ලූක් 17

17
පාපය, ඇදහිල්ල හා සේවය
1යේසුස්වහන්සේ තම ගෝලයින් අමතමින්, “පවට පොලඹවන පරීක්ෂා ඇතිවීම නියතයි. එහෙත් ඒ පෙලඹවීම් ඇති වන්නේ කවරකු මගින් ද, ඔහුට දුක් වේ; 2මේ කුඩාවුන්ගෙන් කෙනකු පාපයට පොලඹවනවාට වඩා ඇඹරුම් ගලක් ගෙල වටා එල්ලා, මුහුදේ හෙළනු ලැබීම ඔහුට වඩා හොඳ ය. 3එබැවින් පරෙස්සම් වන්න!
“ඔබේ සහෝදරයා පව් කරයි නම්, ඔහුට තරවටු කරන්න. ඔහු පසුතැවිලි වේ නම්, ඔහුට කමා වන්න. 4ඔහු දවසකට හත් වාරයක් ඔබට එරෙහිව පව් කොට, හත් වාරයක් ම ඔබ වෙත හැරී, ‘මා පසුතැවිලි වෙනවා’ යි කීවත්, ඔබ ඔහුට කමා විය යුතු යැ” යි පැවසූ සේක.
5අපෝස්තුලුවරු ස්වාමින්වහන්සේට කතා කොට, “අපගේ ඇදහිල්ල වැඩි කරන්නැ” යි කීහ.
6ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “අබ ඇටයක් තරම ඇබින්දක ඇදහිල්ලක් ඔබට ඇත්නම්, මේ ඇඹිල්ල ගහට කතා කොට, ‘මුලින් ඉදිරී ගොස්, මුහුදේ පැළවෙනු’ යි කියන්නට ඔබට පුළුවන. එවිට එය ඔබට අවනත වෙයි.
7“ඔබගෙන් යමකුට සී සානා හෝ බැටළුවන් බලාගන්නා දාසයකු වේ නම්, ඔහු ගොවිපළේ වැඩ කර ආ විටෙක, ‘වහා ඇවිත් මේසයට හිඳ ගන්නැ’ යි කියනවා ද? 8එසේ නො ව, ඔබ ඔහු අමතා, ‘මට ආහාර පිළියෙල කර, නිසි ඇඳුමක් හැඳ, මා කා බී නිම වන තුරු මට උපස්ථාන කරන්න. ඉන්පසු ඔබටත් කන්න පුළුවනැ’ යි කියන්නේ නැති ද? 9එම දාසයා තමන්ට අණ කළ දෑ ඉටු කළ විට, ඔහු ඔහුට ස්තුති කරනවා ද? 10එසේ ම ඔබත්, ඔබට නියම කළ සියල්ල ඉටු කළ පසු, ‘අප නො වටිනා දාසයෝ ය; අප කළේ අපගේ කාරිය ඉටු කිරීම පමණ ය’ කියා කියන්නැ” යි පැවසූ සේක.
කුෂ්ඨ රෝගී දස දෙනා සුව කිරීම
11යේසුස්වහන්සේ යෙරුසලම බලා ගමන් ගත්තේ සමාරිය හා ගලීලය යා වෙන දේශ සීමාව ඔස්සේ ය. 12උන්වහන්සේ එක් ගමකට ඇතුළු වූ කල, කුෂ්ඨ රෝගීන් දහ දෙනෙක් උන්වහන්සේට හමු විණ. ඔවුහු ඈතින් නැවතී සිට, 13උස් හඬ නගා, “යේසුස් ආචාරිනි, අපට අනුකම්පා කරන්නැ” යි කීහ.
14උන්වහන්සේ ඔවුන් දෙස බලා, “ගොස්, පූජකයින් වෙත පෙනී සිටින්නැ” යි ඔවුන්ට පැවසූ සේක. එසේ යන අතරේ ඔවුහු පවිත්‍ර කරන ලදහ.
15ඔවුන් අතරින් කෙනෙක්, තමන් සුවය ලද වග දැක, හඬ නගා, දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්, ආපසු හැරී අවුත්, 16යේසුස්වහන්සේගේ පාමුල මුහුණ ඔබා, උන්වහන්සේට ස්තුති කළේ ය. ඔහු සමාරීය වැසියෙකි.
17එවිට යේසුස්වහන්සේ, “දහ දෙනා ම පවිත්‍ර වූවා නො වේ ද? අනෙක් නවදෙනා කොහේ ද? 18දෙවියන්වහන්සේට ගෞරව පුදන්නට මේ විජාතිකයා මිස වෙන කෙනකු ආපසු ආවේ නැති ද?” කියා, 19ඒ මිනිසා අමතමින්, “නැගිට, ඔබේ ගමන යන්න. ඔබේ ඇදහිල්ල ඔබ සුව කළා” යි පැවසූ සේක.
දෙවියන්වහන්සේගේ රාජ්‍යය පැමිණීම
20දෙවියන්වහන්සේගේ රාජ්‍යය කවදා ඒදැයි වරක් පරිසිවරුන් විසින් අසන ලදුව, උන්වහන්සේ පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යය, නිරීක්ෂණයට ලකුණු සමඟ පැමිණෙන්නේ නැත. 21‘මෙන්න, එය මෙතැන ය; අන්න අතැන යැ’ යි ඔවුන් කියන්නේ නැත. මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබ අතරේ යැ#17:21 හෙවත් ඇතුළේ ය” යි පැවසූ සේක.
22ඉන්පසු ගෝලයින් ඇමතූ උන්වහන්සේ, “මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ දවස්වලින් එකක් දකින්නට ඔබ ආශා වන කාලයක් පැමිණේ; එහෙත් ඔබ එය දකින්නේ නැත. 23‘අතැන බලන්න; මෙතැන බලන්න’ කියා ඔවුන් ඔබට කියනු ඇත. ඒ අසා පිටතට නො යන්න; ඔවුන් පස්සේ නො යන්න. 24මන්ද විදුලිය, එක් කොනක සිට අනෙක දක්වා අහස බබළවා, එළිය කරන්නේ යම් සේ ද, මනුෂ්‍ය පුත්‍රයාණන් ද උන්වහන්සේගේ දවසේදී එසේ ම වන සේක. 25එහෙත් පළමු කොට, උන්වහන්සේ බොහෝ දේ විඳින්නටත්, මේ පරම්පරාව විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නටත් යුතු ව ඇත.
26“නෝවාගේ දවස්වලදී සිදු වූ සේ මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ දවස්වලදීත් සිදු වෙයි. 27නෝවා නැවට ඇතුළු වූ දවස දක්වා මිනිසුන් කමින් ද බොමින් ද ආවාහ කර ගනිමින් ද විවාහ වෙමින් ද වුන්හ. ජලගැල්ම ගලා ඔවුන් සියල්ලන් විනාශ කළේ ය.
28“ලොත්ගේ දවස්වල වූයේත් එයමයි. ඔවුහු කමින් හා බොමින් ද මිලයට ගනිමින් හා විකුණමින් ද වගා කරමින් හා ගොඩ නගමින් ද කල් යැවූහ. 29එහෙත් ලොත් සොදොමෙන් පිට වූ දවසේ ම අහසින් ගිනි හා ගෙන්දගම් වැසි වැස ඔවුන් සියල්ලන් විනාශ කර දැමී ය.
30“මනුෂ්‍ය පුත්‍රයාණන් ප්‍රකාශ වන දවසේ ද ඒ අයුරින් සිදු වන්නේ ය. 31ඒ දවසේ ගෙයි පියස්සේ සිටින්නා, ගෙතුළ ඇති තම බඩු ගන්නට පහළ නො බසීවා. එසේ ම, කෙතේ සිටින්නා ද ආපසු නො ඒවා. 32ලොත්ගේ භාර්යාව සිහි කරන්න! 33තම ජීවිතය රැක ගන්නට සොයන්නා, එය අහිමි කර ගනී; එහෙත් තම ජීවිතය අහිමි කර ගන්නා, එය රැක ගනී. 34මම ඔබට කියමි, ඒ රැයේදී දෙදෙනකු එක් යහනක නිදා සිටිනු ඇත; ඉන් කෙනෙක් ගනු ලැබේ; අනෙකා හැර දැමේ. 35ස්ත්‍රීන් දෙදෙනකු එක් ව ධාන්‍ය අඹරමින් සිටිනු ඇත; එක් තැනැත්තියක් ගනු ලැබේ; අනෙක් තැනැත්තිය හැර දැමේ” යි පැවසූ සේක. 36මිනිසුන් දෙදෙනකු කෙතේ සිටිනු ඇත. ඉන් කෙනෙක් ගනු ලැබේ; අනෙකා හැර දමා යනු ලැබේ.#17:36 ඇතැම් පුරාණ අත් පිටපත්වල මෙම පදය ඇතුළත් නො වේ.
37එවිට ගෝලයෝ, “කොහේ ද ස්වාමිනි?” යි ඇසූහ.
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මළකුණ කොතැන ද එතැනට ගිජු ලිහිණි රැස් වෙති” යි කී සේක.

اکنون انتخاب شده:

ලූක් 17: SCV

های‌لایت

به اشتراک گذاشتن

مقایسه

کپی

None

می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید