YouVersion Logo
Search Icon

ගීතාවලිය 44

44
ජාතිය නින්දා ලත් කාලයේදී කන්නලව්කිරීම
නායක වාද්‍යකරුටයි; කෝරාගේ පුත්‍රයන්ටයි. අනුශාසනාවකි.
1දෙවියන්වහන්ස, පුරාණ කාලය වන, අපේ පියවරුන්ගේ දවස්වලදී, ඔබ කළ ක්‍රියා අපේ කනින් ඇසීමුව, අපේ පියවරු අපට කීවෝය.
2ඔබ ස්වකීය හස්තයෙන් ජාතීන් පිටත එළවා, මොවුන් වාසයකෙරෙවුසේක;
ඔබ මනුෂ්‍ය වර්ගයන්ට පීඩාකොට මොවුන් පැතිරවූසේක.
3මක්නිසාද ඔබ මොවුන්ට ප්‍රසන්න බැවින්, ඔබගේ දකුණතින්ද ඔබගේ බාහුවෙන්ද ඔබගේ මුහුණේ එළියෙන්ද ගැළවුණා මිස, මොවුන්ගේ කඩුවෙන් දේශය උරුමකර නොගත්තෝය, ස්වකීය බාහුවද මොවුන් නොගැළෙවුවේය.
4දෙවියන්වහන්ස, ඔබ මාගේ රජ්ජුරුවෝය.
යාකොබ්ට මිදීම වේවයි අණකළ මැනව.
5ඔබ කරණකොටගෙන අපේ එදිරිකාරයන් හෙළාදමන්නෙමුව.
අපට විරුද්ධව නැගිටින්නන් ඔබගේ නාමය කරණකොටගෙන පාගා දමන්නෙමුව.
6මක්නිසාද මාගේ දුන්න විශ්වාස නොකරන්නෙමි, මාගේ කඩුවද මා නොගළවන්නේය.
7ඔබ අපේ එදිරිකාරයන්ගෙන් අප ගළවා, අපට වෛරවෙන්නන් ලජ්ජාවට පැමිණවූසේක.
8අපි දවස මුළුල්ලේම දෙවියන්වහන්සේ වර්ණනාකෙළෙමුව, ඔබගේ නාමයට සදාකල් ස්තුතිකරන්නෙමුව.
9නුමුත් ඔබ අප පහකොට අගෞරවයට පැමිණවූසේක;
අපේ සේනාවන් සමඟ නොයනසේක.
10ඔබ එදිරිකාරයා කෙරෙන් අප ආපසු හරවනසේක.
අපට වෛරවන්නෝද කොල්ලකාගනිති.
11කෑම පිණිස නියමවූ බැටළුවන් මෙන් ඔබ අප පාවාදී, ජාතීන් අතරේ අප විසිරවූසේක.
12ඔබ ස්වකීය සෙනඟ නොමිලයේ විකුණනසේක, ඔවුන්ගේ අගයෙන්ද ඔබ වස්තු වැඩිකර නොගත්සේක.
13ඔබ අපේ අසල්වාසීන්ට අප නින්දාවක්ද, අප අවට සිටින්නන්ට හෙළාදැක්මක් හා අපහාසයක්ද වෙන්ට සලස්වනසේක.
14ඔබ ජාතීන් අතරේ අප නින්දා වාක්‍යයක්ද, මනුෂ්‍ය වර්ගයන් අතරේ හිස් වැනීමට කරුණක්ද වෙන්ට සලස්වනසේක.
15නින්දාකරන්නාගෙත් අපහාස කරන්නාගෙත් ශබ්දය නිසාද, සතුරා සහ පළිගන්නා නිසාද,
16දවස මුළුල්ලේ මාගේ අගෞරවය මා ඉදිරියෙහිය, මාගේ මුහුණේ ලජ්ජාවද මා වසාගත්තේය.
17මේ සියල්ල අපට පැමිණියේය;
එහෙත් ඔබ සිහිනැති නොකෙළෙමුව, ඔබගේ ගිවිසුම ගැන වංචාවෙන් ක්‍රියා නොකෙළෙමුව.
18සිවලුන්ගේ වාසස්ථානයේදී ඔබ අප සම්පූර්ණයෙන් බින්ද නුමුත්, මරණ සෙවණෙන් අප වැසූ නුමුත්,
19අපේ සිත පසුබට නොවීය, අපේ පාද ඔබගේ මාර්ගයෙන් ඉවත් නොවීය.
20අපේ දෙවියන්වහන්සේගේ නාමය සිහිනැති කෙළෙමු නම්, අන් දෙවියෙකුට අත් දිගුකෙළෙමු නම්,
21දෙවියන්වහන්සේ එය නොසොයනසේක්ද?
මක්නිසාද උන්වහන්සේ සිතේ රහස් දන්නාසේක.
22එසේය, දවස මුළුල්ලේ ඔබ නිසා අපි මරනු ලබමුව;
මැරීමට නියම බැටළුවන් මෙන් ගණිනලද්දෝ වමුව.
23ස්වාමිනි, පිබිදුණ මැනව, ඔබ මක්නිසා නිදනසේක්ද?
නැගුටුණ මැනව, සදාකාලයටම අප පහ නොකළ මැනව.
24කුමක්හෙයින් ඔබගේ මුහුණ සඟවමින්, අපේ විපත්තිය සහ පීඩාව සිහිනැති කරනසේක්ද?
25අපේ ආත්මය ධූලියට නැමී තිබේ.
අපේ උදරයද බිමට ඇලෙයි.
26අපට උපකාර පිණිස නැගුටුණ මැනව, ඔබගේ කරුණාගුණය නිසා අප මිදුවමැනව.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy