ගණන් 1

1
සංගණනය
1ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවෙන් පිටතට පැමිණි පසු දෙවන වසරේ, දෙවන මස, පළමු වන දා සීනයි කාන්තාරයේ හමුවීමේ කූඩාරම තුළදී, ස්වාමින්වහන්සේ මෝසෙස්ට මෙසේ පැවසූ සේක: 2“හැම පිරිමියකු, එක් එක්කෙනා නම් වශයෙන් ලේඛනගත කරමින්, ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, ඉශ්‍රායෙල් ප්‍රජාවේ මුළු ජන සමාජයේ සංගණනයක් ගන්න. 3හමුදා සේවයේ යෙදිය හැකි, විසි වියැති හා ඊට වැඩි සියලු ඉශ්‍රායෙල් ජාතික පිරිමි, ඔවුන්ගේ සේනාංක වශයෙන් ගණනය කරනු ලැබිය යුත්තේ ඔබත්, ආරොනුත් විසිනි. 4එක් එක් ගෝත්‍රයේ පියවංශ ප්‍රධානියා වූ කෙනකු ඔබට සහාය විය යුතු ය.
5“එසේ ඔබට සහාය දිය යුතු අයගේ නාම මෙසේ ය:
“රූබෙන් ගෝත්‍රයෙන්, ෂෙදෙවූර්ගේ පුත් එලිසූර්;
6සිමියොන් ගෝත්‍රයෙන්, සූරිෂද්දයිගේ පුත් ෂෙලුමියෙල්;
7යූදා ගෝත්‍රයෙන්, අම්මිනාදාබ්ගේ පුත් නාෂොන්;
8ඉස්සාකර් ගෝත්‍රයෙන්, සූවාර්ගේ පුත් නෙතනේල්;
9සාබුලොන් ගෝත්‍රයෙන්, හේලොන්ගේ පුත් එලියාබ්;
10යෝසෙප්ගේ පුතුන් අතුරින්:
එප්‍රායිම් ගෝත්‍රයෙන්, අම්මිහුද්ගේ පුත් එලිෂාමා;
මනස්සේ ගෝත්‍රයෙන්, පෙදාසූර්ගේ පුත් ගමාලියෙල්;
11බෙන්යමින් ගෝත්‍රයෙන්, ගිදෙයොනීගේ පුත් අබිදාන්;
12දාන් ගෝත්‍රයෙන්, අම්මිෂද්දයිගේ පුත් අහියේසෙර්;
13ආෂෙර් ගෝත්‍රයෙන්, ඔක්‍රාන්ගේ පුත් පගියෙල්;
14ගාද් ගෝත්‍රයෙන්, දෙවූයෙල්ගේ පුත් එලියාසාෆ්;
15නෆ්තලී ගෝත්‍රයෙන්, ඒනාන්ගේ පුත් අහිරා යන අය ය.”
16ජන සමාජයෙන් තෝරා පත් කරන ලද ඔවුන්ගේ පාරම්පරික ගෝත්‍ර නායකයෝ ඔවුහු ය. ඔවුහු ඉශ්‍රායෙල් පෙළපත් ප්‍රධානීහු ය.
17මෝසෙස් සහ ආරොන්, නම් සඳහන් ඒ මිනිසුන් කැඳවා ගත්හ. 18දෙවන මස පළමු දින ඔවුහු මුළු ඉශ්‍රායෙල් සමාජය ම එක් රැස් කරවූහ. ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව විසි වියැති වූත්, ඊට වැඩි වූත් පිරිමි එක් එක්කෙනා නාම වශයෙන් ලේඛනගත කරන ලදහ. 19එසේ කරන ලද්දේ ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කර තිබූ පරිද්දෙනි. මෙසේ ඔහු සීනයි කාන්තාරයේදී ඔවුන් ගණන් කළේ ය:
20ඉශ්‍රායෙල්ගේ කුලුඳුල් පුත් රූබෙන්ගෙන් පැවත එන්නන් අතරින්:
හමුදා සේවයේ යෙදිය හැකි විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු පිරිමි, ඔවුන්ගේ පරම්පරාවල ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, එක් එක්කෙනා නම් වශයෙන් ලේඛනගත කරන ලදහ. 21ඒ අනුව රූබෙන් ගෝත්‍ර වංශිකයින් ගණනින් හතළිස්හයදහස් පන්සිය දෙනෙකි.
22සිමියොන්ගෙන් පැවත එන්නෝ:
හමුදා සේවයේ යෙදිය හැකි විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු පිරිමි, ඔවුන්ගේ පරම්පරාවල ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, එක් එක්කෙනා නම් වශයෙන් ගණන් ගනු ලදුව, ලේඛනගත කරන ලදහ. 23ඒ අනුව සිමියොන් ගෝත්‍ර වංශිකයින් ගණනින් පනස්නවදහස් තුන්සිය දෙනෙකි.
24ගාද්ගෙන් පැවත එන්නෝ:
හමුදා සේවයේ යෙදිය හැකි විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු පිරිමි, ඔවුන්ගේ පරම්පරාවල ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, නම් වශයෙන් ලේඛනගත කරන ලදහ. 25ගාද් ගෝත්‍ර වංශිකයින් ගණනින් හතළිස්පන්දහස් හයසිය පනස් දෙනෙකි.
26යූදාගෙන් පැවත එන්නෝ:
හමුදා සේවයේ යෙදිය හැකි විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු පිරිමි, ඔවුන්ගේ පරම්පරාවල ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, නම් වශයෙන් ලේඛනගත කරන ලදහ. 27යූදා ගෝත්‍ර වංශිකයින් ගණනින් හැත්තෑහතරදහස් හයසිය දෙනෙකි.
28ඉස්සාකර්ගෙන් පැවත එන්නෝ:
හමුදා සේවයේ යෙදිය හැකි විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු පිරිමි, ඔවුන්ගේ පරම්පරාවල ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, නම් වශයෙන් ලේඛනගත කරන ලදහ. 29ඉස්සාකර් ගෝත්‍ර වංශිකයින් ගණනින් පනස්හතරදහස් හාරසිය දෙනෙකි.
30සාබුලොන්ගෙන් පැවත එන්නෝ:
හමුදා සේවයේ යෙදිය හැකි විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු පිරිමි, ඔවුන්ගේ පරම්පරාවල ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, නම් වශයෙන් ලේඛනගත කරන ලදහ. 31සාබුලොන් ගෝත්‍ර වංශිකයින් ගණනින් පනස්හත්දහස් හාරසිය දෙනෙකි.
32යෝසෙප්ගේ පුතුන් අතරින්:
එප්‍රායිම්ගෙන් පැවත එන්නෝ:
හමුදා සේවයේ යෙදිය හැකි විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු පිරිමි, ඔවුන්ගේ පරම්පරාවල ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, නම් වශයෙන් ලේඛනගත කරන ලදහ. 33එප්‍රායිම් ගෝත්‍ර වංශිකයින් ගණනින් හතළිස්දහස් පන්සිය දෙනෙකි.
34යෝසෙප්ගේ පුතුන් අතරින්, මනස්සේගෙන් පැවත එන්නෝ:
හමුදා සේවයේ යෙදිය හැකි විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු පිරිමි, ඔවුන්ගේ පරම්පරාවල ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, නම් වශයෙන් ලේඛනගත කරන ලදහ. 35මනස්සේ ගෝත්‍ර වංශිකයින් ගණනින් තිස්දෙදහස් දෙසීය දෙනෙකි.
36බෙන්යමින්ගෙන් පැවත එන්නෝ:
හමුදා සේවයේ යෙදිය හැකි විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු පිරිමි, ඔවුන්ගේ පරම්පරාවල ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, නම් වශයෙන් ලේඛනගත කරන ලදහ. 37බෙන්යමින් ගෝත්‍ර වංශිකයින් ගණනින් තිස්පන්දහස් හාරසිය දෙනෙකි.
38දාන්ගෙන් පැවත එන්නෝ:
හමුදා සේවයේ යෙදිය හැකි විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු පිරිමි, ඔවුන්ගේ පරම්පරාවල ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, නම් වශයෙන් ලේඛනගත කරන ලදහ. 39දාන් ගෝත්‍ර වංශිකයින් ගණනින් හැටදෙදහස් හත්සිය දෙනෙකි.
40ආෂෙර්ගෙන් පැවත එන්නෝ:
හමුදා සේවයේ යෙදිය හැකි විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු පිරිමි, ඔවුන්ගේ පරම්පරාවල ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, නම් වශයෙන් ලේඛනගත කරන ලදහ. 41ආෂෙර් ගෝත්‍ර වංශිකයින් ගණනින් හතළිස්එක්දහස් පන්සිය දෙනෙකි.
42නෆ්තලීගෙන් පැවත එන්නෝ:
හමුදා සේවයේ යෙදිය හැකි විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු පිරිමි ඔවුන්ගේ පරම්පරාවල ඔවුන්ගේ පෙළපත් හා පියවංශ අනුව, නම් වශයෙන් ලේඛනගත කරන ලදහ. 43නෆ්තලී ගෝත්‍ර වංශිකයින් ගණනින් පනස්තුන්දහස් හාරසිය දෙනෙකි.
44මෝසෙස් හා ආරොන් ද ජනතාවගේ එක් එක් පියවංශය නියෝජන කළ ඉශ්‍රායෙල් ප්‍රධානීන් දොළොස් දෙනා ද විසින් ගණන් කරන ලද පිරිමි ඔවුහු ය. 45ඉශ්‍රායෙල් හමුදා සේවයේ යෙදිය හැකි වූ විසි වියැති වූත්, ඊට වැඩි වූත් සියලු ඉශ්‍රායෙල් ජාතිකයෝ ඔවුන්ගේ පියවංශවලට අනුව මෙසේ ගණන් ගන්නා ලදහ. 46ඔවුන්ගේ මුළු ගණන, හයලක්ෂ තුන්දහස් පන්සිය පනස් දෙනෙකි.
47එහෙත් ලෙවී ගෝත්‍ර වංශයේ පියවංශ, අනිකුත් අය සමඟ ගණන් ගැනුනේ නැත. 48ස්වාමින්වහන්සේ මෝසෙස් අමතා තිබූ සේක්: 49“ඔබ, ලෙවී ගෝත්‍රය ගණන් නො කළ යුතු ය. සෙසු ඉශ්‍රායෙල්වරුන්ගේ සංගණනයට ඔවුන් ඇතුළත් නො කළ යුතු ය. 50ඒ වෙනුවට ලෙවීවරුන්, සාක්ෂි මණ්ඩපයේ භාරකාරත්වයට, එනම්, ඊට අයිති සියලු දෑහි ද එහි සියලු බඩු බාහිරාදියේ ද භාරකාරත්වයට පත් කරන්න. මණ්ඩපයත්, එහි සියලු බඩු බාහිරාදියත් උසුලාගෙන යා යුත්තෝ ඔවුහු ය. ඔවුන් ඒවා රැක බලා ගත යුතු ය; මණ්ඩපය වටා කඳවුරු ගසා ගත යුතු ය. 51මණ්ඩපය වෙන තැනකට ගෙන යා යුතු වූ කල, එය ගැලවිය යුත්තෝ ද යම් තැනක එය සවි කළ යුතු වූ කල, එය කළ යුත්තෝ ද ලෙවීවරු ය. ඊට ළං වන අන් කවරකු වුව මරණයට පත් කරනු ලැබේ. 52සෙසු ඉශ්‍රායෙල් ජනයා ඔවුන්ගේ කූඩාරම් ගසා ගත යුත්තේ, තම තමාගේ ගෝත්‍ර ධජය යටතේ, ඒ ඒ ගෝත්‍ර වංශයට නියමිත කඳවුරෙහි සේනාංක වශයෙනි. 53එහෙත් ලෙවීවරුන් සාක්ෂි මණ්ඩපය වටා තම කූඩාරම් ගසා ගත යුතු ය. එසේ කළ යුත්තේ ඉශ්‍රායෙල් ප්‍රජාවේ ජන සමාජය මත උදහස පතිත නො වන පිණිස ය. සාක්ෂි මණ්ඩපයේ කාර්යයන් පිළිබඳ වගකීම දැරිය යුත්තෝ ලෙවීවරු ය.”
54 ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඉශ්‍රායෙල්වරු ඒ සියල්ල කළහ.

اکنون انتخاب شده:

ගණන් 1: SCV

های‌لایت

به اشتراک گذاشتن

مقایسه

کپی

None

می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید