YouVersion Logo
Search Icon

2 කොරින්ති 11

11
ප්‍රේරිතයෙක් හැටියට පාවුල් තුමාගේ අයිතිවාසිකම්
1ස්වල්ප අඥානකමකදී නුඹලා මා ගැන ඉවසන්නහු නම් කැමැත්තෙමි. එසේය, මා ගැන ඉවසන්න. 2මක්නිසාද පිරිසිදු කන්‍යාවකු මෙන් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ වන එක පුරුෂයෙකුට පාවාදීම පිණිස මා විසින් විවාහබස් දුන් බැවින් දිව්‍යවූ ජ්වලිතයකින් නුඹලා ගැන මම ජ්වලිතව සිටිමි. 3නුමුත් සර්පයා තමාගේ ප්‍රයෝගයෙන් ඒව රැවටුවාක්මෙන් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි පවතින අවංකකමෙන්ද පිරිසිදුකමෙන්ද යම්විධියකින් නුඹලා වෙන්කොට නුඹලාගේ සිත් දූෂ්‍යකරනු ලැබේදෝ කියා භයවෙමි. 4මක්නිසාද එන්නාවූ තැනැත්තේ අප දේශනා නොකළ වෙන යේසුස් කෙනෙකු ගැන දේශනාකෙරේ නම්, නොහොත් නුඹලා නොලැබූ වෙන ආත්මයක්වත් නුඹලා පිළි නොගත් වෙන ශුභාරංචියක්වත් නුඹලා ඔහුගෙන් පිළිගන්නහු නම්, ඔහු ගැන ඉවසීම හොඳය. 5නුමුත් ඔය උත්කෘෂ්ට ප්‍රේරිතයන්ට වඩා මම කොයි ආකාරයකින්වත් අඩු නැතැයි සිතමි. 6මම කථාවට නිවට නුමුත් දැනගැන්මෙන් නිවට නොවෙමි; එපමණක් නොව අපි හැම දෙයින්ම සියල්ලන් අතරේ නුඹලා උදෙසා ඒ බව ප්‍රකාශකළෙමුව. 7නොහොත් නුඹලා උසස්වෙන ලෙස මා විසින් මාම පහත්කරගනිමින්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය නිකමට දේශනාකළ නිසා පාපයක් කළෙම්ද? 8නුඹලාට සේවයකරන පිණිස වෙන සභාවලින් කුලී ගනිමින් ඔවුන්ට අලාභකළෙමි. 9තවද මම නුඹලා ළඟ සිටියදී හිඟවූ කල කිසිවෙකුට බරක් නොවීමි; මක්නිසාද සහෝදරයෝ මකිදෝනියෙන් ආ කල මාගේ හිඟකම පිරිමැසුවෝය. සියලු කාරණාවලදී නුඹලාට බරක් නොවී සිටියෙමි, එසේම සිටින්නෙමි. 10ක්‍රිස්තුස්වහන්සේගේ සත්‍යතාව මා තුළ තිබෙන ලෙස අකායේ පළාත්වලදී මේ මාගේ පාරට්ටුකිරීම නවත්වන්ට කිසිවෙකුට ඉඩ නාරින්නෙමි. 11ඒ මක්නිසාද? මා නුඹලාට ප්‍රේම නොකරන නිසාද? දෙවියන්වහන්සේ දන්නාසේක. 12නුමුත් මා කරන දේ, ප්‍රස්තාවක් සොයන්නවුන්ගේ ප්‍රස්තාව සිඳදමන පිණිස, මතුත් කරන්නෙමි; එසේ කරන්නේ ඔවුන් පාරට්ටුකරගන්නාවූ කාරණයේදී ඔවුන් අප වාගේ පෙනෙන පිණිසය. 13එබඳු මනුෂ්‍යයෝ බොරු ප්‍රේරිතයෝය, ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයන්ගේ වෙස් ගන්නාවූ වංචාකාර සේවකයෝය. ඒක පුදුමයක් නොවේ; 14මක්නිසාද සාතන් පවා ආලෝකයේ දූතයෙකුගේ වෙස් ගනියි. 15එබැවින් ඔහුගේ සේවකයෝ ධර්මිෂ්ඨකමේ සේවකයන්ගේ වෙස් ගනිත් නම් ඒක පුදුමයක් නොවේ; ඔවුන්ගේ අන්තිමය ඔවුන්ගේ ක්‍රියා ලෙස වන්නේය.
උවමනාවී නම් අන්‍යයන්ට වඩා දුක් පීඩා ගැන පාරට්ටුකරගන්ට ප්‍රේරිත තැනට පුළුවන් බව
16මා අඥානයෙක්ය කියා කිසිවෙක් නොසිතාවයි මම නැවත කියමි; නුමුත් නුඹලා එසේ සිතුවත් මාත් මඳක් පාරට්ටුකරගන්න පිණිස අඥානයෙකු හැටියට මා පිළිගන්න. 17පාරට්ටුකිරීමේ විශ්වාසයෙන් යුක්තව මා කථාකරන දේ ස්වාමීන්වහන්සේ අනුව නොව අඥානකමින් මෙන් කථාකරමි. 18මාංසාකාරයෙන් බොහෝ දෙනෙක් පාරට්ටුකරගන්නා බැවින් මමත් පාරට්ටුකරගනිමි. 19මක්නිසාද ඥානවන්තව සිටින නුඹලා, අඥානයන් ගැන සන්තෝෂයෙන් ඉවසන්නහුය. 20යමෙක් නුඹලා වහල්කමට පමුණුවන්නේ නුමුත්, යමෙක් නුඹලා කාදමන්නේ නුමුත්, යමෙක් නුඹලා අසුකරගන්නේ නුමුත්, යමෙක් තමා උසස්කරගන්නේ නුමුත්, යමෙක් නුඹලාගේ මුහුණට පහරදෙන්නේ නුමුත්, නුඹලා ඉවසන්නහුය. 21අපි නම් දුර්වලව සිටියෙමුය කියා අවනම්බුවක් වශයෙන් කියමි. එසේවී නුමුත් කොයි කාරණයකදීවත් යමෙක් නිර්භීත නම් මමත් නිර්භීතව සිටිමියි අඥානලෙසින් කියමි. 22ඔව්හු හෙබ්‍රෙව්වරුද? මමත් එසේමය. ඔව්හු ඉශ්‍රායෙලිතයෝද? මමත් එසේමය. ඔව්හු ආබ්‍රහම්ගේ වංශයද? මමත් එසේමය. 23ඔව්හු ක්‍රිස්තුස්වහන්සේගේ සේවකයෝද? මම වැඩිවශයෙන් එසේයයි සිහිමුළාවූ කෙනෙකු මෙන් කියමි. එසේ වන්නේ බොහෝ වැඩවලිනුත්, වැඩිවශයෙන් හිරගෙට යාමෙනුත්, අප්‍රමාණලෙස පහරකෑමෙනුත්, බොහෝ වර මරණ උපද්‍රවයෙනුත් යන මේවායින්ය. 24යුදෙව්වරුන්ගෙන් පස්වරක් එකුන් සතළිසක් පහරකෑවෙමි. 25තුන් වරක් වේවැල්වලින් තැළුම්කෑවෙමි, එක වරක් ගල්ගසනු ලැබීමි, තුන් වරක් නැව් බිඳී උපද්‍රවයට පැමුණුනෙමි, රාත්‍රියකුත් දවාලකුත් ගැඹුරේ සිටියෙමි. 26තවද බොහෝවිට ගමන්වලටද, ගංගා උපද්‍රවවලටද, සොර උපද්‍රවවලටද, මාගේ රට වැසියන්ගෙන් පැමිණි උපද්‍රවවලටද, අන්‍යජාතීන්ගෙන් පැමිණි උපද්‍රවවලටද, නුවරෙහි උපද්‍රවවලටද, වනයේ උපද්‍රවවලටද, මුහුදේ උපද්‍රවවලටද, බොරු සහෝදරයන්ගෙන් පැමිණි උපද්‍රවවලටද; 27වැඩ සහ වෙහෙසීම්වලටද, නොයෙක්විට නිදිමැරීමටද, ක්ෂුධාව සහ පිපාසයටද, නොයෙක්විට නිරාහාරව සිටීමටද, ශීතලයටද, නග්නභාවයටද පැමිණියෙමි. 28බාහිරවූ ඒ දේ හැර සියලු සභාවන් ගැන සිතේ බරක් දවස්පතා මට ඇත්තේය. 29යමෙක් දුර්වල නම් මමත් දුර්වල නොවෙම්ද? යමෙක් පැකිලීමට පමුණුවනු ලබන්නේනම් මම නොදැවෙම්ද? 30මා විසින් පාරට්ටුකරන්ට යුතු නම් මාගේ දුර්වලකම සම්බන්ධ කාරණා ගැන පාරට්ටුකරන්නෙමි. 31මා බොරු නොකියන බව අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ පියවූ සදාකල්ම ප්‍රශංසනීයවූ දෙවියන්වහන්සේ දන්නාසේක. 32දමස්කයේදී අරෙතස් රජු යටතේවූ ආණ්ඩුකාරයා මා අල්ලන පිණිස දමස්කවරුන්ගේ නුවර මුර සිටුවා රැකසිටි විට, 33මම කූඩයක ලා කවුළුවක සිට පවුරෙන් බස්වනු ලැබ, ඔහුගේ අත්වලින් ගැළවුණෙමි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy