YouVersion Logo
Search Icon

ශු. ලූක් 20

20
යේසුස්වහන්සේගේ බලය ගැන ප්‍රශ්නකිරීම
1තවද උන්වහන්සේ ඒ දවස්වලින් එකකදී දේවමාළිගාවේ සෙනඟට උගන්වමින්, ශුභාරංචිය දේශනාකරමින් සිටියදී, නායක පූජකයෝද ලියන්නෝද වැඩිමහල්ලන් සමඟ උන්වහන්සේ ළඟට පැමිණ කථාකොට: 2නුඹ මේ දේ කරන්නේ මොන බලයකින්ද? නොහොත් මේ බලය නුඹට දුන්නේ කවුදැයි අපට කියන්නැයි උන්වහන්සේට කීවෝය. 3උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මමත් නුඹලාගෙන් ප්‍රශ්නයක් අසමි; ඒක මට කියන්න: 4යොහන්ගේ බව්තීස්මය වුණේ ස්වර්ගයෙන්ද? නොහොත් මනුෂ්‍යයන්ගෙන්දැයි ඇසූසේක. 5එවිට ඔව්හු තමුන් අතරේ කථාකොට: ස්වර්ගයෙන්යයි කීවොත්, ඔහු අදහා නොගත්තේ මක්නිසාදැයි කියනවා ඇත. 6මනුෂ්‍යයන්ගෙන්යයි කීවොත්, යොහන් අනාගතවක්තෘ කෙනෙක් කොට මුළු සෙනඟ විශ්වාසකරන බැවින්, ඔවුන් අපට ගල් ගසනවා ඇතැයි කියා, 7කොතැනින් වුණේදැයි නොදැනිමුයයි උත්තරදුන්නේය. 8එවිට යේසුස්වහන්සේ: මමත් මොන බලයකින් මේ දේ කරම්දැයි නුඹලාට නොකියමියි ඔවුන්ට කීසේක.
නපුරු ගොවීන් ගැන උපමාව
9උන්වහන්සේ සෙනඟට මේ උපමාව කියන්ට පටන්ගෙන: මනුෂ්‍යයෙක් මිදිවත්තක් වවා, ගොවීන්ට බදුදී, බොහෝ කලකට වෙන රටකට ගියේය. 10ඵල අවස්ථාවේදී ගොවියන් විසින් මිදි වත්තේ ඵල කොටස ඔහුට දෙන පිණිස ඔහු ඔවුන් ළඟට දාසයෙකු යැවීය. නුමුත් ගොවීහු ඔහුට තළා, ඔහු හිස් අතින් ඇරියෝය. 11පසුව ඔහු වෙන දාසයෙකු යැවීය. ගොවියෝ ඔහුටත් තළා, නිග්‍රහකොට, ඔහු හිස් අතින් ඇරියෝය. 12නැවතද ඔහු තුන්වෙනියෙකු යැවීය. ඔව්හු ඔහුටත් තුවාලකොට පිටතට දැම්මෝය. 13එවිට මිදිවත්තේ ස්වාමියා කථාකොට: මම මක්කරම්ද? මාගේ ප්‍රේමවන්ත පුත්‍රයා යවමි. සමහරවිට ඔවුන් ඔහුට ගෞරවකරනවා ඇතැයි කීවේය. 14නුමුත් ගොවීහු ඔහු දැක, ඔවුනොවුන් කථාකොට: මොහු උරුමක්කාරයාය. උරුමය අපට වෙන පිණිස මොහු මරමුව කියා, 15ඔහු මිදිවත්තෙන් පිටත දමා මැරුවෝය. එහෙයින් මිදිවත්තේ ස්වාමියා ඔවුන්ට කුමක්කරනවා ඇද්ද? 16ඔහු ඇවිත් ඒ ගොවීන් විනාශකොට, මිදිවත්ත අන්‍යයන්ට දෙන්නේයයි කීසේක. ඔව්හු ඒ අසා: එසේ නොවේවයි කීවෝය. 17නුමුත් උන්වහන්සේ ඔවුන් දෙස බලා: එසේවී නම්, ගෙවල් සාදන්නන් විසින් එපාකළ ගලම කොනෙහි ප්‍රධාන ගල කරනු ලැබීය යන ලියවිල්ලේ අර්ථය මොකද? 18ඒ ගල පිට වැටෙන කවුරු නුමුත් කැබලිකරනු ලබන්නේය; ඒ ගල යමෙකු පිට වැටෙන්නේද, එයින් ඔහු සුණුවිසුණු කරනු ලබන්නේයයි කීසේක.
ආදායම් මිලය සහ නැවත-නැගිටීම ගැන ප්‍රශ්න
19නායක පූජකයෝද ලියන්නෝද මේ උපමාව ඔවුන්ට විරුද්ධව උන්වහන්සේ කී බව දැන, ඒ පැයේදීම උන්වහන්සේ අල්ලන්ට සෙවුවෝය; නුමුත් සෙනඟට භයවූවෝය. 20ඔව්හු උන්වහන්සේගේ වචන අල්ලාගෙන, උන්වහන්සේ ආණ්ඩුවටද ආණ්ඩුකාරයාගේ බලයටද භාරදෙන පිණිස බලාසිට, තුමූ ධර්මිෂ්ඨයෝයයි හඟවන්නාවූ ඔත්තුකාරයන් යැවුවෝය. 21ඔව්හු: ආචාරීන්වහන්ස, ඔබ යුතුලෙස කථාකරන බවත් උගන්වන බවත්, මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා, සැබෑලෙස දෙවියන්වහන්සේගේ මාර්ගය උගන්වන බවත් දනිමුව. 22කායිසර්ට ආදායම් දීම අපට යුතුද අයුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. 23එහෙත් උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රයෝගය දැන: මට මස්සක් පෙන්වන්න. 24එහි තිබෙන රූපයත් සටහනත් කාගේදැයි ඔවුන්ගෙන් ඇසූසේක. කායිසර්ගේයයි ඔව්හු කීවෝය. 25එසේවී නම් කායිසර්ගේ දේ කායිසර්ටත් දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දෙන්නැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. 26සෙනඟ ඉදිරියෙහිදී උන්වහන්සේගේ කීම අල්ලාගන්ට බැරිවිය. ඔව්හු උන්වහන්සේගේ උත්තරයට පුදුමව, නිශ්ශබ්දව සිටියෝය.
27නැවත-නැගිටීමක් නැතැයි කියන්නාවු සද්දුසිවරුන්ගෙන් සමහරෙක් උන්වහන්සේ ළඟට ඇවිත්: 28ආචාරිනි, යමෙකුගේ සහෝදරයෙක් භාර්යාවක් ඇතුව සිට දරුවෙකු නොලැබ මළොත්, ඔහුගේ සහෝදරයා විසින් ඒ භාර්යාව පාවාගෙන, තමාගේ සහෝදරයාගේ නමට දරුවන් උපදවන්ට යුතුයයි මෝසෙස් විසින් අපට ලියාදී තිබේ. 29ඉඳින් සහෝදරයන් සත්දෙනෙක් සිටියෝය. පළමුවෙනියා භාර්යාවකු සරණපාවාගෙන දරුවන් නොලැබ මැරුණේය. 30-31දෙවෙනියාත් තුන්වෙනියාත් ඈ පාවාගත්තෝය; සත්දෙනාම එසේම දරුවන් නොලැබ මැරුණෝය. 32පසුව ස්ත්‍රීත් මළාය. 33සත්දෙනාම ඈ සරණපාවාගත් බැවින්, නැවත-නැගිටීමේදී ඈ ඔවුන්ගෙන් කාගේ භාර්යාව වන්නීදැයි ඇසුවෝය. 34යේසුස්වහන්සේද: මේ ලෝකයේ දරුවෝ සරණපාවාගනිති, සරණපාවාදෙනු ලබති. 35නුමුත් ඒ ලෝකයටත් නැවත-නැගිටීමටත් පැමිණෙන්ට සුදුස්සෝයයි ගණන්ගනු ලබන අය සරණපාවාගන්නේවත් සරණපාවාදෙනු ලබන්නේවත් නැත. 36මක්නිසාද ඔවුන්ට තවත් මැරෙන්ට නුපුළුවන. ඔව්හු දේවදූතයන් හා සමානවෙති; නැවත-නැගිටීමේ පුත්‍රයන් බැවින් ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය. 37නුමුත් මළවුන් නැගුටුවනු ලබන බව මෝසෙස් පාවා පඳුර සම්බන්ධ කාණ්ඩයෙහි: ස්වාමීන්වහන්සේ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි කීමෙන් පෙන්වාදී තිබේ. 38උන්වහන්සේ මළවුන්ගේ නොව ජීවතුන්ගේ දෙවියන්වහන්සේය. මක්නිසාද සියල්ලෝම උන්වහන්සේ උදෙසා ජීවත්ව සිටිතියි කීසේක. 39එවිට ලියන්නන්ගෙන් සමහරෙක් උත්තරදෙමින්: ආචාරිනි, ඔබ කීවා යහපතැයි කීවෝය. 40මක්නිසාද උන්වහන්සේගෙන් කිසි ප්‍රශ්නයක් අසන්ට ඔවුන්ට තවත් ධෛර්යය නොතිබුණේය.
ක්‍රිස්තුස්වහන්සේ දාවිත්ගේ පුත්‍රයාණෝද?
41උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: ක්‍රිස්තුස් වනාහි දාවිත්ගේ පුත්‍රයායයි ඔවුන් කියන්නේ කෙසේද? 42මක්නිසාද:
මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගන්නැයි
43ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්වහන්සේට කීසේකැයි
දාවිත්ම ගීතිකා පොතේ කියා තිබේ. 44මෙසේ දාවිත් උන්වහන්සේට: ස්වාමීන්වහන්සේයයි කියයි, ඉඳින් උන්වහන්සේ ඔහුගේ පුත්‍ර වන්නේ කෙසේදැයි කීසේක.
ලියන්නන් ගැනයි
45මුළු සෙනඟ අසමින් සිටියදී උන්වහන්සේ තමන් ගෝලයන්ට කියනසේක්: 46දිග උතුරු සළු ඇඳ ඇවිදීමට කැමතිවූ, වෙළඳාම්පළවලදී ආචාරවලටද සිනගෝගවලදී ප්‍රධාන ආසනවලටද මංගල්‍යවලදී ප්‍රධාන ස්ථානවලටද ආශා ඇති, 47වැන්දඹුවන්ගේ ගෙවල් කොල්ලකමින්, වංචා පිණිස දීර්ඝ යාච්ඤාකරන්නාවූ ලියන්නන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු වඩා බරපතළ දඬුවමට පත්කරනු ලබන්නෝයයි කීසේක.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy