YouVersion Logo
Search Icon

රෝම 6

6
ක්‍රිස්තුස්වහන්සේ හා සම්බන්ධව සිටීම පිණිස පාපයෙන් වෙන්විය යුතුයි
1එසේවී නම් කුමක් කියමුද? අනුග්‍රහය බොහෝ වන පිණිස පාපයෙහි පවතිමුද? 2එසේ නොවේවා. පාපයට මළාවූ අපි තවත් එහි කෙසේ ජීවත්වමුද? 3නොහොත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළට බව්තීස්ම ලැබුවාවූ අප සියල්ලන් උන්වහන්සේ මරණයට බව්තීස්ම ලැබූ බව නුඹලා නොදැන සිටිනහුද? 4එබැවින් ක්‍රිස්තුස්වහන්සේ පියාණන්වහන්සේගේ මහිමය කරණකොටගෙන මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවා සේම, අපිත් ජීවනයේ අලුත්කමෙන් හැසිරෙන පිණිස, මරණය තුළට බව්තීස්මය කරණකොටගෙන උන්වහන්සේ සමඟ තැන්පත්කරනු ලැබුවෙමුව. 5මක්නිසාද උන්වහන්සේගේ මරණයේ සමානත්වයෙන් අපි උන්වහන්සේට සම්බන්ධවී සිටිමු නම්, උන්වහන්සේ නැගිටීමේ සමානත්වෙයනුත් සම්බන්ධවන්නෙමුව. 6මින්මතු අපි පාපයට සේවය නොකරන ලෙස පාප ශරීරය නැතිවන පිණිස, අපේ පරණ මනුෂ්‍යයා උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනලද බව දනිමුව. 7මක්නිසාද මැරුණාවූ තැනැත්තේ පාපය ගැන නිර්දෝෂකරනු ලැබ සිටියි. 8තවද මළවුන්ගෙන් නැගුටුවනු ලැබුවාවූ ක්‍රිස්තුස්වහන්සේ තවත් නොමැරෙන බවත් මරණය උන්වහන්සේ කෙරෙහි තවත් බලය නොපවත්වන බවත් අපි දන්නා බැවින්, 9අපි උන්වහන්සේ සමඟ මැරුනෙමු නම්, උන්වහන්සේ සමඟ ජීවත්වන්නෙමුයයි විශ්වාසකරමුව. 10මක්නිසාද උන්වහන්සේ මැරුණු මරණයෙන් එක වරක් පාපයට මළසේක, නුමුත් ජීවත්වන ජීවිතයෙන් දෙවියන්වහන්සේට ජීවත්වනසේක. 11එලෙසම නුඹලාත් පාපයට මැරී සිටින්නන් කොටද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන්වහන්සේට ජීවත්ව සිටින්නන් කොටද සිතාගන්න.
12එබැවින් නුඹලා නුඹලාගේ මරණීයවූ ශරීරයේ තෘෂ්ණාවලට කීකරුවන ලෙස පාපය එහි අධිපතිකම් නොකෙරේවා. 13නුඹලාගේ අවයවයන් අධර්මිෂ්ඨකමේ ආයුධ කොට පාපයට භාර නොදී, නුඹලාම මළවුන්ගෙන් ජීවත්ව සිටින්නන්මෙන් දෙවියන්වහන්සේට භාරවී, නුඹලාගේ අවයවයන් ධර්මිෂ්ඨකමේ ආයුධ කොට උන්වහන්සේට භාරදෙන්න. 14කුමක්හෙයින්ද, නුඹලා ව්‍යවස්ථාව යටතෙහි නොව අනුග්‍රහය යටතෙහි සිටින බැවින්, පාපය නුඹලා කෙරෙහි අධිපතිකම් නොකරන්නේය.
පාපයට සේවයකිරීම සහ ධර්මිෂ්ඨකමට සේවයකිරීම
15එසේවී නම් කිමෙක්ද? අපි ව්‍යවස්ථාව යටතෙහි නොව කරුණාව යටතෙහි සිටින නිසා පව්කරමුද? එසේ නොවේවා. 16නුඹලා කීකරුකම පිණිස දාසයන් කොට යමකට නුඹලාම භාරදෙන්නහුද, එය මරණයට පමුණුවන්නා වූ පාපය වේවා, ධර්මිෂ්ඨකමට පමුණුවන්නාවූ කීකරුකම වේවා, නුඹලා කීකරු වන එකට දාසයන් වන බව නොදනිවුද? 17එහෙත් නුඹලා පාපයේ දාසයන්ව සිටි නුමුත්, යම් ඉගැන්වීම් ක්‍රමයකට නුඹලා භාරදෙනලදද, ඊට සිතින්ම කීකරුවී, 18පාපයෙන් නිදහස්කරන ලදුව, ධර්මිෂ්ඨකමේ දාසයන් වූ බැවින්, දෙවියන්වහන්සේට ස්තුතිවේවා. 19නුඹලාගේ මාංසයේ දුර්වලකම නිසා මනුෂ්‍ය ව්‍යවහාරයෙන් කථාකරමි. නුඹලා නුඹලාගේ අවයවයන් අපවිත්‍රකමටත් අයුතුකම පිණිස අයුතුකමටත් දාසයන්කොට භාරදුන් සේම, දැන් නුඹලාගේ අවයවයන් ශුද්ධකම පිණිස ධර්මිෂ්ඨකමට දාසයන් කොට භාරදෙන්න. 20මක්නිසාද නුඹලා පාපයාගේ දාසයෝව සිටියදී ධර්මිෂ්ඨකම සම්බන්ධව නිදහස්ව සිටියහුය. 21ඉඳින් නුඹලා දැන් යම් දෙයකට ලජ්ජාව සිටිවුද, එකල්හි ඒ දෙයින් කුමන ඵලයක් ලැබුවහුද? මක්නිසාද ඒ දේවල කෙළවර නම් මරණයය. 22නුමුත් දැන් නුඹලා පාපයෙන් නිදහස්කරනලදුව, දෙවියන්වහන්සේගේ දාසයෝ වී, ශුද්ධකම සඳහා ඵල දරන්නහුය, එහි කෙළවරද සදාකාල ජීවනයය. 23මක්නිසාද පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය.

Currently Selected:

රෝම 6: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy