ගණන් 22

22
බාලාක් හා බාලාම්
1ඉන්පසු මෝවබ් තැනිතලා වෙත ගමන් ගත් ඉශ්‍රායෙල්වරු යෙරිකෝවෙන් මෙපිට යොර්දාන් ගඟබඩ කඳවුරු ගැසූහ.
2ඉශ්‍රායෙල්වරුන් අමෝරිවරුන්ට කර තිබූ සියලු දෑ සිප්පෝර්ගේ පුත් බාලාක් දැක්කේ ය. 3ඉශ්‍රායෙල් ජනයා ඒ සා බොහෝ වූ බැවින් මෝවබ්වරු භය වූහ. ඉශ්‍රායෙල්වරුන් නිසා මෝවබ්වරු සැබවින් ම භීතියෙන් පිරුණහ.
4එවිට මිදියන්හි වැඩිහිටියන් ඇමතූ මෝවබ්වරු, “ගවයා කෙතේ තණ කා දමන්නාක් මෙන්, මුන් අප වටා ඇති හැම දෙයක් මකා දමනු ඇතැ” යි කීවෝ ය.
එකල මෝවබ්හි රජු වූයේ සිප්පෝර්ගේ පුත් බාලාක් ය. 5ඔහු බෙයෝර්ගේ පුත් බාලාම් කැඳවීමට පණිවුඩකරුවන් යැවී ය. බාලාම් පදිංචි ව සිටියේ තම නිජ බිමෙහි ගංගාව#22:5 ගංගාව එනම් යුප්‍රටීස් අසල පෙතෝර්හි ය. බාලාක්ගේ පණිවුඩය වූයේ,
“ඔන්න! ඊජිප්තුවෙන් පිටත් ව පැමිණි ජනකායක්! ඔවුහු දේශය වසා පැතිර, දැන් මගේ දේශ සීමාවට ම ඇවිදින්. 6මොවුන් මට වඩා බොහෝ බලවත් බැවින්, දැන් පැමිණ, මේ ජනතාව පිට ශාපයක් තබන්න. එවිට ඔවුන් පරදා, මේ රටින් පන්නා දමන්නට ඇතැම් විට මට හැකි වේවි; මන්ද ඔබ ආශිර්වාද කරන අය ආශිර්වාද ලබන බවත්, ඔබ ශාප කරන අය ශාප ලබන බවත් මම දනිමි” යන්න ය.
7මෙසේ පේන ඇසීමට පඬුරු ගෙන, මෝවබ් හා මිදියන් වැඩිහිටියන් පිටත් වූහ. බාලාම් වෙත ආ ඔවුහු බාලාක්ගේ පණිවුඩය ඔහුට පැවසූහ.
8ඔවුනට පිළිතුරු දුන් බාලාම්, “අද රෑ මෙහි නවතින්න. ස්වාමින්වහන්සේ මට දෙන පිළිතුර, මම ඔබ වෙත ගෙනෙමි” යි කීවේ ය. එබැවින් මෝවබ් ප්‍රභූහු ඔහු සමඟ නැවතුණහ.
9දෙවියන්වහන්සේ බාලාම් වෙත ආ සේක්, “ඔබ හා සිටින මේ මිනිස්සු කවරහු දැ?” යි ඇසූ සේක.
10බාලාම් දෙවියන්වහන්සේට පිළිතුරු දෙමින්, “සිප්පෝර්ගේ පුත්‍ර, මෝවබ්හි රජු බාලාක් මට මෙලෙස පණිවුඩ එවා තියෙනවා: 11‘ඊජිප්තුවෙන් පිටත් ව ආ ජනතාවක් දේශය වසා පැතිර සිටිති. මා උදෙසා දැන් පැමිණ, මොවුන් පිට ශාපයක් තබන්න. එවිට ඔවුන් හා සටන් කොට, ඔවුන් පලවා හරින්නට ඇතැම් විට මට හැකි වනු ඇත’ යනු ඒ පණිවුඩය යැ” යි කීවේ ය.
12එහෙත් දෙවියන්වහන්සේ බාලාම් අමතමින්, “ඔවුන් සමඟ නො යන්න. ඔබ ඒ ජනයාට ශාප නො කළ යුතු ය; ඔවුන් ආශිර්වාදිත යැ” යි පැවසූ සේක.
13පසු දා උදෑසන පිබිදුණු බාලාම්, බාලාක්ගේ ප්‍රභූන් අමතමින්, “ඔබේ රටට ආපසු යන්න; මා ඔබ සමඟ යෑම ස්වාමින්වහන්සේ ප්‍රතික්ෂේප කළ සේකැ” යි කීවේ ය.
14එබැවින් මෝවබ් ප්‍රභූහු බාලාක් වෙත ආපසු ගොස්, “අප සමඟ ඒම බාලාම් ප්‍රතික්ෂේප කළේ යැ” යි කීවෝ ය.
15එවිට බාලාක්, පළමු අයට වඩා ගරු කටයුතු වූ පළමු වරට වඩා වැඩි ප්‍රභූන් පිරිසක් යැවී ය. 16බාලාම් වෙත පැමිණි ඔවුහු, “සිප්පෝර්ගේ පුත් බාලාක් මෙසේ කියයි:
“මා වෙත ඔබේ පැමිණීම වළක්වන්නට කිසිවකට හෝ ඉඩ නො දෙන්න. 17මම ඔබ මහත් ගෞරවයට පමුණු වන්නෙමි. ඔබ කියන කවර දේ වුව කරන්නෙමි. එබැවින් එන්න; අවුත්, මා උදෙසා මේ ජනතාව පිට ශාපයක් තබන්නැ” යි ඉල්ලූහ.
18එහෙත් බාලාම් බාලාක්ගේ සේවකයනට පිළිතුරු දෙමින්, “බාලාක්, ඔහුගේ මාලිගය පිරෙන්නට ම රන් රිදී මට දෙතත්, මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ අණට පටහැනි ව ලොකු දෙයක් හෝ සුළු දෙයක් හෝ කරන්නට මට නුපුළුවන. 19එබැවින් දැන් අනෙක් අය කළ පරිදි රැය මෙහි ගත කරන්න. ස්වාමින්වහන්සේ මට තව කුමක් කියන සේක් දැයි මම දැන ගන්නෙමි” යි කීවේ ය.
20ඒ රැයේ දෙවියන්වහන්සේ බාලාම් වෙත පැමිණි සේක්, “මේ මිනිසුන් පැමිණ ඇත්තේ ඔබ කැඳවා යෑමට නම්, ඔවුන් සමඟ යන්න. එහෙත් මා ඔබට කියන දේ පමණක් කරන්නැ” යි කී සේක.
බාලාම්ගේ බූරු දෙන
21උදෑසන පිබිදුණු බාලාම් තම බූරුවා සූදානම් කර, මෝවබ් ප්‍රභූන් සමඟ පිටත් ව ගියේ ය. 22ඔහුගේ යෑම ගැන, දෙවියන්වහන්සේ බොහෝ සේ උරණ වූ සේක. ස්වාමින්වහන්සේගේ දූතයා, ඔහුට එරෙහිව සිටිමින්, පාරේ සිට ගත්තේ ය. බාලාම් ගියේ තම බූරු දෙන පිටේ ය. ඔහුගේ සේවකයින් දෙදෙනෙක් ද ඔහු සමඟ වූහ. 23ස්වාමින්වහන්සේගේ දූතයා ඇදගත් කඩුවක් අතැතිව, පාරේ සිටගෙන සිටිනු දුටු බූරු දෙන, පාරෙන් ඉවතට කෙතට හැරිණි. යළි ඌ පාරට ගන්නට බාලාම් ඌට තැළී ය.
24එවිට ස්වාමින්වහන්සේගේ දූතයා, මිදි වතු දෙකක් අතරේ දෙපසින් ම තාප්ප සහිත පටු මාවතක සිට ගත්තේ ය. 25ස්වාමින්වහන්සේගේ දූතයා දුටු බූරු දෙන, තාප්පයට ළං වී ඊට තද වූයෙන්, බාලාම්ගේ කකුල තැළුණේ ය. එබැවින් ඔහු යළි ඌට තැළී ය.
26ඉන්පසු ස්වාමින්වහන්සේගේ දූතයා ඉන් මදක් ඔබ්බට ගොස්, වමට හෝ දකුණට හෝ හැරෙන්නට ඉඩක් නැති පටු තැනක සිට ගත්තේ ය. 27මෙවර ස්වාමින්වහන්සේගේ දූතයා දුටු බූරු දෙන, බාලාම් ඌ පිට සිටියදී ම, බිම වැතිරුණා ය. ඉන් කෝපයට පත් ඔහු, තම කෙවිටෙන් ඌට පහර දුන්නේ ය. 28එවිට ස්වාමින්වහන්සේ බූරුදෙනට කතා කරන්නට සැලැස් වූයෙන්, බාලාම් ඇමතූ ඌ, “මේ තුන් වතාවේ ම මට තලන්නට මා ඔබට කුමක් ද කළේ?” යි ඇසී ය.
29“නුඹ මා විහිළුවකට බාර ගත් නිසයි! මා අත කඩුවක් තිබුණා නම් මෙලහකටත් මා නුඹ මරා දමලා” යි බාලාම් බූරුදෙනට පැවසී ය.
30බූරු දෙන, බාලාම් අමතමින්, “අද දවස දක්වා මුළු ජීවිත කාලයේ ම ඔබ නැගී ගිය බූරු දෙන මා නො වේ ද? කිසි දිනෙකත් ඔබට මෙසේ කරන්නට මා පුරුදු ව සිටියා දැ?” යි ඇසී ය.
“නැතැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
31එවිට ස්වාමින්වහන්සේ බාලාම්ගේ ඇස් විවර කළෙන්, ස්වාමින්වහන්සේගේ දූතයා ඇදගත් කඩුව ද අතැතිව, මාර්ගයේ සිටිනු ඔහු දැක්කේ ය. එවිට බාලාම් පහතට හිස නවා, මුණින් තලා වැටුණේ ය.
32 ස්වාමින්වහන්සේගේ දූතයා ඔහු අමතමින්, “මේ තුන් වතාවේ ම නුඹ, නුඹේ බූරුදෙනට පහර දුන්නේ මන්ද? නුඹට එරෙහි වන්නට මා මෙහි ආවේ නුඹේ ගමන් මග මා ඉදිරියේ නො සැලකිලිමත් ව ඇති නිසයි. 33බූරු දෙන මේ තුන් වතාවේ ම මා දැක ඉවත හැරුණා. එසේ ඌ ඉවත හැරුණේ නැති නම් මේ වන විට ඌ ඉතිරි කරමින්, සත්තකින් ම මා නුඹ මරා දමන්නට තිබුණා” යි පැවසී ය.
34බාලාම්, ස්වාමින්වහන්සේගේ දූතයාට පිළිතුරු දෙමින්, “මම පව් කළෙමි. මා මුණගැසීමට ඔබ පාරේ සිටගෙන හුන් වග මා දැන සිටියේ නෑ. ඉතින් එය ඇස් ඉදිරියේ නපුරු නම් මා ආපසු යනවා” යි කීවේ ය.
35“මේ මිනිසුන් සමඟ යනු; එහෙත් මා ඔබට පවසන දෑ පමණක් කියනු” යි ස්වාමින්වහන්සේගේ දූතයා බාලාම්ට පැවසී ය. එබැවින් බාලාම්, බාලාක්ගේ ප්‍රභූන් සමඟ ගියේ ය.
36බාලාම් එන වග ඇසූ බාලාක්, ඔහු හමුවන පිණිස තම රාජධානිය කෙළවරේ අර්ණොන් සීමාවෙහි වූ මෝවබ්වරුන්ගේ නගරය වෙත ගියේ ය. 37මෙසේ බාලාම් ඇමතූ බාලාක්, “ඔබ කැඳවමින්, මම හදිසි පණිවුඩ නෑරියෙම් ද? ඔබ මා වෙත නාවේ මන්ද? ඔබ ගෞරවයට පමුණු වන්නට මා අපොහොසත් වෙතැයි ඔබ සිතනවා දැ?” යි ඇසී ය.
38බාලාම් පිළිතුරු දෙමින්, “මෙන්න! දැන් මා ඔබ වෙත ඇවිදින්; එහෙත් කිසිවක් හෝ කීමට මට හැකි වේ ද? මට කිය හැක්කේ දෙවියන්වහන්සේ මගේ මුවෙහි තබන දෑ පමණි” යි කීවේ ය.
39ඉන්පසු බාලාම්, බාලාක් සමඟ කිරියත්-හුසෝත් වෙත ගියේ ය. 40බාලාක්, ගවයින් හා බැටළුවන් යාග කළේ ය. ඔහු එම සත්ව යාගයෙන් කොටසක් බාලාම්ට ද ඔහු සමඟ වූ ප්‍රභූන්ට ද දුන්නේ ය. 41බාලාක් පසු දා උදෑසන බාලාම් කැඳවාගෙන, බාමොත්-බාල් කන්දට නැගුණේ ය. එහිදී ඉශ්‍රායෙල් ජනතාවගෙන් කොටසක් ඔහු දුටුවේ ය.

اکنون انتخاب شده:

ගණන් 22: SCV

های‌لایت

به اشتراک گذاشتن

مقایسه

کپی

None

می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید