ගණන් 24

24
1ඉශ්‍රායෙල් ජනතාවට ආශිර්වාද කිරීම ස්වාමින්වහන්සේට ප්‍රසන්න වග දුටු බාලාම්, අන් වතාවන්හි දී මෙන් නිමිති බැලීමේ උපා නො යොදා, පාළුකරය දෙසට තම මුහුණ හැරවී ය. 2එසේ බැලූ බාලාම්, ඉශ්‍රායෙල් ජනයා ගෝත්‍රයෙන්, ගෝත්‍රය කඳවුරු බැඳ සිටින අයුරු දුටු කල, දෙවියන්වහන්සේගේ ආත්මයාණෝ ඔහු වෙත පහළ වූ සේක. 3එවිට ඔහු තම කියමන ප්‍රකාශ කරන්නට වන්නේ ය.
“බෙයෝර්ගේ පුත් බාලාම්ගේ කියමන;
හොඳින් පෙනෙන ඇස් ඇත්තාගේ කියමන;
4දෙවියන්වහන්සේගේ වචන අසන,
සර්ව පරාක්‍රමයාණන් වෙතින් දසුනක් දකින,
මුහුණින් වැටෙන, ඇස් විවර ව ඇති මිනිසාගේ කියමන:
5“එම්බා යාකොබ්, ඔබේ කූඩාරම් කොතරම් අලංකාර ද!
එම්බා ඉශ්‍රායෙල්, ඔබේ නවාතැන් කොතරම් අලංකාර ද!
6“ඒවා ඈතට විහිදෙන මිටියාවත් වැන්න;
ගඟ අසබඩ උයන් වතු වැන්න;
ස්වාමින්වහන්සේ සිට වූ අගිල් ගස් වැන්න;
දිය අසල වූ දේවදාර ගස් වැන්න.
7ඔහුගේ බඳුන්වලින් ජලය, උතුරා යන්නේ ය;
ඔහුගේ බීජය බහුල ජල පිට වන්නේ ය.
“ඔහුගේ රජු අගග්ට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ ය.
ඔහුගේ රාජ්‍යය උසස් කරනු ලබන්නේ ය.
8“ඊජිප්තුවෙන් පිටතට ඔවුන් ගෙන ආවේ දෙවියන්වහන්සේ ය.
ඔහුට ඇත්තේ කුළු මීමකුගේ ශක්තිය ය.
ඔහු තම සතුරු ජාතීන් වනසා දමයි;
තම ඊතලවලින් සතුරනට අනිමින්,
සතුරනගේ ඇටකටු කැබලි කර දමයි.
9සිංහයකු මෙන් ද සිංහ දෙනක මෙන් ද වැතිර, ඔහු ලැග සිටී.
ඔහු නැගිටුවන්නට සමතා කවුරු ද?
“ඔබට සෙත් පානා අයට සෙත් වේවා!
ඔබට ශාප කරන අයට ශාප වේවා!”
10එවිට බාලාම්ට එරෙහිව බාලාක්ගේ කෝපය ඇවිළිණි. තම දෑත එකකට එකක් ගැසූ බාලාක්, බාලාම් අමතමින්, “මා නුඹ කැඳවූයේ මගේ සතුරනට ශාප කරන්නටයි. එහෙත් මේ තුන් වතාවේ ම, නුඹ කළේ ඔවුන්ට ආශිර්වාද කිරීමයි. 11දැන් වහාම පිට වී, ගෙදර යනු! මා ඔබට අනගි ත්‍යාගයක් දෙන වග කීව ද, ඒ ත්‍යාගය ලැබීමෙන් ස්වාමින්වහන්සේ නුඹ වැළකූ සේකැ” යි කීවේ ය.
12බාලාම්, බාලාක්ට පිළිතුරු දෙමින්, “මා වෙත ඔබ එවූ නියෝජිතයින් අමතා, 13‘බාලාක් තම මාලිගය පිරෙන්නට රන් රිදී මට දුන්නත්, ස්වාමින්වහන්සේගේ අණට ඉහළින්, මගේ ම කැමැත්තට හොඳක් වුව, නරකක් වුව කරන්නට මට නුපුළුවන. මා කිය යුතු ව ඇත්තේ, ස්වාමින්වහන්සේ මට කියන දේ පමණි’ යි මා කීවේ නැති ද? 14දැන් මම, මගේ ජනයා වෙත ආපසු යන්නෙමි. එහෙත් එන්න. මෙම ජනයා මතු දවස්හි දී ඔබේ ජනයාට කුමක් කරනු ඇද්දැයි ඔබට අනතුරු හඟවන්නට මට ඉඩ දෙන්නැ” යි කීවේ ය.
බාලාම්ගේ සිවු වන කියමන
15ඉන්පසු ඔහු තම කියමන ප්‍රකාශ කරන්නට වන්නේ ය.
“බෙයෝර්ගේ පුත් බාලාම්ගේ කියමන;
හොඳින් පෙනෙන ඇස් ඇත්තාගේ කියමන;
16දෙවියන්වහන්සේගේ වචන අසන,
මහෝත්තමයාණන් වෙතින් වූ දැනගැන්ම ඇති,
සර්ව පරාක්‍රමයාණන් වෙතින් දසුනක් දකින
මුහුණින් වැටෙන, ඇස් විවර ව ඇති මිනිසාගේ කියමන:
17“මම එතුමන් දකිමි, එහෙත් දැන් ම නො වේ;
මම එතුමන් නිරීක්ෂණ කරමි, එහෙත් ළඟ පාත නො වේ:
යාකොබ් වෙතින් තරුවක් පායනු ඇත.
ඉශ්‍රායෙල් වෙතින් රාජ සෙංකෝලයක් නැගී සිටිනු ඇත.
එතුමන් මෝවබ්ගේ නළලත
සියලු ෂේත්#24:17 ෂේත් එනම් ඝෝෂාකාරී පුරසාරම් දොඩන්නෝ පුත්‍රයන්ගේ හිස් කබල් බිඳිනු ඇත.
18ඒදොම් දේශය, පරාජයට පත් වේ;
එතුමන්ගේ සතුරු සේයිර් දේශය ද පරාජයට පත් වේ;
එහෙත් ඉශ්‍රායෙල් ශක්තියෙන් වැඩේ.
19යාකොබ් වංශයෙන් පාලකයකු පහළ වී,
ජීවත් ව ඉතිරි ව සිටින නගර වාසීන් විනාශ කර දමන්නේ ය.”
බාලාම්ගේ පස් වන කියමන
20ඉන්පසු අමලෙක්වරුන් දුටු බාලාම් තම කියමන ප්‍රකාශ කරන්නට වන්නේ ය.
“ජාතීන් අතර පළමු වැන්නා අමලෙක් ය.
එහෙත් ඔහුගේ අවසානය විනාශයයි.”
බාලාම්ගේ සය වන කියමන
21ඉන්පසු කේනිවරුන් දුටු ඔහු තම කියමන ප්‍රකාශ කරන්නට වන්නේ ය:
“ඔබේ වාසස්ථානය සුරක්ෂිත ය.
ඔබේ කැදැල්ල පිහිටුවා ඇත්තේ පර්වතයක ය.
22එහෙත් අෂ්ෂූර් ඔබ අල්ලාගෙන ගිය කල,
කේනිවරුනි#24:22 කේනිවරුනි හෙබ්‍රෙව් කායින් ඔබ විනාශ වනු ඇත.”
බාලාම්ගේ සත් වන කියමන
23ඉන්පසු ඔහු තම කියමන ප්‍රකාශ කරන්නට වන්නේ ය.
“අහෝ! දෙවියන්වහන්සේ මෙසේ කළ කල්හි, ජීවත් විය හැක්කේ කවරකුට ද?
24කිත්තීම් වෙරළේ සිට නැව් අවුත්,
අෂ්ෂූර් හා ඒබෙර් යටත් කර ගනු ඇත.
එහෙත් ඒවා ද විනාශයට පත් වේ.”
25ඉන්පසු බාලාම් නැගිට, තම ස්ථානයට ආපසු ගියේ ය. බාලාක් ද තමාගේ ම මාර්ගයේ ගියේ ය.

اکنون انتخاب شده:

ගණන් 24: SCV

های‌لایت

به اشتراک گذاشتن

مقایسه

کپی

None

می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید