YouVersion Logo
Search Icon

ගීතාවලිය 45

45
රාජකීය මංගල්‍ය ගීතයකි
නායක වාද්‍යකරුටයි; ෂොෂන්නීම් යන තූර්ය ඇතුව ගීතිකාකිරීමටයි; කෝරාගේ පුත්‍රයන්ටයි. අනුශාසනාවක් වන ප්‍රේමවන්තියන් ගැන සෑදූ ගීතිකාවකි.
1යහපත් කාරණයකින් මාගේ සිත ඉතිරී යයි. මම රජ්ජුරුවන් සඳහා කව් කියමි.
මාගේ දිව දක්ෂ ලියන්නෙකුගේ පන්හිඳ වේ.
2ඔබ මනුෂ්‍ය පුත්‍රයන්ට වඩා රුව ඇතිසේක;
ඔබගේ තොල්වල අනුග්‍රහය වගුරුවනලද්දේය.
එබැවින් දෙවියන්වහන්සේ ඔබට සදාකාලයටම ආශීර්වාදකළසේක.
3බලවන්තයාණෙනි, ඔබගේ තේජස හා මහිමය නමැති කඩුව ඉඟටියෙහි බැඳගත මැනව.
4සැබෑකමත් මොළොක්කමත් ධර්මිෂ්ඨකමත් සඳහා ස්වකීය මහිමයෙන් යුක්තව ජය රථයෙන් වැඩිය මැනව.
ඔබගේ දකුණත ඔබට භයානක කාරණා උගන්වන්නේය.
5ඔබගේ ඊගස් තියුණුය;
මනුෂ්‍ය වර්ගයෝ ඔබට පරාජයව වැටෙති, රජුගේ සතුරන්ගේ හෘදයට ඒවා ඇනී තිබේ.
6දෙවියන්වහන්ස, ඔබගේ සිංහාසනය සදාකාලේටම පවතින්නේය.
ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය සාධාරණකමේ ජයකොන්තයක්ය.
7ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රියව, දුෂ්ටකමට ද්වේෂකළසේක.
එබැවින් දෙවියන්වහන්සේ, ඔබගේ දෙවියන්වහන්සේ, ඔබගේ පංගුකාරයන්ට වඩා ඔබ සන්තෝෂ නමැති තෛලයෙන් ආලේපකළසේක.
8ඔබගේ වස්ත්‍ර සියල්ලෙන් ගන්ධරස අගිල් සහ කුරුඳු සුවඳ නික්මෙයි;
ඇත්දත්මයවූ මාලිගා තුළින් වීණාවෝ ඔබට ප්‍රීති ඉපදෙවූවෝය.
9ඔබගේ කුල ස්ත්‍රීන් අතරෙහි රාජ දූවරු සිටිති.
ඕපීර්හි රනින් සැරසී බිසව් තොමෝ ඔබගේ දකුණෙන් සිටින්නීය.
10දියණියෙනි, අසව, කල්පනාකරව, කන් යොමුකරව;
නුඹේම සෙනඟත් නුඹේ පියාණන්ගේ ගෙදරත් සිහිනැතිකරව;
11එවිට රජතෙම නුඹේ රූපශ්‍රීයට ආශාවෙයි.
මක්නිසාද උන්වහන්සේ නුඹේ ස්වාමීය;
උන්වහන්සේට නමස්කාර කරව.
12තීර්හි දුව පඬුරක් රැගෙන එන්නීය;
සෙනඟ අතරේ ධනවන්තයෝ පවා නුඹෙන් කරුණාව ඉල්ලන්නෝය.
13රාජදූ තොමෝ මාලිගාව තුළෙහි සියලු ආකාර තේජසින් යුක්තවන්නීය.
ඇගේ වස්ත්‍ර රනින් විසිතුරු කරනලද්දේය.
14මල්කම්කළ සළුවෙන් සරසනලද ඈ රජු වෙත පමුණුවනු ලබන්නීය.
ඈ අනුව යන්නාවූ ඇගේ යහළු කන්‍යාවෝ ඔබ වෙත පමුණුවනු ලබන්නෝය.
15ඔව්හු සන්තෝෂයෙන් හා ප්‍රීතියෙන් ගෙනයනු ලබන්නෝය.
ඔව්හු රාජ මාලිගාවට ඇතුල්වන්නෝය.
16ඔබගේ පියවරුන් වෙනුවට දරුවෝ සිටින්නාහුය, ඔබ ඔවුන් මුළු පොළොවෙහි අධිපතීන් කරන්නෙහිය.
17මම ඔබගේ නාමය සියලු පරම්පරාවන්හි සිහිකරවන්නෙමි.
එබැවින් මනුෂ්‍ය වර්ගයෝ සදාකල්හිම ඔබට ස්තුතිකරන්නෝය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy