YouVersion Logo
Search Icon

ශු. ලූක් 22

22
යූදස්ගේ ද්‍රෝහිකාරකම
1පාස්කුව නම්වූ මුහුන් නොදැමූ රොටි කන මංගල්‍යය ළං විය. 2නායක පූජකයෝද ලියන්නෝද උන්වහන්සේ නසන්නේ කෙසේදැයි සෙවුවෝය; මක්නිසාද ඔව්හු සෙනඟට භයව සිටියෝය.
3එවිට දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ ඉස්කාරියොත් නම් යූදස්ට සාතන් ආවේශවිය. 4ඔහු ගොස්, නායක පූජකයන්ට සහ අධිපතීන්ටත් උන්වහන්සේ පාවාදෙන්නේ කෙසේද කියා ඔවුන් සමඟ කථාකරගත්තේය. 5ඔව්හු සතුටුව ඔහුට මිල දෙන්ට ගිවිස්සෝය. 6ඔහු ඊට එකඟවී, සමූහයා ළඟ නැති විටක උන්වහන්සේ ඔවුන්ට පාවාදෙන්ට ප්‍රස්තාවක් සෙවීය.
අන්තිම පාස්කු මංගල්‍යය පිළියෙළකිරීම
7තවද පාස්කුව පූජාකළ යුතුවූ මුහුන් නොදැමූ රොටි කන දවස පැමුණුණේය. 8එවිට උන්වහන්සේ පේතෘස්ද යොහන්ද යවමින්: නුඹලා ගොස් අප විසින් පාස්කුව කන පිණිස පිළියෙළකරන්නැයි කීසේක. 9කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමතිසේක්දැයි ඔව්හු උන්වහන්සේගෙන් ඇසුවෝය. 10උන්වහන්සේ ඔවුන්ට කථාකොට: බලව, නුඹලා නුවරට ඇතුල්වූ විට, මනුෂ්‍යයෙක් පැන් කළයක් ගෙනයනවා නුඹලාට සම්බවන්නේය; ඔහු යන ගෙදරට ඔහු පස්සේ ගොස්, 11ගෙයි ස්වාමියාට කථාකොට: මා විසින් මාගේ ගෝලයන් සමඟ පාස්කුව කන්ට හැකිවූ ආගන්තුක ශාලාව කොතනද කියා ආචාරීන් අසනවායයි කියන්න. 12සූදානම්කර තිබෙන මහත් උඩුමහලක් ඔහු නුඹලාට පෙන්වනවා ඇත. එහි පිළියෙළකරන්නැයි කීසේක. 13ඔව්හු ගොස්, උන්වහන්සේ කී ලෙස සම්බව, පාස්කුව පිළියෙළකළෝය.
අන්තිම රාත්‍රී කෑම
14පැය පැමිණි කල උන්වහන්සේද උන්වහන්සේ සමඟ ප්‍රේරිතයෝද හිඳගත්තෝය. 15උන්වහන්සේ ඔවුන්ට කථාකොට: වධවිඳීමට පළමුවෙන් මම මේ පාස්කුව නුඹලා සමඟ කන්ට අතිශයෙන් ආශාවුණෙමි. 16මක්නිසාද නුඹලාට කියමි–දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහිදී ඒක සම්පූර්ණවන තුරු මම ඒක නොකන්නෙමියි කීසේක. 17උන්වහන්සේ කුසලානක් ලැබ, ස්තුතිකොට: මේක ගෙන නුඹලා අතරේ බෙදාගන්න. 18මක්නිසාද නුඹලාට කියමි–දෙවියන්වහන්සේගේ රාජ්‍යය පැමිණෙන තුරු, මෙතැන් පටන් මම මිදිවැලේ ඵලයෙන් නොබොන්නෙමියි කීසේක. 19උන්වහන්සේ රොටි ගෙන ස්තුති කොට කඩා, ඔවුන්ට දී: මේක නුඹලා උදෙසා දෙනලද මාගේ ශරීරයය; මා සිහිකිරීම පිණිස මේක කරන්නැයි කීසේක. 20එලෙසම රාත්‍රි කෑමට පසු කුසලාන දී: මේ කුසලාන නුඹලා උදෙසා වගුරුවන මාගේ ලෙයෙහි අලුත් ගිවිසුමය. 21එහෙත් මා පාවාදෙන්නාගේ අත මා සමඟ මේසයෙහි තිබේ. 22මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා නියමකර තිබෙන හැටියට යන්නේමය. නුමුත් ඔහු පාවාදෙන ඒ මනුෂ්‍යයාට දුක්වේ යයි කීසේක. 23එවිට, ඒක කරන්ට යන්නේ ඔවුන්ගෙන් කවරෙක්දැයි ඔව්හු තමුන් අතරේම විචාරන්ට පටන්ගත්තෝය.
වඩා උතුම් තැනැත්තා කවුද යන වාදය
24ඔවුන්ගෙන් ඉතා උතුම්කොට ගණන්ගනු ලබන්නේ කවරෙක්දැයි ඔවුන් අතරේ විවාදයක්ද හටගත්තේය. 25උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: අන්‍ය ජාතීන්ගේ රජවරු ඔවුන් කෙරෙහි අධිපතිකම් පවත්වති; ඔවුන් කෙරෙහි බලය පවත්වන්නෝ වනාහි උපකාරකාරයෝයයි කියනු ලබති. 26නුමුත් නුඹලා එසේ නොව, නුඹලා අතරෙන් වඩා උත්තමයා බාලයා මෙන් වේවා; ප්‍රධානයා උපස්ථානකරන්නා මෙන් වේවා. වඩා උතුම් කවුද? 27කෑමට හිඳින තැනැත්තාද? නොහොත් උපස්ථානකරන්නාද? කෑමට හිඳින තැනැත්තේ නොවේද? නුමුත් මම වනාහි නුඹලා මධ්‍යයෙහි උපස්ථානකරන්නා මෙන් වෙමි. 28මාගේ පරීක්ෂාවලදී මා සමඟම සිටි අය නම් නුඹලාය. 29එබැවින් මාගේ පියාණන්වහන්සේ මට රාජ්‍යයක් නියම කළාක් මෙන්ම, 30මාගේ රාජ්‍යයෙහිදී මාගේ මේසයේ කන්ටද බොන්ටද නුඹලාට රාජ්‍යයක් නියමකරමි; නුඹලා ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින් සිංහාසනවල හිඳින්නහුය.
පේතෘස්ට සහ අනික් ගෝලයන්ට කලින් අවවාදකිරීම
31සීමොන්, සීමොන්, බලව, නුඹලා ගෝධුම මෙන් පොළන්ට සාතන් ඉල්ලුවේය. 32නුමුත් නුඹේ ඇදහිල්ල නැති නොවන පිණිස නුඹ උදෙසා මම යාච්ඤාකෙළෙමි. නුඹ නැවත හැරුණායින් පසු නුඹේ සහෝදරයන් ස්ථිරකරන්නැයි කීසේක. 33ඔහුද: ස්වාමීනි, ඔබ සමඟ හිරගෙටත් මරණයටත් යන්ට සූදානම්ව සිටිමියි උන්වහන්සේට කීවේය. 34උන්වහන්සේද: පේතෘස්, නුඹට කියමි–නුඹ මා අඳුනන්නේ නැත කියා තුන්වරක් කියන තුරු, අද කුකුළා අඬලන්නේ නැතැයි කීසේක.
35උන්වහන්සේ ඔවුන්ට කථාකොට: පසුම්බියක්වත් මල්ලක්වත් වහන්වත් නැතුව මා නුඹලා යැවූ කල නුඹලාට කිසිවක් හිඟවීදැයි ඔවුන්ගෙන් ඇසූසේක. නැතැයි ඔව්හු කීවෝය. 36උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුමුත් දැන් පසුම්බියක් ඇත්තෙක් ඒක ගනීවා, එසේම මල්ලකුත් ගනීවා. කඩුවක් නැත්තා තමාගේ සළුව විකුණා, කඩුවක් මිලේට ගනීවා. 37මක්නිසාද නුඹලාට කියමි–උන්වහන්සේ අපරාධකාරයන් සමඟ ගණන්ගනු ලැබූසේකැයි ලියා තිබෙන මේ දේ මා කෙරෙහි සම්පූර්ණවිය යුතුය; මක්නිසාද මා ගැන ලියා තිබෙන දේ සම්පූර්ණවන්නේයයි කීසේක. 38ඔව්හු: ස්වාමිනි, බැලුව මැනව, කඩු දෙකක් මෙහි තිබේයයි කීවෝය. උන්වහන්සේද: ඇතැයි ඔවුන්ට කීසේක.
ගෙත්සෙමන
39එවිට උන්වහන්සේ පිටත්ව, තමන්ගේ පුරුද්ද ලෙස ඔලීව කන්දට ගියසේක; ගෝලයොත් උන්වහන්සේ අනුව ගියෝය. 40උන්වහන්සේ ඒ ස්ථානයට පැමිණ සිටියදී කථාකොට: නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන ලෙස යාච්ඤා කරන්නැයි ඔවුන්ට කීසේක. 41ගලක් ගසන දුර පමණ උන්වහන්සේ ඔවුන්ගෙන් වෙන්වී, දණින් හිඳ යාච්ඤා කරමින්: 42පියාණෙනි, ඔබ කැමතිසේක් නම්, මේ කුසලාන මාගෙන් පහකළ මැනව. එසේවී නුමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවායි කීසේක. 43එකල ස්වර්ගයෙන් දේවදූතයෙක් උන්වහන්සේට පෙනී, උන්වහන්සේ ශක්තිමත්කළේය. 44උන්වහන්සේ මහත් වේදනා වින්දසේක් වඩා ඕනෑකමින් යාච්ඤාකළසේක. උන්වහන්සේගේ ඩාදියද මහත් ලේ බින්දු මෙන් බිම වැටුණේය. 45උන්වහන්සේ යාච්ඤාවෙන් නැගිට, ගෝලයන් ළඟට ඇවිත්, ඔවුන් ශෝකයෙන් නිදාඉන්නවා දැක: 46නුඹලා නිදාඉන්නේ මක්නිසාද? පරීක්ෂාවට නොපැමිණෙන පිණිස නැගිට යාච්ඤාකරන්නැයි ඔවුන්ට කීසේක.
යේසුස්වහන්සේ අල්ලාගනු ලැබීම
47උන්වහන්සේ කථාකරද්දීම, බලව, සමූහයක් ආවෝය; දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ යූදස් කියන අයද ඔවුන්ට පෙරටුව ඇවිත් යේසුස්වහන්සේ සිඹින පිණිස උන්වහන්සේට ළංවුණේය. 48යේසුස්වහන්සේද: යූදස්, නුඹ සිඹීමකින් මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙනවාදැයි ඔහුට කීසේක. 49උන්වහන්සේ අවට සිටි අය පැමිණෙන්ට තිබෙන දේ දැක: ස්වාමිනි, කඩුවෙන් ගසමුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. 50ඔවුන්ගෙන් එක්තරා කෙනෙක් උත්තම පූජකයාගේ දාසයාට ගසා, ඔහුගේ දකුණු කන කපාදැමීය. 51නුමුත් යේසුස්වහන්සේ උත්තරදෙමින්: මෙපමණකට ඉඩදෙන්නය කියා, ඔහුගේ කන අතගා සුවකළසේක. 52යේසුස්වහන්සේ තමන්ට විරුද්ධව ආවාවූ නායක පූජකයන්ටද දේවමාළිගාවේ අධිපතීන්ටද වැඩිමහල්ලන්ටද කථාකොට: නුඹලා සොරෙකුට විරුද්ධව මෙන් කඩුමුගුරු රැගෙන ආවාහුද? 53දවස්පතා මා දේවමාළිගාවෙහි නුඹලා සමඟ සිටියදී නුඹලා මට විරුද්ධව අත් දිඟුකළේ නැත. නුමුත් මෙය නුඹලාගේ පැයත් අන්ධකාරයේ බලයත්යයි කීසේක.
පේතෘස් විසින්: නාඳුනමියි කීම
54ඔව්හු උන්වහන්සේ අල්ලාගෙන යන්නාහු, උත්තම පූජකයාගේ ගෙදරට ගෙනගියෝය. 55එහෙත් පේතෘස් ඈතින් පස්සේ ගියේය. ඔවුන් ශාලාව මැද ගිනි පත්තුකොට, එකතුව හිඳගෙනඋන් කල, පේතෘස් ඔවුන් මැද හිඳගත්තේය. 56එවිට එක් යෞවනියෙක් ඔහු ගිනි ළඟ ඉන්නවා දැක, ඔහු දෙස හොඳට බලා: මොහුත් ඔහු සමඟ සිටියේයයි කීවාය. 57නැත, ස්ත්‍රිය, මම ඔහු නාඳුනමියි ඔහු කීවේය. 58ස්වල්ප වේලාවකට පසු වෙන කෙනෙක් ඔහු දැක: නුඹත් ඔවුන්ගෙන් එක්කෙනෙක්යයි කීවේය. පේතෘස්ද: මනුෂ්‍යය, මම එසේ නොවෙමියි කීවේය. 59පැයකට පමණ පසු තවත් එක්කෙනෙක් කථාකොටඃ සැබෑවටම මොහුත් ඔහු සමඟ සිටියේය. මක්නිසාද මොහු ගලීලෙයකැයි සැක නොකොට ස්ථිරලෙස කීවේය. 60පේතෘස්ද: මනුෂ්‍යය, නුඹ කියන දේ නොදනිමියි කීවේය. එකෙණෙහිම, ඔහු කථාකරද්දීම, කුකුළා හඬලීය. 61ස්වාමීන්වහන්සේ හැරී පේතෘස් දෙස බැලූසේක. පේතෘස්ද: අද කුකුළා හඬලන්ට පළමුවෙන් ඔහු නාඳුනමියි තුන් වරක් නුඹ මා ගැන කියන්නෙහියයි ස්වාමීන්වහන්සේ ඔහුට කී වචනය සිහිකොට, 62පිටතට ගොස්, බලවත් දුකින් හැඬුවේය.
63එකල යේසුස්වහන්සේ අල්ලාගෙන සිටි මනුෂ්‍යයෝ උන්වහන්සේට කවටකම්කරමින්, පහර දුන්නෝය. 64ඔව්හු උන්වහන්සේගේ ඇස් බැඳ: නුඹට ගැසුවේ කවුදැයි දිවැසින් කියන්නැයි උන්වහන්සේට කීවෝය. 65ඔව්හු තවත් බොහෝ දේ උන්වහන්සේට විරුද්ධව කියමින්, උන්වහන්සේට අපහාසකළෝය.
යේසුස්වහන්සේ යුදෙව් මන්ත්‍රණ සභාව ඉදිරිපිට සිටීම
66පහන්වූ කෙණෙහිම සෙනඟගේ වැඩිමහල්ලන්ගේ සභාව වන නායක පූජකයෝද ලියන්නෝද රැස්ව, තමුන්ගේ මන්ත්‍රණසභාව අභිමුඛයට උන්වහන්සේ ගෙනගොස්: 67නුඹ ක්‍රිස්තුස් නම් අපට කියන්නැයි කීවෝය. උන්වහන්සේද: මා නුඹලාට කීවත් නුඹලා විශ්වාසකරන්නේ නැත; 68මා නුඹලාගෙන් ඇසුවත් නුඹලා උත්තරදෙන්නේ නැත. 69නුමුත් මෙතැන් පටන් මනුෂ්‍ය පුත්‍රයා දෙවියන්වහන්සේගේ පරාක්‍රමයේ දකුණු පැත්තේ වැඩහිඳිනවා ඇතැයි ඔවුන්ට කීසේක. 70ඔවුන් සියල්ලෝ: එසේ නම් නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රයාදැයි ඇසුවෝය. උන්වහන්සේද: ඒ මම බැවින් නුඹලා කියන්නහුයයි ඔවුන්ට කීසේක. ඔව්හුද: තවත් සාක්ෂි අපට කුමටද? 71මක්නිසාද ඔහුගේම කටින් කියනවා අපිම ඇසීමුයයි කීවෝය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy