2 කොරින්ති 5:1-11
2 කොරින්ති 5:1-11 SNRV
කූඩාරමක් වන අපගේ භෞමික නිවාසය ගරා වැටුණත්, දෙවියන් වහන්සේගෙන් වන, අතින් නොතැනූ, සදාතන නිවාසයක් ස්වර්ගයෙහි අපට ඇති බව අපි දනිමු. මෙහි දී අපි ස්වර්ගීක නිවාසයේ ආවරණය ලබාගැනීමේ දැඩි ආශාවෙන් සුසුම්ලමු. මෙය ලබාගත් විට අපි ආවරණ රහිත ව නොසිටිමු. කූඩාරමක් වැනි මේ ශරීරයෙහි සිටින තුරු, අපි දුක් බරින් සුසුම්ලමු. අපගේ ආශාව නම් ආවරණ රහිත ව සිටීම නොව, මැරෙනසුලු දේ ජීවනයට පරිවර්තනය වන පිණිස ආවරණ සහිත ව සිටීම ය. මෙය සඳහා අප සූදානම් කළේ දෙවියන් වහන්සේ ම ය. එහි අත්තිකාරම වශයෙන් උන් වහන්සේ අපට ශුද්ධාත්මයාණන් ප්‍රදානය කළ සේක. එබැවින් අපි සැම විට ම ධෛර්යයෙන් සිටිමු. ශරීරය නමැති නිවාසයෙහි සිටින තුරු, අපි සමිඳාණන් වහන්සේගෙන් ඈත් ව සිටින බව දනිමු. අප ජීවත් වනුයේ දැකීමෙන් නොව, ඇදහීමෙන් ය. අප ධෛර්යයෙන් සිටින බව නැවත කියමු. ශරීරය නමැති නිවාසයෙන් ඈත් වී සමිඳාණන් වහන්සේ තුළ විසීමට අපි වඩාත් කැමැති වෙමු. ඒ නිසා අපි, එහි වේවා, මෙහි වේවා, කොයි නිවාසයෙහි සිටියත්, සමිඳාණන් වහන්සේ ප්‍රසන්න කිරීමට වඩාත් ආශා වෙමු. මන්ද, අපි සියලුදෙනා ම තම තමාගේ ශාරීරික ජීවිතයේ දී කළ හොඳ නොහොඳ අනුව විපාක ලබන පිණිස, ක්‍රිස්තුන් වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටීමට නියම ව සිටිමු. සමිඳාණන් වහන්සේ කෙරෙහි බිය වීම කුමක් දැ යි අප දන්නා බැවින් මිනිසුන්ට කරුණු පහදා දීමට අපි උත්සාහ කරමු. දෙවියන් වහන්සේට අපේ නියම ස්වභාවය පැහැදිලි ව පෙනේ. එලෙස ම ඔබටත් පෙනෙනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි.





