YouVersion Logo
Search Icon

ශු. ලූක් 19

19
සාකෙවුස්
1උන්වහන්සේ යෙරිකෝවට ඇතුල්ව ඒ මැදින් යද්දී, 2සුංගම් අයකරන්නන්ගේ ප්‍රධානියෙක්වූ සාකෙවුස් නම්ලත් පොහොසත් මනුෂ්‍යයෙක්, 3යේසුස්වහන්සේ කවුද කියා බලන්ට සෙවීය; නුමුත් ඔහු මිටි බැවින් සමූහයා නිසා නොහැකිවිය. 4උන්වහන්සේ ඒ මාර්ගයේ යන්ට සිටි බැවින්, ඔහු පෙරටුව දුවගොස් උන්වහන්සේ දකින පිණිස අත්තික්කා ගහකට නැගුණේය. 5යේසුස්වහන්සේ ඒ ස්ථානයට පැමිණ, උඩ බලා ඔහුට කථාකොට: සාකෙවුස්, වහාම බසින්න, මක්නිසාද අද නුඹේ ගෙදර මා නවතින්ට ඕනෑයයි ඔහුට කීසේක. 6ඔහු වහාම බැස ඇවිත්, ප්‍රීතියෙන් උන්වහන්සේ පිළිගත්තේය. 7ඔවුන් ඒ දැක: උන්වහන්සේ පව්කාර මනුෂ්‍යයෙකු සමඟ නවාතැන් ගන්ට ගියසේකැයි කියමින් සියල්ලෝම කොඳුළෝය. 8සාකෙවුස් නැගිට සිට: ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි; යමෙකුගෙන් අයුත්තේ යමක් ගෙන තිබේ නම්, ඔහුට සතරගුණයක් නැවත දෙමියි ස්වාමීන්වහන්සේට කීවේය. 9යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: ගැළවීම අද මේ ගෙදරට පැමිණියේය, කුමක්හෙයින්ද මොහුත් ආබ්‍රහම්ගේ පුත්‍රයෙක්ය. 10මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා නැතිවූ දේ සොයන්ටද ගළවාගන්ටද ආයේයයි කීසේක.
වෙළඳාම්කිරීමට මුදල් භාරදීම ගැන උපමාව
11මෙසේ කාරණා ඔවුන් ඇසූ කල, උන්වහන්සේ යෙරුසලමට සමීපව සිටි බැවින්ද, දෙවියන්වහන්සේගේ රාජ්‍යය වහාම එළිදරව්වේයයි ඔවුන් සිතූ බැවින්ද, උන්වහන්සේ තව දුරටත් උපමාවක් කීසේක. 12එබැවින් උන්වහන්සේ කථාකොට: එක්තරා වංශවත් මනුෂ්‍යයෙක් තමාටම රාජ්‍යයක් ලබාගෙන නැවත එන පිණිස දුර රටකට ගියේය. 13ඔහු තමාගේ දාසයන් දසදෙනෙකුට අඬගසා, ඔවුන්ට පවුම්#19:13මෙහි පවුමක් රුපියල් 50 ක් පමණය.‍ දසයක් දී: මා එන තෙක් මෙයින් වෙළඳාම්කරන්නැයි කීවේය. 14එහෙත් ඔහුගේ නුවර වැසියෝ ඔහුට වෛරවී: මේ මනුෂ්‍යයා අප කෙරෙහි රජකම්කරනවාට නොකැමැත්තෙමුයයි ඔහු පස්සේ පණිවිඩයක් ඇරියෝය. 15තවද ඔහු රාජ්‍යය ලබාගෙන ඇවිත්, තමා විසින් මිල දුන් දාසයෝ වෙළඳාමෙන් කොපමණ උපදවාගත්තෝදැයි දැනගන්නා පිණිස ඔවුන් තමා ළඟට කැඳවන්ට අණකළේය. 16එවිට පළමුවෙනියා ඔහු ඉදිරියට ඇවිත්: ස්වාමීනි, ඔබගේ පවුමෙන්#19:16 මෙහි පවුමක් රුපියල් 50 ක් පමණය.‍ පවුම් දසයක් ඉපදවීමියි කීවේය. 17ඔහුද: ඉතා හොඳය, යහපත්වූ දාසය. නුඹ ඉතා ස්වල්පයක් ගැන විශ්වාසවූ බැවින් නුවරවල් දසයක් කෙරෙහි අධිපතිවෙන්නැයි ඔහුට කීවේය. 18දෙවෙනියාද ඇවිත්: ස්වාමීනි, ඔබගේ පවුමෙන් පවුම් පහක් ඉපදවීමියි කීවේය. 19එවිට ඔහු: නුඹත් නුවරවල් පහක් කෙරෙහි අධිපතිවෙන්නැයි ඔහුට කීවේය. 20තවත් එක්කෙනෙක් ඇවිත්: ස්වාමීනි, මෙන්න, ඔබගේ පවුම! එය රෙදිකඩක ඔතා තැබීමි. 21මක්නිසාද ඔබ නොතිබූ දේ ගන්නාවූ, නොවපුළ දේ කපන්නාවූ, කර්කස කෙනෙකු බැවින්, ඔබට භයවූයෙමියි කීවේය. 22එවිට ඔහු කථාකොට: දුෂ්ටවූ දාසය, නුඹේම කටින් නුඹ විනිශ්චයකරමි. මා නොතිබූ දේ ගන්නාවූ, නොවපුළ දේ කපන්නාවූ, කර්කස කෙනෙක් බව නුඹ දැනගෙන සිටියෙහිය; 23එසේ නම් මා ආ කල්හි පොළිත් සමඟ අයකරගන්න පිණිස මාගේ මුදල බැංකුවට නුදුන්නේ මක්නිසාද කියා, 24ළඟ සිටියවුන්ට කථාකොට: පවුම ඔහුගෙන් රැගෙන පවුම් දසය ඇත්තාට දෙන්නැයි කීවේය. 25එවිට ඔව්හු: ස්වාමීනි, ඔහුට පවුම් දසයක් ඇත්තේයයි කීවෝය. 26ඇත්තාවූ සියල්ලන්ට දෙනු ලැබේ; නැති අයගෙන් ඔහුට ඇති දේත් පැහැරගනු ලැබේයයි නුඹලාට කියමි. 27එසේ වුවත් මා තමුන් කෙරේ රජකම්කරනවාට කැමති නූණාවූ මේ මාගේ සතුරන් මෙහි ගෙනැවිත්, මා ඉදිරියෙහි මරන්නැයි කීවේයයි කීසේක.
යේසුස්වහන්සේ ජයාන්විතව යෙරුසලමට ඇතුල්වීම
28උන්වහන්සේ මෙසේ කියා යෙරුසලමට යන පිණිස ඔවුන්ට පෙරටුව ගියසේක.
29තවද උන්වහන්සේ ඔලීව නම්වූ කන්ද ළඟ බෙත්පාගයටද බෙතානියටද සමීපවූ කල, තමන්ගේ ගෝලයන්ගෙන් දෙදෙනෙකු යවමින්: 30නුඹලා ඉදිරිපිට තිබෙන ගමට යන්න. එහි ඇතුල්වූවිට, කිසි කලෙක මනුෂ්‍යයෙකු නොනැගුණාවූ කොටළු පැටවෙකු එහි බැඳ සිටිනවා නුඹලාට සම්බවන්නේය. ඌ ලිහා ගෙනෙන්න. 31ඌ ලිහන්නේ මක්නිසාදැයි යමෙක් නුඹලාගෙන් ඇසුවොත්, ස්වාමීන්වහන්සේට ඌ ඕනෑයයි කියන්නැයි කීසේක. 32යවනු ලැබුවෝ ගොස්, උන්වහන්සේ ඔවුන්ට කී ලෙසම දුටුවෝය. 33ඔවුන් කොටළු පැටවා ලිහන කල ඌ අයිතිකාරයෝ: නුඹලා කොටළුපැටවා ලිහන්නේ මක්නිසාදැයි ඔවුන්ට කීවෝය. 34ස්වාමීන්වහන්සේට ඌ ඕනෑයයි ඔව්හු කීවෝය. 35ඔව්හු කොටළුපැටවා උන්වහන්සේ ළඟට ගෙනැවිත්, තමුන්ගේ වස්ත්‍ර ඌ පිට අතුරා, යේසුස්වහන්සේ ඒ පිට හිඳෙවුවෝය. 36උන්වහන්සේ යද්දී ඔව්හු තමුන්ගේ වස්ත්‍ර මග අතුළෝය. 37උන්වහන්සේ ඔලීව කන්දේ බැස්ම ළඟට පැමිණි කල්හි, මුළු ගෝල සමූහයා ප්‍රීතිවෙන්ටත් තමුන් දුටු සියලු බලවත් ක්‍රියා ගැන මහත් ශබ්දයකින් දෙවියන්වහන්සේට ප්‍රශංසාකරන්ටත් පටන්ගෙන: 38ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන්නාවූ රජ ආශීර්වාදලත්තෙක්ය. ස්වර්ගයෙහි සමාදානයද ඉතා උස්තැන්හි මහිමයද වේවයි කීවෝය. 39එවිට සමූහයා අතරෙන් සමහර ඵරිසිවරු: ආචාරිනි, ඔබගේ ගෝලයන්ට තරවටුකළ මැනවයි උන්වහන්සේට කීවෝය. 40උන්වහන්සේ උත්තරදෙමින්: ඔවුන් නිශ්ශබ්දවුණොත්, ගල් මොරගසන්නේයයි නුඹලාට කියමියි කීසේක.
නුවර ගැන දුක්වීම
41උන්වහන්සේ ළංවී, නුවර දැක, ඒ ගැන හඬමින් 42අහෝ නුඹේ සමාදානයට අයිති කාරණා මේ දවසේදීවත් නුඹම දැනගෙන සිටිනවා නම් යහපත! එහෙත් දැන් ඒවා නුඹේ ඇස්වලින් සැඟවී තිබේ. 43නුඹ විමසා බලන කාලය නුඹ නොදැන සිටි බැවින්, නුඹේ සතුරන් විසින් නුඹ වටේට පස්වැටියක් නගා, නුඹ වටකොට, සියලු දිසාවෙන්ම නුඹ කොටුකරගෙන, 44නුඹ සහ නුඹ තුළ සිටින නුඹේ දරුවන්ද පොළොවේ ගසා, නුඹ තුළේ ගලක් පිට ගලක් තිබෙන්ට නාරින දවස් පැමිණෙන්නේයයි කීසේක.
දේවමාළිගාව පවිත්‍රකිරීම
45උන්වහන්සේ දේවමාළිගාවට ඇතුල්ව, විකුණන්නන් බැහැරකරන්ට පටන්ගෙන: 46මාගේ ගෘහය යාච්ඤා ගෘහයක් වන්නේයයි ලියා තිබේ. නුමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කර තිබේයයි ඔවුන්ට කීසේක.
47උන්වහන්සේ දවස්පතා දේවමාළිගාවේ ඉගැන්වූසේක. නුමුත් නායක පූජකයෝද ලියන්නෝද සෙනඟගේ ප්‍රධානීහුද උන්වහන්සේ නසන්ට සෙවුවෝය. 48මුළු සෙනඟ උන්වහන්සේගේ වචන ඇලුම්කමින් ඇසූ බැවින්, උන්වහන්සේට කිසිවක් කරන්ට ඔවුන්ට නොලැබුණේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy