YouVersion Logo
Search Icon

ශු. ලූක් 21

21
වැන්දඹු ස්ත්‍රියගේ පඬුර
1උන්වහන්සේ ඇස් ඔසවා, ධනවතුන් තමුන්ගේ පඬුරු ගබඩාවට දමනවා දුටුසේක. 2එක්තරා දිළිඳු වැන්දඹුවක් කුඩා මිල දෙකක් එහි දමනවාත් උන්වහන්සේ දැක: 3සැබවක් නුඹලාට කියමි– මේ දිළිඳු වැන්දඹුව සියල්ලන්ට වඩා දැමුවාය. 4මක්නිසාද මොවුන් සියල්ලෝම තමුන්ගේ වැඩිමනත් දෙයින් ගබඩාවට පඬුරු දැමුවෝය. නුමුත් මෑ තමාගේ හිඟකමින්, තමාට ජීවිකාවට තිබුණු සියල්ලම දැමුවායයි කීසේක.
දේවමාළිගාවේ විනාශය සහ මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ ඊම කලින් කීම
5සමහරු දේවමාළිගාව ගැන කථාකොට, ඒක ශෝභමාන ගල්වලින්ද කැපකළ දේවලින්ද සරසා තිබෙන හැටි කී කල්හි, උන්වහන්සේ කථාකොට: 6නුඹලා බලන මේ දේවල් වනාහි ගලක් පිට ගලක් ඉතුරු නොවන හැටියට කඩා දමනු ලබන දවස් පැමිණෙන්නේයයි කීසේක. 7ආචාරිනි, ඒ දේ කොයි කලක වන්නේද? ඒවා සිදුවෙන්ට එන කල ලකුණ කිමෙක්දැයි ඔව්හු උන්වහන්සේගෙන් ඇසුවෝය. 8උන්වහන්සේ කියනසේක්: මුළා නොවෙන්ට බලාගන්න. මක්නිසාද මාගේ නාමයෙන් බොහෝ දෙනෙක් ඇවිත්–ඒ මමය කියාත් කාලය ළඟය කියාත් කියන්නෝය. ඔවුන් පස්සේ නොයන්න. 9යුද්ධ සහ කෝලාහල ගැන අසන කල, ත්‍රස්ත නොවන්න. මක්නිසාද මේ දේවල් පළමුකොට සිදුවෙන්ට ඕනෑය; නුමුත් කෙළවර එකෙණෙහිම නොපැමිණෙන්නේයයි කීසේක.
10එවිට උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. 11මහත් භූමිකම්පාද නොයෙක් තැන්වල සාගත හා වසංගතද වන්නේය; භයංකර පෙනීම්ද අහසින් මහත් ලකුණුද වන්නේය 12නුමුත් ඒ සියල්ලට පළමුවෙන් මාගේ නාමය නිසා ඔව්හු නුඹලා පිට අත්හෙළා, සිනගෝගවලටත් හිරගෙවලටත් නුඹලා පාවාදෙමින්, නුඹලාට පීඩාකරන්නෝය, නුඹලා රජුන් හා ආණ්ඩුකාරයන් ඉදිරියට ගෙනයන්නෝය. 13ඒක නුඹලාට සාක්ෂියක් පිණිස වන්නේය. 14එබැවින් උත්තරදිය යුතු කෙසේදැයි කලින් කල්පනා නොකරන්නට නුඹලාගේ සිත්හි නියමකරගන්න. 15මක්නිසාද නුඹලාගේ සියලු එදිරිකාරයින් විසින් විරුද්ධව සිටින්ටවත් බොරු කරන්ටවත් බැරිවූ මුඛයක්ද ප්‍රඥාවද මම නුඹලාට දෙන්නෙමි. 16එහෙත් මවුපිය සහෝදර නෑ මිත්‍රයන් විසින්ම නුඹලා භාරදෙනු ලබන්නහුය; ඔව්හු නුඹලාගෙන් සමහරෙකු මරණයට පත්කරවන්නෝය. 17මාගේ නාමය නිසා සියල්ලෝම නුඹලාට වෛරවන්නෝය. 18නුමුත් නුඹලාගේ හිසකෙසක්වත් නැති නොවන්නේය. 19නුඹලා ක්ෂාන්ති ගුණයෙන් සිටීමෙන් නුඹලාගේ ආත්ම දිනාගන්නහුය.
20එහෙත් යම් කලක සේනාවන් විසින් යෙරුසලම වටලා සිටිනවා නුඹලා දකින්නහුද, එකල එහි විනාශය ආසන්න බව දැනගන්න. 21එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායත්වා; එහි තුළ සිටින්නෝ පිටතට යත්වා; ගම්බද සිටින්නෝ එහි ඇතුල් නොවෙත්වා. 22මක්නිසාද ලියනලද සියල්ල සම්පූර්ණවන පිණිස ඒ දවස් පළිගැනීමේ දවස් වන්නේය. 23ඒ දවස්වලදී ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ! මක්නිසාද දේශය පිට මහත් දුක් වේදනාද මේ සෙනඟ කෙරෙහි උදහසද වන්නේය. 24ඔව්හු කඩුමුවහතින් වැටෙන්නෝය, සියලු ජාතීන් අතරට වහලුන් මෙන් ගෙනයනු ලබන්නෝය. අන්‍යජාතීන්ගේ කාලවල් සම්පූර්ණ වන තෙක් යෙරුසලම අන්‍යජාතීන් විසින් මඩිනු ලබන්නීය. 25ඉර සඳ හා තාරකාවන් කෙරේ ලකුණු හා මුහුදෙත් රැළ ගැසීමෙත් ඝෝෂාව නිසා වන වියවුලින් පොළොවේ ජාතීන්ට දුක්වේදනාද වන්නේය. 26මක්නිසාද ආකාශයේ පරාක්‍රමධාරීන් සොලවනු ලබන බැවින් භයෙනුත් ලෝකයට පැමිණෙන්නාවූ දේ බලාපොරොත්තුව සිටීමෙනුත් මනුෂ්‍යයන්ගේ සිත් ක්ලාන්තවන්නේය. 27එකල මනුෂ්‍ය පුත්‍රයා බලයෙන් සහ මහත් තේජසින් යුක්තව වලාකුළකින් එනවා ඔව්හු දකින්නෝය. 28මේ දේ සිදුවෙන්ට පටන්ගන්න කල, නුඹලාගේ මිදීම ළංවූ බැවින්, ඉහළ බලා, හිස් ඔසවන්නැයි කීසේක.
අත්තික්කා ගහේ උපමාව. අවදිව සිටීමට අවවාද
29තවද උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියනසේක්: අත්තික්කා ගසද සියලු ගස්ද බලන්න. 30ඒවා දළුලන විට, ඒ දැක ග්‍රීෂ්ම කාලය දැනටම ළඟ බව නුඹලාම දැනගන්නහුය. 31එලෙසම මේ දේ සිදුවෙනවා දකින කල, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ළඟ බවත් දැනගන්න. 32සැබැවක් නුඹලාට කියමි–සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහව නොයන්නේය. 33අහසත් පොළොවත් පහව යන්නේය. නුමුත් මාගේ වචන පහව නොයන්නේය.
34එහෙත් ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත්කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගන්න. 35මක්නිසාද ඒක මුළු පොළෝතලය පිට වසන්නාවූ සියල්ලන් කෙරෙහි එසේ පැමිණෙන්නේය. 36එබැවින් ඒ සිදුවන සියල්ලෙන් ජයගෙන ගැළවෙන පිණිසද මනුෂ්‍ය පුත්‍රයා ඉදිරියෙහි සිටින පිණිසද කන්නලව්කරමින්, සැම කාලයේදීම අවදිව හිඳින්නැයි කීසේක.
37උන්වහන්සේ දවාලේ දේවමාළිගාවෙහි උගන්වමින් සිට, රාත්‍රියේ පිටත්ව ගොස්, ඔලීව නම් කන්දේ නැවතී සිටිසේක. 38මුළු සෙනඟද උන්වහන්සේගේ වචන අසන පිණිස දේවමාළිගාවේ සිටි උන්වහන්සේ වෙතට උදයේම ආවෝය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy