YouVersion Logo
Search Icon

2 කොරින්ති 10

10
ප්‍රේරිත තැන දුර්වල බයාදු කෙනෙකැයි වරද තැබූවන්ට උත්තරය
1ඉදිරියෙහි සිටින කල නුඹලා අතරෙහි යටහත්වූ, ඈත්ව සිටින කල නුඹලා කෙරෙහි නිර්භීතවූ පාවුල් නම් මම ක්‍රිස්තුස්වහන්සේගේ මෘදුකම සහ මොළොක් ගුණය නිසා නුඹලාගෙන් ඉල්ලීමක් කරමි. 2එසේය, අප මාංසාකාරයෙන් හැසිරෙන්නන් කොට ගණන්ගන්නා සමහරුන්ට විරුද්ධව පාන්නට මා සිතන විශ්වාසයෙන්, නුඹලා වෙත සිටින විට මට නිර්භීතවෙන්ට නොසලස්වන මෙන් නුඹලාගෙන් ඉල්ලමි. 3මක්නිසාද අපි මාංසයෙහි හැසිරෙන නුමුත් මාංසයේ හැටියට යුද්ධ නොකරමුව. 4(මක්නිසාද අපේ යුද්ධායුධ මාංසික නොවේය, එහෙත් ඒවා බලකොටු බිඳහෙළීමට දෙවියන්වහන්සේ ඉදිරිපිට බලසම්පන්නය.) 5අපි විවාදයන්ද දෙවියන්වහන්සේ ගැන දැනගැනීමට විරුද්ධව උසස්වන්නාවූ සියලු උසස් දේවල්ද බිඳහෙළා, සියලු සිතිවිලි ක්‍රිස්තුස්වහන්සේට කීකරුවීමට වහල්කරදෙමුව. 6නුඹලාගේ කීකරුකම සම්පූර්ණවූ කල සියලු අකීකරුකමට දඬුවම්කිරීමටද අපි සූදානම්ව සිටිමුව. 7නුඹලා පෙනීමේ හැටියට කාරණා බලන්නහුද? යමෙක් තමා ක්‍රිස්තුස්වහන්සේට අයිතියයි සිතාගන සිටින්නේ නම්, තමා ක්‍රිස්තුස්වහන්සේට අයිතිවා සේම අපිත් අයිති බව තමාම කල්පනාකරගනීවා. 8මක්නිසාද (නුඹලා බිඳහෙළීම පිණිස නොව ගොඩනැගීම පිණිස ස්වාමීන්වහන්සේ අපට දුන්) බලය ගැන මම ටිකක් වැඩිවශයෙන් පාරට්ටුකරතත් ලජ්ජා නොවන්නෙමි. 9[එසේ කියන්නේ] මම මාගේ ලියුම්වලින් නුඹලා භයගන්වන්නාක් මෙන් නොපෙනෙන පිණිසය. 10මක්නිසාද: ඔහුගේ ලියුම් නම් බරපතළය, බලවත්ය; නුමුත් ළඟ සිටින විට ශරීරාකාරය දුර්වලය, කථාවද සුළුයයි ඔව්හු කියති. 11මෙන්න, අපි ඈත්ව සිටින කල ලියුම්වල වචනවලින් යම් ආකාරව සිටිමුද ළඟ සිටින කල ක්‍රියාවෙනුත් එසේමයයි එබඳු අය තේරුම්ගනීවා. 12මක්නිසාද තමුන් ගැනම සාක්ෂිදෙන්නාවූ සමහරුන් සමඟ අප ගණන්ගන්ට නොහොත් ඔවුන්ට අපම සමානකරගන්ට අපට ධෛර්යය නැත. නුමුත් තමුන්ගේම මිම්මෙන් තමුන්ම මැනගන්නාවූ, තමුන්ටම තමුන් සමානකර බලන්නාවූ ඔව්හු තේරුම් නැතුව සිටිති. 13නුමුත් අපි ප්‍රමාණයට වඩා නොව, නුඹලා ළඟට පවා පැමිණෙන පිණිස, දෙවියන්වහන්සේ විසින් අපට මැනදුන් මායිමේ ප්‍රමාණයේ හැටියට පාරට්ටුකරගන්නෙමුව. 14මක්නිසාද අප නුඹලා ළඟට නොපැමුණුණාක්මෙන්, [අපේ මේ කීමෙන්] අපේ මායිමෙන් එපිට යනවා නොවේ. එසේය, නුඹලා දක්වාත් ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ඇතුව ආවෙමුව. 15අපේ පමණට වඩා, එනම් අනුන්ගේ වැඩ ගැන, අපි පාරට්ටු නොකරමුව. 16නුමුත් නුඹලාගේ ඇදහිල්ල වැඩිවන විට, අපේ අත්වලට සූදානම්ව තිබෙන අනුන්ගේ මායිමේ වැඩ ගැන පාරට්ටු නොකොට, නුඹලාට එහායින් තිබෙන පළාත්වලත් ශුභාරංචිය දේශනාකරන පිණිස වර්ධනයවීමට ඇත්තාවූ අපේ මායිමේ ප්‍රමාණයලෙස නුඹලා නිසා විශාලකමක් ලබන්නෙමුයයි බලාපොරොත්තුවෙමුව. 17නුමුත් පාරට්ටුකරගන්නා ස්වාමීන්වහන්සේ තුළ පාරට්ටුකරගනීවා. 18මක්නිසාද ඔප්පු සාක්ෂි තිබෙන්නේ තමා ගැනම සාක්ෂිදෙන අයට නොව ස්වාමීන්වහන්සේගෙන් සාක්ෂි ලබන අයටය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy