YouVersion Logo
Search Icon

රෝම 8

8
ආත්මයාණන් තුළ ජීවත්වීම
1එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත. 2මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය. 3මක්නිසාද දෙවියන්වහන්සේ තමන්වහන්සේගේම පුත්‍රයාණන් පාප මාංසයේ සමානකමෙන්ද පාපය නිසාද එවා, මාංසයේ පාපය දඬුවමට පත්කරමින්, මාංසය කරණකොටගෙන දුර්වලවූ ව්‍යවස්ථාවට බැරිවූ දේ ඉෂ්ටකළසේක. 4එසේ කළේ මාංසික ලෙස නොව ආත්මිකලෙස හැසිරෙන්නාවූ අප තුළ ව්‍යවස්ථාවේ නියෝගය සම්පූර්ණවෙන පිණිසය. 5මක්නිසාද මාංසිකලෙස සිටින්නෝ මාංසික දේවලටද ආත්මිකලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම්වෙති. 6මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය. 7කුමක්හෙයින්ද, මාංසයේ ඇල්ම දෙවියන්වහන්සේට සතුරුකමය; ඒක දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට යටත් නැත, යටත්වෙන්ටත් බැරිය. 8මෙසේ, මාංසයෙහි සිටින්නන්ට දෙවියන්වහන්සේ සතුටුකරන්ට නොහැකිය. 9නුමුත් නුඹලා තුළ දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ වාසයකරනසේක් නම්, නුඹලා මාංසයෙහි නොව ආත්මයෙහි සිටින්නෝය. ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ යම් කෙනෙකුට නැත්නම් ඔහු උන්වහන්සේට අයිති නැත. 10ඉඳින් ක්‍රිස්තුස්වහන්සේ නුඹලා තුළ සිටිනසේක් නම්, පාපය නිසා ශරීරය මැරී තිබෙන නුමුත් ධර්මිෂ්ඨකම නිසා ආත්මය ජීවත්වෙයි. 11තවද යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරනසේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේ නුඹලා තුළෙහි වසන තමන්ගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේක.
12එබැවින් සහෝදරයෙනි, අපි ණයකාරයෝව සිටිමුව, නුමුත් මාංසිකලෙස ජීවත්වෙන්ට මාංසයට නොවේය. 13මක්නිසාද නුඹලා මාංසිකලෙස ජීවත්වෙනවා නම් මැරෙන්ට ඕනෑය, නුමුත් ආත්මයෙන් ශරීරයේ ක්‍රියා නසනවා නම් ජීවත්වෙනවා ඇත.
දේව පුත්‍රයෝ
14මක්නිසාද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ විසින් ගෙනයනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද, එපමණ දෙනා දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය. 15මක්නිසාද නුඹලා භය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා, පුත්‍රකමේ ආත්මය ලබාගත්තහුය; එයින් අපි: අබ්බා, පියාණනි, කියා හඬගසමුව. 16අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි ආත්මයාණන්වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂිදෙනසේක. 17තවද දරුවෝ නම් උරුමක්කාරයෝය; දෙවියන්වහන්සේගේ උරුමක්කාරයෝය, ක්‍රිස්තුස්වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෝය. උන්වහන්සේ හා සමඟ මහිමය ලබන පිණිස, උන්වහන්සේ සමඟ දුක්විඳිමු නම්, මෙසේ වන්නේය.
මතු ප්‍රකාශවෙන්ට තිබෙන මහිමතාව
18මක්නිසාද මේ වර්තමාන කාලයේ දුක් වනාහි අප කෙරෙහි එළිදරව්කරනු ලබන්නාවූ මහිමයට සමාන කරනු ලබන්ට නොවටීයයි සිතමි. 19මක්නිසාද මැවිල්ල දෙවියන්වහන්සේගේ පුත්‍රයන්ගේ එළිදරව්වීම උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටියි. 20මක්නිසාද මැවිල්ල නිෂ්ඵල භාවයට යටත්කරනලද්දේ ඒකේම කැමැත්තෙන් නොව, ඒ මැවිල්ලම ජරාවේ වහල්කමින් නිදහස්වී, 21දෙවියන්වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිණෙන්නේය යන බලාපොරොත්තුවෙන් එය යටත්කළාවූ තැනන්වහන්සේ නිසාය. 22මක්නිසාද මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳින බව දනිමුව. 23එපමණක් නොව ආත්මයාණන්වහන්සේ නමැති ප්‍රථම ඵල ලැබූ අපිද අපේ ශරීරයේ මිදීම, එනම් පුත්‍රකමට පිළිගනු ලැබීම, බලා සිටිමින් අප තුළෙහිම කෙඳිරිගාමුව. 24මක්නිසාද අප ගළවනු ලැබුවේ බලාපොරොත්තුවෙන්ය. නුමුත් පෙනෙන බලාපොරොත්තුවක් බලාපොරොත්තුවක් නොවේය. මක්නිසාද තමාට පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තුවෙන්නේ කවරෙක්ද? 25නුමුත් අපි නොපෙනෙන දේ ගැන බලාපොරොත්තුවෙමු නම් ඉවසිල්ලෙන් ඒ ගැන බලා සිටිමුව.
26එලෙසම ආත්මයාණන්වහන්සෙත් අපගේ දුර්වලකම්වලදී උපකාරකරනසේක. මක්නිසාද යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම්කරනසේක. 27ඒ ආත්මයාණන්වහන්සේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ශුද්ධවන්තයන් උදෙසා මැදහත්කම්කරන බැවින්, සිත් විමසන තැනන්වහන්සේ උන්වහන්සේගේ අදහස කුමක්දැයි දන්නාසේක. 28තවද දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නන්ට, එනම් උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියාකරන බව අපි දනිමුව. 29මක්නිසාද උන්වහන්සේ පූර්වයෙන් ඇඳිනගත්තවුන් තමන්වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුලුඳුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමානවෙන්ට පූර්වයෙන් නියමකළසේක. 30පූර්වයෙන් නියමකළවුන් උන්වහන්සේ කැඳවාගත්සේක. කැඳවාගත්තවුන් උන්වහන්සේ ධර්මිෂ්ඨකළසේක. ධර්මිෂ්ඨකළ අය උන්වහන්සේ මහිමයට පැමිණෙවුසේක.
දෙවියන්වහන්සේගේ අප්‍රමාණ ප්‍රේමය
31එසේවී නම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන්වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක් නම්, අපට විරුද්ධවෙන්නේ කවුද? 32තමන්වහන්සේගේම පුත්‍රයා ඉතුරුකර නොගෙන අප සියල්ලන් උදෙසා පාවාදුන්නාවූ තැනන්වහන්සේ පුත්‍රයා ඇතුළුව අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද? 33දෙවියන්වහන්සේ තෝරාගනු ලැබූවන්ට වරද තබන්නේ කවුද? ධර්මිෂ්ඨකරන්නේ දෙවියන්වහන්සේය; වරදට පත්කරන්නේ කවුද? 34මැරුණෙත්, ඒ ඇර මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවෙත්, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තෙහි සිට අප උදෙසා මැදහත්කම් කරන්නෙත් ක්‍රිස්තුස්වහන්සේය. 35ක්‍රිස්තුස්වහන්සේගේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්නේ කවුද? විපතවත්, සිත් වේදනාවවත්, පීඩාවවත්, දුර්භීක්ෂයවත්, නිර්වස්ත්‍රකමවත්, උපද්‍රවයවත්, කඩුවවත් අප වෙන්කරන්නේද? 36ඒ හැටියට,
දවස මුළුල්ලේ ඔබ නිසා අපි මරනු ලබමුව;
මරණයට නියමකළ බැටළුවන් මෙන් ගණන්ගනු ලැබුවෙමුයයි
ලියා තිබේ. 37නුමුත් අපට ප්‍රේමකළාවූ තැනන්වහන්සේ කරණකොටගෙන අපි මේ සියල්ලේදී අතිශයින්ම ජය ගන්නෝ වමුව. 38මක්නිසාද මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්, 39උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්ට නොහැකිවන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි.

Currently Selected:

රෝම 8: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy