YouVersion Logo
Search Icon

ජෙරෙමියා 40

40
යෙරෙමියා දේශයෙහි නැවතීම. ගෙදෙලියා අධිපතියා ලෙස පත්වීම
1රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් විසින් යෙරෙමියා අල්ලා රාමායෙන් නිදහස්කර හැරිය පසු ස්වාමීන්වහන්සේගෙන් ඔහු වෙතට පැමුණුණු වචනයය. බබිලෝනියට ගෙනයන්ට යෙරුසලමෙන්ද යූදා රටෙන්ද අල්ලාගනු ලැබූ සියල්ලන් අතරෙහි ඔහු දම්වැල්වලින් බැඳ සිටියේය. 2රැකවලුන්ගේ අධිපතියා යෙරෙමියා ගෙන්වාගෙන ඔහුට කථාකොට: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මේ ස්ථානයට විරුද්ධව මේ විපත්තිය ගැන කීසේක. 3ස්වාමීන්වහන්සේ ඒක පමුණුවා, උන්වහන්සේ කී ලෙස කළසේක; නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කොට, උන්වහන්සේගේ හඬට කීකරු නොවී සිටි නිසා, මේ දෙය නුඹලාට පැමුණුණේය. 4ඉතින් නුඹේ අත් බැඳ තිබෙන දම්වැල්වලින් අද නුඹ මුදමි. මා සමඟ බබිලෝනියට එන්ට නුඹට හොඳව පෙනේ නම් එන්න, මම නුඹව හොඳට බලාගන්නෙමි; නුමුත් මා සමඟ බබිලෝනියට එන්ට නුඹට නරකව පෙනේ නම් නවතින්න. මුළු දේශය නුඹ ඉදිරියෙහිය; නුඹට යන්ට හොඳව පහසුව පෙනෙන තැනකට යන්නැයි ඔහුට කීවේය. 5ඔහු තවත් හැරී ආපසු නොගොස් සිටියදී නෙබුසරදාන් කථාකොට: බබිලෝනියේ රජු විසින් යූදා නුවරවල ආණ්ඩුකාරකමට පත්කළාවූ ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ළඟට හැරී ගොස්, නුඹ ඔහු වෙත සෙනඟ අතරෙහි වාසයකරන්න; නැත්නම් නුඹට යන්ට පහසුයයි පෙනෙන කොතනට නුමුත් යන්නැයි කීවේය. තවද රැකවලුන්ගේ අධිපතියා ඔහුට ආහාරත් තෑග්ගකුත් දී ඔහු යන්ට හැරියේය. 6යෙරෙමියා මිශ්පාට අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ළඟට ගොස්, දේශයේ ඉතිරිව සිටි සෙනඟ අතරේ ඔහු වෙත වාසය කෙළේය.
7පිටිසර සිටිය සේනාවල අධිපතීහුද ඔවුන්ගේ මිනිස්සුද බබිලෝනියේ රජු අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා දේශයේ ආණ්ඩුකාරයා කොට පත්කළ බවත් බබිලෝනියට ගෙන නොගිය දේශයේ ඉතා දිළිඳුවූවන්ගෙන් පුරුෂයන්ද ස්ත්‍රීන්ද දරුවන්ද ඔහුට භාරකළ බවත් ඇසූ විට, 8නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ද කාරේයාගේ පුත්‍රයන්වූ යොහානාන් හා යොනාතාන්ද තන්හුමෙත්ගේ පුත්‍රවූ සෙරායාද නෙටොපාතිය ඒපයිගේ පුත්‍රයෝද මයකාතියයාගේ පුත්‍රවූ යෙසනියාද ඔවුන්ගේ මිනිස්සුද මිශ්පාට ගෙදලියා ළඟට ආවෝය. 9ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ඔවුන්ටත් ඔවුන්ගේ මිනිසුන්ටත් දිවුරුම්දෙමින් කථාකොට: කල්දිවරුන්ට සේවයකරන්ට භය නොවෙන්න. දේශයෙහි වසමින් බබිලෝනියේ රජුට සේවයකරන්න, එවිට නුඹලාට ශුභසිද්ධවන්නේය. 10මම වනාහි අප ළඟට එන්නාවූ කල්දිවරුන් ඉදිරිපිට පෙනී සිටින්ට මිශ්පාහි වාසයකරමි. නුඹලා මුද්‍රිකපානයද ඉදුණු ඵලද තෙල්ද එකතුකොට නුඹලාගේ භාජනවල තබා, නුඹලා ලබාගත් නුවරවල වාසයකරන්නැයි කීවේය. 11එසේම මෝවබ්හිද අම්මොන් පුත්‍රයන් අතරේද ඒදොම්හිද සෑම රටවලද සිටි සියලු යුදෙව්වරු බබිලෝනියේ රජු යූදාවරුන්ගෙන් සමහරෙක් ඉතිරිකර ගිය බවද ඔවුන් කෙරෙහි ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා පත්කළ බවද ඇසුවෝය. 12එවිට සියලු යුදෙව්වරු තමුන් පන්නනු ලැබූ සියලු තැන්වලින් හැරී යූදා දේශයේ මිශ්පාට ගෙදලියා ළඟට ඇවිත්, මුද්‍රිකපානයද ඉදුණු ඵලද බොහොමයක් එකතුකරගත්තෝය.
13තවද කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ද පිටිසර සිටි සේනාවල සියලු අධිපතීහුද මිශ්පාට ගෙදලියා ළඟට ඇවිත්: 14අම්මොන් පුත්‍රයන්ගේ රජවූ බයලීස් නුඹ මරන්ට නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් එවූ බව නුඹ දන්නවාදැයි ඔහුගෙන් ඇසුවෝය. නුමුත් අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ඔවුන් විශ්වාස කළේ නැත. 15එකල කාරේයාගේ පුත්‍රවූ යොහානාන් මිශ්පාහිදී ගෙදලියාට රහසින් කථාකොට: මා ගොස් කිසිවෙකු නොදැනුවත්ව නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මරන පිණිස මට අවසර ලැබේවා. නුඹ වෙතට රැස්වී සිටින සියලු යුදෙව්වන් විසිර ගොස්, මෙසේ ඉතිරිව සිටින යූදාවරුන් නැතිවෙන හැටියට, ඔහු නුඹ මරන්නේ කුමටදැයි කීවේය. 16නුමුත් අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා: නුඹ ඔය දේ නොකළ යුතුය. මක්නිසාද නුඹ ඉෂ්මායෙල් ගැන කියන දේ බොරුයයි කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ට කීවේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for ජෙරෙමියා 40