ලෙවී 19

19
විවිධ ආඥා හා නියමයන්
1 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 2“සමස්ත ඉශ්‍රායෙල් ජන සමාජයට කතා කොට, මෙසේ කියන්න: ‘ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ වන මා ශුද්ධ බැවින් ඔබත් ශුද්ධ ව සිටින්න.
3“ ‘ඔබ හැම කෙනෙක් ම තම මවටත්, තම පියාටත් ගෞරව කළ යුතු ය. ඔබ මගේ සබත් පැවැත් විය යුතු ය. ඔබගේ දෙවියන්වහන්සේ වන මම ස්වාමින්වහන්සේ ය.
4“ ‘පිළිම රූප වෙත නො හැරෙන්න. ඔබට ලෝහ වාත්තු දෙවිවරුන් සාදා නො ගන්න. ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය.
5“ ‘ස්වාමින්වහන්සේට ඔබ ශාන්ති පූජාවක් ඔප්පු කරන කල, එය ඔබ උදෙසා පිළිගැනෙනා පරිදි ඔප්පු කරන්න. 6එය පූජා කළ දවසේ හෝ ඊට පසු දා එය අනුභව කළ යුතු ය. තුන් වන දවස දක්වා ඉතිරි වන ඒවා දවා දැමිය යුතු ය. 7තුන් වන දවසේ එයින් අනුභව කළහොත් එය පිළිකුලකි. එම පූජාව ද නො පිළිගැනේ. 8යමෙක් එය අනුභව කළහොත්, ඔහු ස්වාමින්වහන්සේට කැප ශුද්ධ දෑ දූෂ්‍ය කළ බැවින්, එහි ආදීන ව ඔහු විඳිය යුතු ය. ස්වකීය ජනයා වෙතින් ඔහු සිඳ දැමිය යුතු ය.
9“ ‘ඔබගේ කෙත් වත්හි අස්වනු නෙළන කල, ඉඩමේ කෙළවර දක්වා ම නෙළීම නො කරන්න. වැටුණු, ඉතිරිවුණු කරල් ද එකතු නො කරන්න. 10අස්වනු නෙළූ පසු වැටී ඇති මිදි ඇහිඳින්නට මිදි වත්තට ආපසු නො යන්න. ඒවා දුගියනට හා විදෙස්සනට ගන්නට හරින්න. මම ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය.
11“ ‘සොරකම් නො කරන්න.
“ ‘බොරු නො කියන්න.
“ ‘එකිනෙකා නො රවටන්න.
12“ ‘මගේ නාමයෙන් බොරුවට නො දිවුරන්න. එසේ දිවිරීමෙන් ඔබේ දෙවියන්වහන්සේගේ නාමය කෙලෙසේ. මම ස්වාමින්වහන්සේ ය.
13“ ‘ඔබේ අසල්වැසියාට අයුක්තියක් නො කරන්න. ඔහුගෙන් පැහැර ගැනීම නො කරන්න.
“ ‘කම්කරුවකුගේ කුලිය ගෙවීම පසු දා උදය වන තුරු පමා නො කරන්න.
14“ ‘බිහිරි අයට ශාප නො කරන්න. අන්ධ අය යන මගෙහි බාධක නො තබන්න. ඔබේ දෙවියන්වහන්සේට භය වන්න. මම ස්වාමින්වහන්සේ ය.
15“ ‘යුක්තිය නො පෙරළන්න; දුප්පතාට පක්ෂග්‍රාහීවීම හෝ බලවතාට විශේෂ සැලකිලි දැක්වීම හෝ නො කරන්න. ඔබේ අසල්වැසියා අතර විනිශ්චයේදී යුක්තිය පසිඳලන්න.
16“ ‘ඔබේ ජනයා අතරේ තැන තැන අපහාස කතා නො පතුරවන්න.
“ ‘ඔබේ අසල්වැසියාගෙන් ජීවිතය උපද්‍රවයට පත් විය හැකි කිසිවක් නො කරන්න. මම ස්වාමින්වහන්සේ ය.
17“ ‘ඔබේ සහෝදරයා ගැන වෛරයක් ඔබේ සිතේ තබා නො ගන්න. ඔබේ අසල්වැසියාට ඔහුගේ වරද ගැන සෘජු ව කතා කරන්න. එවිට වරදට ඔබ හවුල් නො වේ.
18“ ‘පළිගැනීමෙන් වළකින්න. එකිනෙකාට එරෙහිව වෛරයක් තබා නො ගන්න. ඔබට සේ ම ඔබේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න. මම ස්වාමින්වහන්සේ ය.
19“ ‘මගේ නියමයන් රක්ෂා කරන්න.
“ ‘දෙවර්ගයක සතුන් එකට පට්ටිගැස්වීම නො කරන්න.
“ ‘දෙවර්ගයක බීජ ඔබේ කෙතේ නො සිටුවන්න.
“ ‘දෙවර්ගයක නූලෙන් වියන ලද ඇඳුම් නො අඳින්න.
20“ ‘බිරිඳක වශයෙන් යමකුට මිලයට දෙන්නට ගිවිසි වහල් ස්ත්‍රියක, එසේ ගිවිසි අය විසින් මිලයට ගන්නට හෝ නිදහස් කර හරින්නට පෙර යමෙක් ඇය හා ලිංගික සේවනයේ යෙදේ නම්, ඔවුනට දඬුවම් දිය යුතු ය. එහෙත් ඇය නිවහල් තැනැත්තියක නො වන බැවින්, ඔවුන් මරා නො දැමිය යුතු ය. 21කෙසේ වුව ද ඒ මිනිසා වරද නිවාරණ පූජාවක් වශයෙන් බැටළුවකු හමුවීමේ කූඩාරම් දොරකඩට ස්වාමින්වහන්සේ වෙත ගෙන ආ යුතු ය. 22ඔහු කළ පාපය උදෙසා වරද නිවාරණ පූජා බැටළුවා ගෙන, පූජකයා ස්වාමින්වහන්සේ අබියස ඔහු උදෙසා පාප වන්දි නිවාරණය සැලසිය යුතු ය. එවිට ඔහුගේ පාපය කමා කෙරේ.
23“ ‘නුඹලා දේශයට ඇතුළු ව, අහරට පලතුරු ගස් වැවූ කල, ඒවායේ පල අකැප සේ සලකන්න. අවුරුදු තුනකට එම පල අකැප වග සලකන්න. ඒවා අනුභව නො කරන්න. 24සතර වන අවුරුද්දේ ස්වාමින්වහන්සේට ප්‍රශංසා පූජාවක් වශයෙන් එහි සියලු පල ශුද්ධ බවට පත් වේ. 25පස් වන අවුරුද්දේ ඔබට ඒ පලතුරු කන්නට පුළුවන. මෙපරිදි ඔබගේ පලදාව වැඩි වෙයි. මම, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය.
26“ ‘ලේ සමඟ තිබියදී කවර හෝ මසක් අනුභව නො කරන්න.
“ ‘නිමිති අංජනම් හෝ මන්තර ගුරුකම් භාවිත නො කරන්න.
27“ ‘ඔබගේ නළල දෙපස හිසකේ හෝ ඔබේ රැවුල් අග්ගිස් හෝ කපා නො දමන්න.
28“ ‘මරණයකදී ශෝක වීමට ඔබේ සිරුර කපා ගැනීම හෝ ඔබේ හමෙහි පච්ච කෙටීම හෝ නො කරන්න. මම ස්වාමින්වහන්සේ ය.
29“ ‘ඔබේ දියණිය කෙලෙසෙන පරිදි ඇය වෙසඟනක නො කරන්න. එසේ කළහොත් දේශය ද වේශ්‍යාකමට හැරී, දුෂ්ටකමින් පිරී යනු ඇත.
30“ ‘මගේ සබත් පවත්වමින් මගේ ශුද්ධස්ථානයට ගෞරව දක්වන්න. මම ස්වාමින්වහන්සේ ය.
31“ ‘පේන කියන්නන් වෙත නො හැරෙන්න; ආත්ම බන්ධනකරුවන් සොයා නො යන්න. ඒවායින් සිදු වන්නේ ඔබ අපවිත්‍රවීම ය. මම, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය.
32“ ‘වැඩිමහල්ලන් ඉදිරියේ නැගිට සිටින්න; වැඩිහිටියනට ගෞරව කරන්න. ඔබේ දෙවියන්වහන්සේට භය පක්ෂපාත වන්න. මම ස්වාමින්වහන්සේ ය.
33“ ‘විදෙස්සකු ඔබේ දේශයේ ඔබ අතරේ වාසය කරන කල, ඔහුට වෙනස්කමක් නො කරන්න. 34ඔබ සමඟ වාසය කරන පිටරැටියාට සැලකිය යුත්තේ දේශයේ උපන් පුරවැසියකුට පරිද්දෙනි. ඔබත් ඊජිප්තුවේදී විදෙස්සන් ව සිටි බැවින්, ඔබට මෙන් ම ඔවුන්ටත් ප්‍රේම කළ යුතු ය. මම ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය.
35“ ‘දිග හෝ බර හෝ ප්‍රමාණය හෝ යන මැනුම් කිරුම්වලදී වංචනික මිමි භාවිත නො කරන්න. 36නිවැරදි තරාදි, නිවැරදි පඩි, නිවැරදි ඒෆා සහ නිවැරදි හින#19:36 නිවැරදි හින එනම් දියර වර්ග මනින මිම්මකි. ඔබ වෙත තිබිය යුතු ය. ඊජිප්තු දේශයෙන් පිටතට ඔබ ගෙන ආ මම ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය.
37“ ‘මගේ නියෝග ද මගේ නියමයන් ද පිළිපදින්න: ඒවා අනුගමන කරන්න. මම ස්වාමින්වහන්සේ යැ’ යි” පැවසූ සේක.

اکنون انتخاب شده:

ලෙවී 19: SCV

های‌لایت

به اشتراک گذاشتن

مقایسه

کپی

None

می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید