාමින්වහන්සේ අපගේ පියවරුන් ඊජිප්තුවෙන් පිටතට ගෙනා කල, උන්වහන්සේ ඔවුන් සමඟ කළ උන්වහන්සේගේ ගිවිසුම තබා තිබූ කරඬුව සඳහා මම ස්ථානයක් සැපයූවෙමි.”
කැප කිරීමේ යාච්ඤාව
22ඉන්පසු සාලමොන් ස්වාමින්වහන්සේගේ පූජාසනය අබියස, මුළු ඉශ්‍රායෙල් ජන සමූහය ඉදිරිපිට සිටගෙන, තම දෑත් ස්වර්ගය දෙසට විහිදා, 23මෙසේ පැවසී ය:
“අහෝ ස්වාමින්වහන්ස, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ඔබ වැනි දෙවියන්වහන්සේ කෙනෙක් ඉහළ ස්වර්ගයේවත්, පහළ පොළොවේවත් නැත. තම මුළු හදින් ඔබ ඉදිරියේ හැසිරෙන ඔබගේ සේවකයිනට ඔබගේ නොමියෙන ප්‍රේමයේ ගිවිසුම ඔබ පවත්වන සේක. 24ඔබේ සේවක, මා පිය දාවිත්ට ඔබ ප්‍රකාශ කළ දෙය ඔබ ඉටු කළ සේක. ඔබගේ මුඛයෙන් පැවසූ දෑ අද දවසේ ඔබගේ හස්තයෙන් ඉටු කළ සේක.
25“එබැවින් දැන් ස්වාමින්වහන්ස, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ඔබ, ඔබගේ සේවක දාවිත්ට, මගේ පියාට කතා කොට, ‘ඔබ මා ඉදිරියේ හැසුරුණු පරිදි, ඔබේ පුතුන් මා ඉදිරිපිට හැසිරෙමින් තමන්ගේ මාර්ග ගැන පරෙස්සම් වන්නේ නම්, මා ඉදිරියේ ඉශ්‍රායෙල් සිහසුනේ හිඳ ගැනීමට කෙනකු නැති වන්නේ නැතැ’ යි ඔබ පොරොන්දු වූ දේ ඉටු කළ මැනව. 26අහෝ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, දැනුදු ඔබේ සේවක, මගේ පිය දාවිත්ට ඔබ පැවසූ ඔබගේ වචනය සහතික කළ මැනව.
27“එහෙත් දෙවියන්වහන්සේ සැබවින් ම පොළොවේ වාසය කරන සේක් ද? ස්වර්ගයට, ඉහළ ම ස්වර්ගයට පවා ඔබ දරා සිටින්නට නො හැකි කොට, මා ඉදි කළ මේ ගෘහය ඊට වඩා කොපමණ මදි ද? 28එහෙත් ඔබගේ සේවකයාගේ යාච්ඤාවට, ඔහු කරන අයැදුමට සිත යොමු කළ මැනව. අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, අද දින ඔබ අබියස ඔබේ සේවකයා මොර ගසමින්, යදිමින් කරන යාච්ඤාව ඇසුව මැනව. 29‘මගේ නාමය එහි වන්නේ යැ’ යි ඔබවහන්සේ කී ස්ථානය වන මේ ගෘහය දෙසට රැයේත්, දවාලේත් ඔබගේ දෙනෙත් විවර ව තිබේවා! ඔබගේ සේවකයා මේ ස්ථානය දෙසට හැරී, ඔප්පු කරන යාච්ඤාව ඇසුව මැනව. 30ඔබගේ සේවකයා ද ඔබගේ ජනයා වන ඉශ්‍රායෙල් ද මේ ස්ථානය දෙසට හැරී යාච්ඤා කරන කල, ඔවුන්ගේ අයැදුම ඇසුව මැනව. ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඇසුව මැනව. අසා, කමා වුව මැනව.
31“මිනිසකු තම අසල්වැසියාට වරද කර, දිවුරුමක් ශපථ කරන්නට නියම වූ කල, ඔහු අවුත් මේ ගෘහයේ ඔබගේ පූජාසනය අබියස එම දිවුරුම ශපථ කරන කල, 32ස්වර්ගයේ සිට අසා, ක්‍රියා කළ මැනව. ඔබගේ සේවකයින් අතර විනිශ්චය කරමින්, වරදකරු වරදට පත් කර, ඔහු කළ දේ ඔහුගේ ම හිස පිටට පැමිණෙවුව මැනව. නිවැරදිකරුගේ නිදොස්භාවය ප්‍රකාශයට පත් කොට, ඔහුගේ දමිටුකමට අනුව ඔහුට විපාක දුන මැනව.
33“ඔබගේ ජනයා වන ඉශ්‍රායෙල් ඔබට එරෙහිව පව් කළ හේතුවෙන්, සතුරන් ඉදිරියේ පරාජයට පත් කරනු ලැබූ කල, ඔවුන් ඔබ වෙත යළි හැරී, ඔබගේ නාමයට පැසසුම් දී, මේ ගෘහයේදී ඔබට යාච්ඤා කරමින්, කන්නලව් කළහොත්, 34ස්වර්ගයේ සිට අසා, ඔබගේ ජනයා වන ඉශ්‍රායෙල්ගේ පාපයට කමා වී, ඔවුන්ගේ පියවරුන්ට ඔබ දුන් දේශයට ඔවුන් නැවත ගෙන ආ මැනව.
35“ඔවුන් ඔබට එරෙහිව පව් කළ හේතුවෙන්, අහස පියවී, වැස්ස නැති වූ කල, ඔබ ඔවුන් පීඩාවට පත් කළෙන්, ඔවුන් මේ ස්ථානය දෙසට හැරී, යාච්ඤා කර, ඔබගේ නාමයට පැසසුම් දී, ඔවුන්ගේ පාපයෙන් ඉවත හැරුණහොත්, 36ස්වර්ගයේ සිට අසා, ඔබගේ ජනයා වන ඉශ්‍රායෙල්ගේ, ඔබගේ සේවකයින්ගේ පාපයට කමා වුව මැනව. ජීවත් වන නිවැරදි මග ඔවුන්ට උගන්වා, ඔබේ ජනයාට ඔබ උරුමයක් කොට දුන් ඔබේ දේශය පිට වර්ෂාව එවුව මැනව.
37“දේශය පිට සාගතය හෝ වසංගතය හෝ කොළ-රෝගය හෝ පුස් රෝගය හෝ පළඟැටියන් හෝ දළඹුවන් පැමිණි කල, නැතහොත් ඔවුන්ගේ සතුරකු විසින් ඔවුන්ගේ යම් පුරවරයක් වටලා ගත් කල, කවර උවදුරක් හෝ රෝගයක් පැමිණි කල, 38යම් මිනිසකු හෝ ඔබගේ ජනයා වන ඉශ්‍රායෙල් සැවොම හෝ ඒ එකිනෙකා තම සිතේ සංතාපය වටහා ගෙන, තම දෑත් මේ ගෘහය දෙසට විහිදා, යාච්ඤාවක් හෝ කන්නලව්වක් ඔප්පු කළහොත්, 39ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට අසා, කමා වී, ක්‍රියා කළ මැනව; එක් එක් කෙනාගේ සිත දන්නා ඔබ, ඒ සියල්ලන්ගේ මාර්ග අනුව ප්‍රතිවිපාක දුන මැනව; මන්ද මනුෂ්‍ය පුත්‍රයන්ගේ හදවත දන්නේ ඔබවහන්සේ ය. ඔබ පමණක් ම ය. 40ඒ, අපගේ පියවරුන්ට ඔබ දුන් දේශයේ ඔවුන් වාසය කරන හැම කල්හි ඔවුහු ඔබට භය පක්ෂපාතී ව සිටින පිණිස ය.
41“ඔබගේ ජනයා වන ඉශ්‍රායෙල්ට අයත් නො වන විදෙස්සකු ඔබගේ නාමය නිසා දුර රටක සිට එන්නේ නම්– 42ඔබගේ ශ්‍රේෂ්ඨ නාමය ද ඔබගේ බලවත් හස්තය ද ඔබගේ දිගු කළ බාහුව ද ගැන ඔවුන් අසා, අවුත්, මේ ගෘහය දෙසට හැරී, ඔබට යාච්ඤා කරන්නේ නම්– 43ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට අසා, ඔබගේ ම ජනයා වන ඉශ්‍රායෙල් කරන පරිද්දෙන් මිහි පිට සිටින සියලු ජාතීන් ඔබගේ නාමය දැන, ඔබට භය වන පිණිසත්, මා විසින් ඉදි කොට ඇති මේ ගෘහය ඔබගේ නාමය දරන වග ඔවුන් දැනගන්නා පිණිසත් විදෙස්සා ඔබෙන් ඉල්ලන කවරක් වුව ඉටු කර දුන මැනවි.
44“ඔබ විසින් යවනු ලබන කොතැනකට වුවත් ඔබගේ ජනයා තම සතුරාට එරෙහිව යුද වදින්නට යන කල, ඔබ තෝරාගන ඇති මේ පුරවරයත්, ඔබගේ නාමය දරන්නට මා ඉදි කළ මෙම ගෘහයත් දෙසට හැරී, ස්වාමින්වහන්සේට යාච්ඤා කරන කල, 45ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාච්ඤාවත්, ඔවුන්ගේ කන්නලව්වත් අසා, ඔවුන්ගේ කාරණය ඉටු කර දුන මැනවි.
46“ඔවුන් ඔබට එරෙහිව පව් කළ විටෙක–පව් නො කරන කෙනකු නැත–ඔබවහන්සේ ඔවුන් සමඟ කෝප වී, දුර ඈත හෝ ළඟ පාත හෝ සතුරාගේ දේශයකට ඔවුන් වහලුන් සේ ගෙන යනු ලබන ලෙස සතුරා අතට ඔබ ඔවුන් හසුකර දුන් විටෙක, 47ඔවුන් තමන් වහල් ව සිටින දේශයේදී තම හදවතින් හැරී, පසුතැවිලි වී, තමන් යටත් කර සිටින්නවුන්ගේ දේශයේදී ඔබට කන්නලව් කර, ‘අපි පව් කළෙමු; අපි වරද කළෙමු; අපි දුෂ්ට ලෙස ක්‍රියා කළෙමු’ යි කියන්නේ නම්, 48ඔවුන් තමන් වාලට ගත් තම සතුරන්ගේ දේශයේදී තම මුළු හදවතින් ද මුළු සිතින් ද ඔබ වෙත හැරී, ඔවුන්ගේ පියවරුන්ට ඔබ දුන් දේශය දෙසට ද ඔබ තෝරාගන ඇති පුරවරය දෙසට ද මා ඔබගේ නාමයට ඉදි කළ ගෘහය දෙසට ද හැරී, ඔබට යාච්ඤා කරන්නේ නම්, 49ඔබේ වාසස්ථානය වන ස්වර්ගයේ සිට ඔවුන්ගේ යච්ඤාවත්, ඔවුන්ගේ කන්නලව්වත් අසා, ඔවුන්ගේ කාරණය ඉටු කර දුන මැනව. 50ඔබට එරෙහිව පව් කළ ඔබේ ජනයාට කමා වුව මැනව; ඔබට එරෙහිව ඔවුන් කළ වැරදිවලට කමා වුව මැනව. ඔවුන් වහල්කමට ගත්තවුන්ගේ දයාව ඔවුන්ට ලැබෙන්නට සැලසුව මැනව. 51මන්ද ඔවුහු ඔබගේ ජනතාව ය. ඇවිළෙන යකඩ උදුනක් වන් ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ ගෙන ආ ඔබගේ උරුමය ය.
52“ඔබේ සේවකයාගේ කන්නලව්වට ද ඔබේ ඉශ්‍රායෙල් ජනයාගේ කන්නලව්වට ද ඔබේ දෙනෙත් විවර ව තිබේවා! ඔවුන් ඔබට හඬ ගසන කවර විටෙක වුව ඔවුන්ට සවන් දුන මැනව. 53අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබවහන්සේ අපගේ පියවරුන් ඊජිප්තුවෙන් පිටතට ගෙනා කල, ඔබගේ සේවක මෝසෙස් මගින් ඔබ ප්‍රකාශ කළ පරිදි, ඔබගේ උරුමය වන පිණිස, ලොව සියලු ජාතීන් අතරින් ඔබ ඔවුන් වෙන් කර ගත් සේක.”
54 ස්වාමින්වහන්සේට මේ සියලු යාච්ඤා හා කන්නලව් කර නිම වූ සාලමොන්, ස්වාමින්වහන්සේගේ පූජාසනය අබියස ස්වර්ගය දෙසට තම දෑත් විහිදා, දණ නමා සිටි ඉරියව්වෙන් නැගිට, සිට ගත්තේ ය. 55එසේ ඔහු සිටගෙන මුළු ඉශ්‍රායෙල් සමාජයට ආශිර්වාද කර, හඬ නගා මෙසේ පැවසී ය:
56“ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! මන්ද උන්වහන්සේ පොරොන්දු වූ පරිදි ස්වකීය ජනයා වන ඉශ්‍රායෙල්ට විවේකය දුන් සේක. උන්වහන්සේ ස්වකීය සේවක මෝසෙස් ලවා දෙන ලද යහපත් පොරොන්දුවලින් එක වචනයකුදු නො වැරැද්දවූ සේක. 57අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපගේ පියවරුන් සමඟ සිටි පරිදි, අප සමඟ ද වන සේක්වා! උන්වහන්සේ කිසි කල අප හැර යෑම හෝ අප අත්හැරීම නො කරත්වා! 58උන්වහන්සේගේ සියලු මාර්ගවල ගැවසෙන පිණිසත්, උන්වහන්සේ අපගේ පියවරුන්ට දුන් උන්වහන්සේගේ ආඥා හා නියෝග ද උන්වහන්සේගේ නියමයන් ද රක්ෂා කරන පිණිසත්, උන්වහන්සේ අපගේ හදවත් තමන්වහන්සේ වෙත යොමු කරවන සේක්වා! 59උන්වහන්සේගේ මෙහෙකරුගේත්, උන්වහන්සේගේ ජනයා වන ඉශ්‍රායෙල්ගේත් ඒ ඒ දවසේ අවශ්‍යතා අනුව කාරණ කටයුතු දරා සිටින පිණිස, ස්වාමින්වහන්සේ ඉදිරියේ යාච්ඤාවෙන් මා කී මගේ මේ වචන රෑ දාවල් අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සමීපයෙහි පවතීවා! 60එවිට ස්වාමින්වහන්සේ දෙවියන්වහන්සේ වගත්, උන්වහන්සේ හැර අන් දෙවියන්වහන්සේ කෙනෙක් නැති වගත්, මිහි පිට සියලු ජාතීන් දැනගන්නවා ඇත. 61එබැවින් උන්වහන්සේගේ නියෝගවලට හා උන්වහන්සේගේ ආඥාවලට අනුව ජීවත් වන පිණිස, අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත ඔබගේ හදවත් අද දවසේ තිබෙන පරිදි මුළුමනින් ම කැප ව තිබේවා!” යි පැවසී ය.
යාග පූජා හා කැප කිරීම
62ඉන්පසු රජු හා ඔහු සමඟ සිටි මුළු ඉශ්‍රායෙල් ජනයා ස්වාමින්වහන්සේ අබියස යාග පූජා ඔප්පු කළහ. 63සාලමොන්, ගවයින් විසිදෙදහසක් හා එළු-බැටළුවන් එක්ලක්ෂ විසිදහසක් ශාන්ති පූජා ලෙස ස්වාමින්වහන්සේට ඔප්පු කළේ ය. මෙසේ රජු ද සියලු ඉශ්‍රායෙල්වරු ද ස්වාමින්වහන්සේගේ ගෘහය කැප කළහ.
64ඒ දවසේදී ම රජු, ස්වාමින්වහන්සේගේ ගෘහය ඉදිරිපිට තිබූ මළුවේ මැද කොටස විශුද්ධ කළේ ය. ඔහු එතැන දවන යාග පූජා ද ධාන්‍ය පූජා ද ශාන්ති පූජාවේ මේදය ද ඔප්පු කළේ ය. එසේ කළේ එලෙස ඔප්පු කරන දවන යාග පූජා, ධාන්‍ය පූජා හා ශාන්ති පූජාවේ මේදය දරන්නට තරම් ස්වාමින්වහන්සේ අබියස වූ ලෝකඩ පූජාසනය මත ඉඩ මදි වූ නිසා ය.
65මෙසේ සාලමොන් තමා සමඟ වූ සියලු ඉශ්‍රායෙල් ජනයා සමඟ එදවස්හි දී මංගල්‍යය පැවැත්වී ය. ඒ මහ එක් රැස්වීම ලෙබෝ-හමාත් පටන් ඊජිප්තු ඇළ දක්වා විසූ විශාල ජනකායකගෙන් සමන්විත විණ. ඔවුහු අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අබියස දින හතක් ද ඉන්පසු තවත් දින හතක් ද යන වශයෙන් දින දාහතරක් මංගල්‍යය පැවැත් වූහ. 66පසු දින ඔහු ජනයා පිටත් කර හැරියේ ය. ඔවුහු රජුට ආශිර්වාද කොට, ස්වාමින්වහන්සේ විසින් ස්වකීය සේවක දාවිත් සහ ස්වකීය ජනයා වන ඉශ්‍රායෙල් උදෙසා කර තිබූ සියලු යහ දෑ පිළිබඳව ප්‍රීතියෙන් ද සිතෙහි ප්‍රමෝදයෙන් ද යුතු ව තම තමන්ගේ නිවෙස් කරා ගියහ.
Currently Selected:
1 රාජාවලිය 8: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.