ගණන් 10
10
රිදී හොරණෑ
1 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 2“තැලූ රිදීයෙන් හොරණෑ දෙකක් සාදා, ජන සමාජය එක් රැස් කරවීමටත්, කඳවුර පිටත් ව යෑමේදීත් ඒවා භාවිත කරන්න. 3හොරණෑ දෙක ම හැඬ වූ කල, මුළු ජන සමාජය ම හමුවීමේ කූඩාරම් දොරකඩ ඔබ ඉදිරියේ එක් රැස් විය යුතු ය. 4ඉන් එකක් පමණක් හැඬ වූ කල, ඉශ්‍රායෙල් පෙළපත් ප්‍රධානීන් වන නායකයින් ඔබ ඉදිරියේ එක් රැස් විය යුතු ය. 5හොරණෑව හැඬ වූ කල, පෙරදිග පැත්තේ කඳවුරු බැඳ සිටි ගෝත්‍ර පිටත් ව යා යුතු ය. 6දෙවන වර එය හැඬ වූ කල, දකුණු දිශාවේ කඳවුරු පිටත් විය යුතු ය. හොරණෑ හැඬවුම පිටත් ව යෑමට සංඥාවකි. 7ප්‍රජාව රැස්කරවීමට හොරණෑ පිඹින්න; එහෙත් පෙර කී පිටත් ව යෑමේ සංඥාවේ හැඬවුම නො වේ.
8“හොරණෑ හැඬවිය යුත්තෝ ආරොන්ගේ පුතුන් වූ පූජකයෝ ය. මෙය ඔබටත්, මතු පරම්පරාවනටත් සදාතනික නියෝගයකි. 9ඔබට පීඩා කරන සතුරකුට එරෙහිව, ඔබේ ම දේශයේදී ඔබ යුද්ධයට යන කල, හොරණෑවලින් හඬක් නංවන්න. එවිට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ සිහි කොට, ඔබේ සතුරන්ගෙන් ඔබ මුදා ගන්නා සේක. 10එසේ ම, ඔබගේ ප්‍රීතිමත් අවස්ථාවන්හි දී එනම් ඔබේ නියමිත මංගල්‍ය හා මාසය පටන් ගැන්මේදී යන ඔබගේ දවන යාග පූජා හා ශාන්ති පූජාවලදීත් ඔබ හොරණෑ නාද කළ යුතු ය. ඒවා ඔබේ දෙවියන්වහන්සේ ඉදිරියේ ඔබ ගැන සිහිකරවීමක් වන්නේ ය. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම යැ” යි පැවසූ සේක.
සීනයි වෙතින් පිටත්වීම
11දෙවන වසරේ දෙවන මස විසිවන දින වලාකුළ සාක්ෂි මණ්ඩපයට ඉහළින් එසවිණි. 12එවිට සීනයි කාන්තාරයෙන් පිටත් වූ ඉශ්‍රායෙල් ජනයා, පාරාන් කාන්තාරයේදී වලාකුළ නවතින තෙක් ම අදියරින්, අදියර ගමන් කළෝ ය. 13මෝසෙස් මගින් ලද ස්වාමින්වහන්සේගේ අණ පරිදි මෙසේ මුල් වරට ඔවුහු ගමන් කළහ.
14ධජ යටතේ යූදා කඳවුරේ සේනාංක මුලින් ම පිටත් ව ගියහ. අම්මිනාදාබ්ගේ පුත් නාෂොන්, සෙන්පතියා විය. 15සූවාර්ගේ පුත් නෙතනේල්, ඉස්සාකර් ගෝත්‍ර සේනාංකයේ සෙන්පතියා විය. 16හේලොන්ගේ පුත් එලියාබ්, සාබුලොන් ගෝත්‍ර සේනාංකයේ සෙන්පතියා විය. 17ඉන්පසු මණ්ඩපය ගලවන ලදුව, එය රැගත් ගෙර්ෂොන් පුත්‍රයෝ හා මෙරාරී පුත්‍රයෝ පිටත් ව ගියහ.
18තමන්ගේ ධජ යටතේ ඊළඟට පිටත් ව ගියේ රූබෙන් කඳවුරේ සේනාංකය ය. එහි සෙන්පති වූයේ ෂෙදෙවූර්ගේ පුත් එලිසූර් ය. 19සූරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල්, සිමියොන් ගෝත්‍ර සේනාංකයේ සෙන්පති ය. 20දෙවූයෙල්ගේ පුත් එලියාසාෆ්, ගාද් ගෝත්‍ර සේනාංකයේ සෙන්පති ය. 21ඉන්පසු ශුද්ධ දෑ රැගත් කොහාත්වරු පිටත් ව ගියහ. ඔවුන් ළඟා වීමට පෙර මණ්ඩපය පිහිටුවිය යුතු විණි.
22තමන්ගේ ධජ යටතේ ඊළඟට පිටත් ව ගියේ එප්‍රායිම් කඳවුරේ සේනාංකය ය. එහි සෙන්පති වූයේ අම්මිහුද්ගේ පුත් එලිෂාමා ය. 23පෙදාසූර්ගේ පුත් ගමාලියෙල්, මනස්සේ ගෝත්‍ර සේනාංකයේ සෙන්පති ය. 24ගිදෙයොනීගේ පුත් අබිදාන්, බෙන්යමින් ගෝත්‍ර සේනාංකයේ සෙන්පති විය.
25අවසානයට, සියලු ඒකකවල පසු පස මුරකාවල වශයෙන් තමන්ගේ ගෝත්‍ර ධජ යටතේ පිටත් ව ගියේ, දාන් කඳවුරේ සේනාංකය ය. එහි සෙන්පති වූයේ අම්මිෂද්දයිගේ පුත් අහියේසෙර් ය. 26ඔක්‍රාන්ගේ පුත් පගියෙල්, ආෂෙර් ගෝත්‍ර සේනාංකයේ සෙන්පති විය. 27ඒනාන්ගේ පුත් අහිරා, නෆ්තලී ගෝත්‍ර සේනාංකයේ සෙන්පති විය. 28ඉශ්‍රායෙල් සේනාංක පිටත් ව යද්දී ඔවුන් ගමනේ යෙදුණු අනුපිළිවෙල එයයි.
29මෝසෙස්ගේ මාමණ්ඩිය වූ මිදියන්හි රෙවූයෙල්ගේ පුත්‍රයා වූ හොබාබ් ඇමතූ මෝසෙස්, “ ‘මම ඔබට දෙන්නෙමි’ යි ස්වාමින්වහන්සේ කී ස්ථානය බලා අපි ගමන් ගන්නෙමු. අප සමඟ එන්න; අපි ඔබට හොඳින් සලකන්නෙමු. මන්ද ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල්-අපට යහපත් දෑ පොරොන්දු වී ඇතැ” යි කීවේ ය.
30“නෑ මා එන්නෙ නෑ. මගේ ම රටටත්, මගේ ම ජනයා වෙතටත් මම ආපසු යන්නෙමි” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
31එහෙත් මෝසෙස්, “අනේ අප හැර යන්න එපා. පාළුකරයේ අප කඳවුරු බැඳිය යුත්තේ කොතැන්හි දැයි දන්නේ ඔබයි. එබැවින් අපට ඇස් දෙක වීමට ඔබට හැකියි. 32ඔබ අප හා ආවොත්, ස්වාමින්වහන්සේ අපට දෙන කවර යහපතක් වුව ද අපි ඔබ හා බෙදාගන්නෙමු” යි කීවේ ය.
33මෙසේ ඔවුහු ස්වාමින්වහන්සේගේ කන්ද වෙතින් පිටත් ව, දවස් තුනක් ගමන් ගත්හ. ඔවුනට විවේක ගන්නට සුදුසු තැනක් සොයමින්, ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව ද ඒ තුන් දවසේ ම ඔවුන්ට පෙරටුව ගමන් ගත්තේ ය. 34ඔවුන් කඳවුරෙන් පිටත් ව යන කල, දහවලේදී ස්වාමින්වහන්සේගේ වලාකුළ ඔවුනට ඉහළින් විය.
35ගිවිසුම් කරඬුව පිටත් ව යන කවර විටෙක වුව මෝසෙස්,
“පිබිදුණු මැන අහෝ ස්වාමින්වහන්ස,
ඔබගේ සතුරෝ විසුරුවනු ලබත්වා.
ඔබට වෛර කරන්නෝ ඔබ ඉදිරියෙන් පලා යත්වා” යි
කීවේ ය.
36ගිවිසුම් කරඬුව නැවතුණු කවර විටෙක වුව ඔහු,
“ගණන් නැති දහස් ගණන් ඉශ්‍රායෙල් ජනයා වෙත
හැරී ආ මැනව අහෝ ස්වාමින්වහන්ස, යි”
කීවේ ය.
اکنون انتخاب شده:
ගණන් 10: SCV
هایلایت
به اشتراک گذاشتن
مقایسه
کپی
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.