ගණන් 27
27
සෙලොෆෙහාද්ගේ දූවරු
1මනස්සේගේ පුත් මාකීර්ගේ පුත්‍ර ගිලියාද්ගේ පුත්‍රයා වන හේෆෙර්ගේ පුත් වූ සෙලොෆෙහාද්ගේ දූවරු අයත් වූයේ, යෝසෙප්ගේ පුත් මනස්සේගේ පෙළපත්වලට ය. නාම වශයෙන් ඔවුහු මාලා, නොවා, හොග්ලා, මිල්කා හා තිර්සා ය. ඔවුහු ඉදිරියට පැමිණ, 2හමුවීමේ කූඩාරම් දොරකඩ මෝසෙස් ද පූජක එලෙයාසර් ද ජන ප්‍රධානීන් හා මුළු ප්‍රජා හමුව ද අබියස සිට කතා කොට, 3“අපේ පියා පාළුකරයේදී මිය ගියා. ස්වාමින්වහන්සේට එරෙහිව කල්ලි ගැසුණු කෝරාගේ පිරිස අතර ඔහු සිටියේ නැහැ. තමාගේ ම පාපය නිසා මිය ගිය ඔහුට පුතුන් සිටියේ නැහැ. 4ඔහුට පුතුන් නො සිටි හේතුවෙන්, අප පියාගේ නම ඔහුගේ පෙළපතින් මැකී යා යුත්තේ ඇයි? අප පියාගේ සහෝදරයින් අතරේ අපට උරුමයක් දෙන්නැ” යි කීහ.
5එබැවින් මෝසෙස් ඔවුන්ගේ ඉල්ලීම ස්වාමින්වහන්සේ ඉදිරියට ගෙනාවේ ය. 6ස්වාමින්වහන්සේ ඔහු ඇමතූ සේක්, 7“සෙලොෆෙහාද්ගේ දූවරුන් කියන දේ හරි. ඔවුන්ගේ පියාගේ සහෝදරයින් අතරේ උරුමයක් කොට, දේපළක් නියතයෙන් ම ඔබ ඔවුනට දී, ඔවුන්ගේ පියාගේ උරුමය ඔවුන් වෙත පැවරිය යුතු ය.
8“ඉශ්‍රායෙල්වරුනට මෙසේ කියන්න: ‘යම් මිනිසකු පුතකු නො ලැබ මළොත්, ඔහුගේ උරුමය ඔහුගේ දියණියට දිය යුතු ය. 9ඔහුට දියණියක නැති නම්, ඔහුගේ උරුමය ඔහුගේ සහෝදරයින්ට දිය යුතු ය. 10ඔහුට සහෝදරයින් නැති නම්, ඔහුගේ උරුමය ඔහුගේ පියාගේ සහෝදරයින්ට ය. 11ඔහුගේ පියාට සහෝදරයින් නැති නම්, ඔහුගේ උරුමය ඔහුගේ පෙළපතේ සිටින ළඟ ම නෑයාට ය. ඒ නෑයාට එය අයිති වනු ඇත. ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, මෙය ඉශ්‍රායෙල් ජනතාවට නීතියක් හා නියමයකි’ යි” පැවසූ සේක.
මෝසෙස්ගේ තැනට යෝෂුවා
12ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “අබාරීම් කඳු පෙළෙහි මෙම කන්ද උඩට නැග, ඉශ්‍රායෙල් ජනයාට මා දුන් දේශය නරඹන්න. 13ඔබ එය නැරඹූ පසු, ඔබේ සහෝදර ආරොන් මෙන් ඔබත්, මිය ගිය ඔබේ ජනතාවට එක්වනු ඇත. 14මන්ද සීන් කාන්තාරයේ ජලය අසලදී ඉශ්‍රායෙල් ප්‍රජාව කැරලි ගැසූ අවස්ථාවේ, ඔබ දෙදෙන මගේ අණට අකීකරු ව, ඔවුන් ඉදිරියේ මගේ ශුද්ධත්වයට ගෞරව පැමිණෙන ලෙස කටයුතු නො කළ බැවිනි” යි පැවසූ සේක. මෙම ජලය, සීන් කාන්තාරයේ කාදෙෂ්හි මෙරීබා ජලය ය.
15එවිට මෝසෙස් ස්වාමින්වහන්සේ අමතමින්, 16“මුළු මිනිස් වර්ගයාගේ ආත්මවල දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ මේ ප්‍රජාවගේ නායකත්වයට කෙනකු පත් කරන සේක්වා. 17ස්වාමින්වහන්සේගේ ජනයා එඬේරකු නැති බැටළුවන් මෙන් නො වන පිණිස, ඔවුනට පෙරටුව පිටතට යෑමටත්, ඇතුළට ඒමටත්, ඔවුන් පිටතට ගෙන යෑමටත්, ඇතුළට ගෙන ඒමටත් කෙනකු පත් කරන සේක්වා” යි පැවසී ය.
18එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් අමතමින්, “නූන්ගේ පුත්‍ර වූ, තමන් තුළ ආත්මයාණන් ඇති මිනිසකු වූ යෝෂුවා කැඳවා, ඔහු මත ඔබේ අත් තබන්න. 19පූජක එලෙයාසර් ද මුළු සභාව ද ඉදිරියෙහි ඔහු සිටුවා, ඔවුන් ඉදිරියෙහි ඔහුට බලය පවරන්න. 20මුළු ඉශ්‍රායෙල් ජන සමාජය ම ඔහුට කීකරු වන පිණිස, ඔබේ ආධිපත්‍යයෙන් කොටසක් ඔහුට පවරා දෙන්න. 21ඔහු පූජක එලෙයාසර් ඉදිරියේ සිටගත යුතු ය. පූජකයා ස්වාමින්වහන්සේ අබියස, ඌරීම් උපයෝගී කොට ගෙන, දේව කැමැත්ත විමසමින්, ඔහු උදෙසා තීරණ ගනු ඇත. මෙසේ පූජකයාගේ අණින් යෝෂුවාත්, මුළු මහත් ඉශ්‍රායෙල් සමූහයාත් පිටතට යනු ඇත. ඔහුගේ අණින් ඔවුන් ඇතුළට එනු ඇතැ” යි පැවසූ සේක.
22 ස්වාමින්වහන්සේ අණ කළ පරිද්දෙන් මෝසෙස් කළේ ය. ඔහු යෝෂුවා කැඳවා, පූජක එලෙයාසර් ද මුළු ප්‍රජාව ද ඉදිරියේ ඔහු සිටුවී ය. 23ඉන්පසු තම අත් ඔහු මත තබා, ඔහුට බලය පැවරුවේ ස්වාමින්වහන්සේ මෝසෙස් මගින් දුන් උපදෙස් පරිද්දෙනි.
اکنون انتخاب شده:
ගණන් 27: SCV
هایلایت
به اشتراک گذاشتن
مقایسه
کپی
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.