ජෙරෙමියා 39
39
යෙරුසලම අල්වාගැනීම. යෙරෙමියා නිදහස්වීම එබෙද්මෙලෙක්ට පොරොන්දුව
1යෙරුසලම අසුවූ කල්හි, යූදාහි රජවූ ශෙදෙකියාගේ රජකම්කිරීමේ නවවෙනි අවුරුද්දේ දසවෙනි මාසයේදී බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් තමාගේ මුළු සේනාව සමඟ යෙරුසලමට විරුද්ධව ඇවිත් ඒක වටලාගත්තේය. 2ශෙදෙකියාගේ එකොළොස්වෙනි අවුරුද්දේ සතරවෙනි මාසයේ නවවෙනිදා නුවර පවුර බිඳිනලද්දේය. 3එවිට බබිලෝනියේ රජුගේ සියලු අධිපතීහු එනම් නේර්ගල්-ෂරෙශෙර්ද සම්ගර්-නෙබෝද සර්සෙකිම්ද රබ්-සාරිස්ද නේර්ගල්-ෂරෙශෙර්ද රබ්-මග්ද බබිලෝනියේ රජුගේ අනික් සියලු අධිපතීහුද ඇවිත් මැද දොරටුවේ හිඳගත්තෝය. 4තවද යූදාහි රජවූ ශෙදෙකියාද සියලු යුද්ධකාරයෝද ඔවුන් දුටු විට, පවුරු දෙකට අතරේ තිබෙන දොරටුවෙන් රජ උයනේ පාරෙන් නුවරින් රාත්‍රියේ පිටත්ව පලාගියෝය. රජද අරබා සමභූමියේ මාර්ගයෙන් නික්ම ගියේය. 5නමුත් කල්දිවරුන්ගේ සේනාව ඔවුන් පස්සේ එළවාගන ගොස්, යෙරිකෝවේ සමභූමිවලදී ශෙදෙකියාට ළංවී ඔහු අල්ලා, හමාත් දේශයේ රිබ්ලාහි සිටි බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් ළඟට ඔහු ගෙනගියෝය, ඔහුද ඔහු ගැන තීන්දුව දුන්නේය. 6එවිට බබිලෝනියේ රජ ශෙදෙකියාගේ පුත්‍රයන් රිබ්ලාහිදී ඔහුගේ ඇස් ඉදිරියේ මැරීය. බබිලෝනියේ රජ යූදාහි සියලු උත්තමයන්ද මැරීය. 7තවද ඔහු ශෙදෙකියාගේ ඇස් අන්ධ කොට, ඔහු බබිලෝනියට ගෙනයන පිණිස විලංගු දැම්මේය. 8කල්දිවරු රජගෙය සහ සෙනඟගේ ගෙවලුත් ගිනිලා, යෙරුසලමේ පවුරු කඩාදැමුවෝය. 9තවද රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් නුවර ඉතිරිවුණ සෙනඟද සැඟවී ඇවිත් තමාට එකතුවුණ අයින්ද සෙනඟගෙන් ඉතිරිවුණ අනික් අයින්ද අල්ලා බබිලෝනියට ගෙනගියේය. 10එහෙත් කිසිවක් නැති දිළිඳු සෙනඟගෙන් සමහරෙක් රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් යූදා දේශයෙහි ඉතිරිකර තබා, එකල්හිම ඔවුන්ට මිදිවතු සහ කෙත්ද දුන්නේය. 11ඉක්බිති බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් යෙරෙමියා ගැන රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන්ට අණකරමින්: 12නුඹ ඔහු රැගෙන, ඔහු හොඳට බලාගෙන, ඔහුට කිසි අනතුරක් නොකොට, ඔහු නුඹට කියන හැටියටම ඔහුට කරන්නැයි කීවේය. 13මෙසේ රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන්ද නෙබුෂශ්බාන්ද රබ්-සාරිස්ද නේර්ගල්-ෂරෙශෙර්ද රබ්-මග්ද බබිලෝනියේ රජුගේ සියලු අධිපතීහුද, 14යෙරෙමියා හිරගෙයි මළුවෙන් ගෙන්වාගෙන, ඔහු ගෙදරට ගෙනයන පිණිස ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ගේ පුත්‍රයා වන ගෙදලියාට භාරකළෝය. ඔහු සෙනඟ අතරෙහි වාසයකෙළේය.
15යෙරෙමියා හිරගෙයි මළුවේ හිරඅඩස්සියේ සිටිද්දී ස්වාමීන්වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ මෙසේ කීය: 16නුඹ ගොස් කූෂීය එබෙද්-මෙලෙක්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–බලව, මම මාගේ වචන මේ නුවර පිටට යහපත පිණිස නොව විපත්ති පිණිස පමුණුවමි; ඒ දවසේදී ඒවා නුඹ ඉදිරියෙහි ඉෂ්ටවන්නේය. 17එහෙත් මම ඒ දවසේදී නුඹ ගළවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹ භයව සිටින මනුෂ්‍යයන් අතට නුඹ අසුවන්නේ නැත. 18සැබවින් නුඹ මුදාගන්නෙමි, නුඹ කඩුවෙන් වැටෙන්නේ නැත. නුඹ මා කෙරෙහි විශ්වාසකළ බැවින් නුඹේ ප්‍රාණය නුඹට කොල්ලයක් මෙන් ලැබෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්නැයි කීවේය.
Currently Selected:
ජෙරෙමියා 39: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society