YouVersion Logo
Search Icon

ජෙරෙමියා 41

41
ඉෂ්මායෙල් ගෙදලියා සහ වෙනත් අය මැරීම, පසුව අම්මොන්වරුන් වෙතට පලායාම
1සත්වෙනි මාසයේදී රාජ වංශයට අයිතිවූ, රජුගේ අධිපතීන්ගෙන් කෙනෙක් වන එලිෂාමාගේ පුත්‍රවූ නෙතනියාගේ පුත්‍රයා වන ඉෂ්මායෙල්ද ඔහු සමඟ මිනිසුන් දසදෙනෙක්ද මිශ්පාට අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ළඟට ආවෝය. එහි ඔව්හු මිශ්පාහිදී එක්ව කෑම කෑවෝය. 2එවිට නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් සහ ඔහු සමඟ සිටි මිනිසුන් දසදෙනා බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකාරකමට පත්කළාවූ ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ගේ පුත්‍රයා වන ගෙදලියාට කඩුවෙන් පහරදී ඔහු මැරුවෝය. 3තවද ඉෂ්මායෙල් තෙමේ ගෙදලියා සමඟ මිශ්පාහි සිටි සියලු යුදෙව්වරුන්ද එහි සම්බවූ යුද්ධකාරයන් වන කල්දිවරුන්ද මැරුවේය. 4ගෙදලියා මැරුවායින් පසු දෙවෙනිදා කිසිවෙක් නොදැන සිටිද්දී, 5ෂෙකෙම්හිද ෂීලෝහිද සමාරියේද සිට මිනිසුන් අසූදෙනෙක් රැවුල් කපාදමා, ඇඳුම් ඉරාගෙන, ශරීර කපාගෙන, ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙන්ට ආහාර පූජාද කට්ටකුමංචල්ද තමුන්ගේ අත්වල රැගෙන ආවෝය. 6නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් ඔවුන් පෙරමගට මිශ්පා සිට පිටත්වී අඬ අඬා ගියේය. ඔවුන් මුණගැසුණු විට: අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ළඟට එන්නැයි ඔහු ඔවුන්ට කීවේය. 7ඔවුන් නුවර මැදට පැමුණුණ විට, නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් සහ ඔහු සමඟ සිටි මනුෂ්‍යයෝ ඔවුන් මරා වළ ඇතුළට හෙළුවෝය. 8නුමුත් ඔවුන් අතරෙහි සිටි මනුෂ්‍යයන් දසදෙනෙක් ඉෂ්මායෙල්ට කථාකොට: අප නොමරන්න. මක්නිසාද කෙතෙහි සඟවා තිබෙන තිරිඟුද යවද මීපැණිද තෙල්ද අපට තිබේයයි කීවෝය. එවිට ඔහු ඔවුන්ගේ සහෝදරයන් සමඟ ඔවුන් නොමරා හැරියේය. 9ඉෂ්මායෙල් විසින් ගෙදලියා ළඟ මැරූ මනුෂ්‍යයන්ගේ මළකඳන් සියල්ල හෙළුවාවූ වළ නම් ආසා රජු විසින් ඉශ්‍රායෙල්වරුන්ගේ රජවූ බයෙෂාට භයින් සෑදූ වළය. නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මැරුම්කෑ අයගෙන් ඒක පිරෙවුවේය. 10තවද ඉෂ්මායෙල් සෙනඟගෙන් ඉතිරිවී මිශ්පාහි සිටි සියල්ලන්, එනම් රජුගේ දූවරුන්ද රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් විසින් අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියාට භාරදුන්නාවූ, මිශ්පාහි ඉතිරිව සිටියාවූ මුළු සෙනඟද අල්ලාගත්තේය. නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් ඔවුන් ගෙන අම්මොන් පුත්‍රයන් ළඟට යන්ට ගියේය.
11නුමුත් කාරේයාගේ පුත්‍රවූ යොහානාන් සහ ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතීහුද නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් කළ සියලු නපුරුකම් ගැන අසා, 12සියලු මනුෂ්‍යයන් අඬගහගන, නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ට විරුද්ධව යුද්ධකරන්ට ගොස් ගිබියොන්හි තිබෙන මහ ජලාශය ළඟදී ඔවුන්ට සම්මුඛවූවෝය. 13එවිට ඉෂ්මායෙල් සමඟ සිටි මුළු සෙනඟ කාරේයාගේ පුත්‍රවූ යොහානාන් සහ ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතීන්ද දුටු විට සන්තෝෂ වූවෝය. 14මිශ්පා සිට ඉෂ්මායෙල් විසින් අල්ලාගෙන ගිය මුළු සෙනඟද නැවත හැරී කාරේයාගේ පුත්‍රවූ යොහානාන් ළඟට ගියෝය. 15නුමුත් නෙතානියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මනුෂ්‍යයන් අට දෙනෙකු සමඟ යොහානාන් ඉදිරියෙන් ගැළවී අම්මොන් පුත්‍රයන් ළඟට ගියේය. 16කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ද ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතියෝද ඉෂ්මායෙල් විසින් අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා මැරූ පසු ගිබියොන්හි සිට ඔහුගෙන් හරවාගත්තාවූ ඉතිරිව සිටි මුළු සෙනඟ වන යුද්ධකාරයන්ද ස්ත්‍රීන්ද දරුවන්ද නපුංසකයන්ද මිශ්පායෙන් අඬගහගන ගොස්, 17කල්දිවරුන් නිසා මිසරයට ඇතුල්වෙන්ට යන පිණිස බෙත්-ලෙහෙම අසල තිබෙන කිම්හාම්ගේ නවාතැනෙහි නැවතී සිටියෝය. 18එසේ කළේ නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකාරකමට පත්කළ අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියාව මැරූ බැවින් ඔවුන්ට භයවුණ නිසාය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for ජෙරෙමියා 41