YouVersion Logo
Search Icon

රෝම 7

7
ව්‍යවස්ථාවේ බලයෙන් නිදහස්වීම. විවාහය ආදර්ශකොට ගැනීම
1නොහොත්#7:1 මෙය 6 වෙනි පරිච්ඡේදයේ 14 පදය හා සම්බන්ධයි. සහෝදරයෙනි, මනුෂ්‍යයා ජීවත්ව සිටින තෙක් ව්‍යවස්ථාව ඔහු කෙරේ බලය පවත්වන බව නුඹලා නොදැන සිටිවුද? (මා කථාකරන්නේ ව්‍යවස්ථාව දන්නන්ටය.) 2පුරුෂයෙකු ඇති ස්ත්‍රී පුරුෂයා ජීවත්ව සිටිනතෙක් ව්‍යවස්ථාවෙන් ඔහුට බැඳී සිටින්නීය; නුමුත් පුරුෂයා මැරුණොත්, පුරුෂයාට බැඳී සිටි ව්‍යවස්ථාවෙන් ඈ මිදී සිටින්නීය. 3පුරුෂයා ජීවත්ව සිටියදී ඈ අන් පුරුෂයෙකුට බැඳුණොත්, ඈ කාමමිථ්‍යාචාරිනීයයි කියනු ලබන්නීය. නුමුත් පුරුෂයා මැරුණු පසු ඈ අන් කෙනෙකුට බැඳුණත්, ඈ කාමමිථ්‍යාචාරිනියක් නොවන ලෙස ඒ ව්‍යවස්ථාවෙන් නිදහස්ව සිටින්නීය. 4එබැවින්, මාගේ සහෝදරයෙනි, අප විසින් දෙවියන්වහන්සේට ඵල උපදවන පිණිස නුඹලාද අන් කෙනෙකුට එනම් මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවාවූ තැනන්වහන්සේට බැඳී, ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය කරණකොටගෙන ව්‍යවස්ථාවට මළ අය කරනු ලැබුවහුය. 5මක්නිසාද අප මාංසයෙහි සිටියදී ව්‍යවස්ථාවෙන්වූ පාප තෘෂ්ණා මරණයට ඵල උපදවන පිණිස අපේ අවයව තුළ ක්‍රියාකෙළේය. 6නුමුත් අපි යමකට බැඳී සිටියෙමුද, ඊට නැසී, ව්‍යවස්ථාවෙන් නිදහස්කරනලදුව, පදාර්ථයේ පැරණි ආකාරයෙන් නොව ආත්මයේ අලුත් ආකාරයෙන් සේවයකරමුව.
ව්‍යවස්ථාව සහ පාපය. මනුෂ්‍යයාගේ ප්‍රතිවිරෝධ ගති දෙක
7එසේවී නම් කුමක් කියමුද? ව්‍යවස්ථාව පාපයද? එසේ නොවේවා. නුමුත් ව්‍යවස්ථාවෙන් දැන නොගත්තා නම් පාපය කුමක්දැයි මා නොදැන සිටිනවා ඇත. මක්නිසාද: තණ්හා නොවෙන්නැයි ව්‍යවස්ථාවෙහි කියා නොතිබුණා නම් තණ්හාව කුමක්දැයි මා විසින් නොදැන සිටිනවා ඇත. 8නුමුත් පාපය අවකාශ ලැබ, ආඥාව කරණකොටගෙන මා තුළ සියලු ආකාර තණ්හා ඉපදෙවූවේය. මක්නිසාද ව්‍යවස්ථාවෙන් වෙන්ව පාපය නැසී තිබේ. 9මම වරක් ව්‍යවස්ථාව නැතුව ජීවත්ව සිටියෙමි. නුමුත් ආඥාව පැමිණි කල පාපය පණ ලැබුවේය, මමද මැරුණෙමි. 10මෙසේ ජීවනය පිණිස වූ ආඥාවෙන් මට මරණය පැමිණෙන බව දැනගතිමි. 11මක්නිසාද පාපය අවකාශ ලැබ, ආඥාව කරණකොටගෙන මා රවටා, එයින් මා මැරුවේය. 12එබැවින් ව්‍යවස්ථාව ශුද්ධය, ආඥාවද ශුද්ධය, ධර්මිෂ්ඨය, යහපත්ය. 13එසේවී නම් ඒ යහපත් දේ මට මරණය වූයේද? එසේ නොවේවා. නුමුත් මෙසේ වුණේ යහපත්වූ එක කරණකොටගෙන මට මරණය ඉපදවීමෙන් පාපය පාපය ලෙස පෙනෙන පිණිසත්, ව්‍යවස්ථාව කරණකොටගෙන පාපය ඉතා පාපිෂ්ඨව පෙනෙන පිණිසත්ය. 14මක්නිසාද ව්‍යවස්ථාව ආත්මික බව අපි දනිමුව. නුමුත් මම මාංසිකව පාපයට විකුණනු ලැබ සිටිමි. 15මක්නිසාද මා කරන දේ මම නොදනිමි. මා කරන්නේ මා කැමති දේ නොව මා ද්වේෂකරන දේය. 16ඉඳින් මම අකැමැති එක කරම් නම්, ව්‍යවස්ථාව යහපත් බව ඒත්තුගනිමි. 17එහෙයින් එය කරන්නේ මා නොව මා තුළ වාසයකරන පාපයය. 18මක්නිසාද මා තුළ එනම් මාගේ මාංසය තුළ කිසි යහපතක් වාසය නොකරන බව දනිමි. මක්නිසාද කැමැත්ත මට ඇත්තේය, නුමුත් යහපත් දෙය කිරීම මට නැත්තේය. 19මක්නිසාද මම කැමති යහපත නොකර අකැමැති නපුර කරමි. 20ඉඳින් මම කැමති නැති දේ කරම් නම්, ඒක කරන්නේ මා නොව මා තුළ වාසය කරන පාපයය. 21එබැවින් යහපත කරන්ට කැමතිවූ මා හට නපුර තිබීම යන ව්‍යවස්ථාව ඇති බව මට පෙනේ. 22මක්නිසාද අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ප්‍රකාරයට මම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට ප්‍රියවෙමි. 23නුමුත් මාගේ සිතේ ව්‍යවස්ථාවට විරුද්ධව යුද්ධකරන්නාවූ, මාගේ අවයව තුළ තිබෙන පාපයාගේ ව්‍යවස්ථාව යටතෙහි මා වහල්කමට පමුණුවන්නාවූ අන්‍ය ව්‍යවස්ථාවක් මාගේ අවයව තුළ තිබෙන බව මට පෙනේ. 24අනේ, මම කාලකණ්ණි මනුෂ්‍යයෙක්ය! මේ මරණයේ ශරීරයෙන් මා මුදන්නේ කවුද? 25අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ස්තුති කරමි. මෙසේ මමම සිතින් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට සේවයකරමි; නුමුත් මාංසයෙන් සේවයකරන්නේ පාපයාගේ ව්‍යවස්ථාවටය.

Currently Selected:

රෝම 7: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy