යොහන් 17

17
යේසුස්වහන්සේගේ යාච්ඤාව
1එසේ පැවසූ යේසුස්වහන්සේ ස්වර්ගය දෙස නෙත් යොමා, මෙසේ පැවසූ සේක.
“පියාණෙනි, පැය පැමිණිලා. පුත්‍රයා විසින් ඔබවහන්සේ මහිමයට පමුණු වන පිණිස, ඔබගේ පුත්‍රයාණන් මහිමයට පැමිණෙවුව මැනව. 2මන්ද පුත්‍රයාණන්ට ඔබ දුන් සියලු දෙනාට සදාතන ජීවනය දෙන පිණිස, සකල මිනිස් වර්ගයා කෙරෙහි ඔබවහන්සේ පුත්‍රයාණන්ට ආධිපත්‍යය දුන් සේක. 3සදාතන ජීවනය මෙයයි; එක ම, සත්‍යම දෙවියන්වහන්සේ වන ඔබ හා ඔබ එවූ තැනැත්තාණන් වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් හැඳින ගැනීමයි. 4කරන්නට ඔබ මට පැවරූ කාරිය සම්පූර්ණ කර, මම පොළොවේදී ඔබ මහිමයට පැමිණ වීමි. 5එබැවින් දැන් පියාණෙනි, ලෝකය ඇතිවීමට පළමුවෙන් ඔබ සමඟ මට තිබූ තේජෝ මහිමයෙන් ඔබ ඉදිරියේ මා මහිමයට පැමිණෙවුව මැනව.
ශ්‍රාවකයින් ගැන යාච්ඤාව
6“ලෝකයෙන් ඔබ මට දුන් ජනයාට මම ඔබගේ නාමය ප්‍රකාශ කළෙමි. ඔවුන් ඔබවහන්සේගේ ය. ඔබ ඔවුන් මට දුන් සේක. ඔවුහු ද ඔබගේ වචනය රක්ෂා කළෝ ය. 7ඔබ මට දුන් හැම දෙයක් ම පැමිණුනේ ඔබවහන්සේ වෙතින් වග දැන් ඔවුහු දනිති. 8මන්ද ඔබ මට දුන් ඔබගේ වචන මම ඔවුන්ට දුනිමි. ඒවා පිළිගත් ඔවුහු, මා ඔබ වෙතින් ම ආ වග සැබවින් ම දැන, ඔබ ම මා එවූ බව විශ්වාස කළෝ ය. 9මම ඔවුන් උදෙසා යාච්ඤා කරමි. ලෝකයා උදෙසා යාච්ඤා නො කරමි. එනමුත් ඔබ මට දුන්නවුන් උදෙසා යාච්ඤා කරමි. මන්ද ඔවුන් ඔබවහන්සේගේ ය. 10මගේ හැම දෙයක් ම ඔබගේ ය; ඔබගේ හැම දෙයක් ම මගේ ය. ඔවුන් තුළ මම මහිමයට පැමිණ සිටිමි. 11තවදුරටත් මා ලෝකයේ සිටින්නේ නැත. එහෙත් මොවුහු ලෝකයේ ම සිටිති. මම ඔබවහන්සේ වෙත එන්නෙමි. ශුද්ධ වූ පියාණෙනි, අප ඒකත්වයක් ව සිටින්නා සේ, මොවුන් ද ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් ඔබගේ නාමයෙන්, ඔවුන් සුරකිනු මැනවි. 12මා ඔවුන් සමඟ සිටියදී ඔබ මට දුන් නාමයෙන් මම ඔවුන් සුරැකීමි. මම ඔවුන් ආරක්ෂා කළෙමි. ශුද්ධ ලියවිල්ල ඉෂ්ට වන පිණිස, විනාශයේ පුත්‍රයා හැර, අන් කිසි කෙනකු නැති වුණේ නැත.
13“මම දැන් ඔබ වෙත එන්නෙමි. එහෙත් මෙලොවේදී මා මේ දෑ පවසන්නේ, මගේ ප්‍රීතිය ඔවුන් තුළ සම්පූර්ණ වන පිණිසයි. 14මම ඔවුන්ට ඔබගේ වචනය දුනිමි. මා ලෝකයෙන් නො වන්නා සේ ම, ඔවුන් ද ලෝකයට අයිති නැති නිසා ලෝකයා ඔවුන්ට ද්වේෂ කළහ. 15ලෝකයෙන් ඔවුන් ඉවත් කර ගන්නැයි මා ඔබෙන් ඉල්ලන්නේ නැත. එහෙත් නපුරාගෙන් ඔවුන් ආරක්ෂා කරන ලෙස ඉල්ලමි. 16මා ලෝකයෙන් නො වන්නා සේ ම, ඔවුන් ද ලෝකයෙන් නො වේ. 17සත්‍යතාවෙන් ඔවුන් පවිත්‍ර කළ මැනව; ඔබගේ වචනය සත්‍යතාවයි. 18ඔබ ලෝකය තුළට මා එවූ අයුරින්, මමත් ලෝකය වෙත ඔවුන් යැවීමි. 19සත්‍යතාවෙන් ඔවුන් කැප වන පිණිස මම ඔවුන් උදෙසා මා කැප කර ගනිමි.
සියලු ඇදහිලිවතුන් ගැන යාච්ඤාව
20“මොවුන් උදෙසා පමණක් නො ව, මොවුන්ගේ වචනය හේතු කොට මා තුළ විශ්වාස කරන අය ගැනත් මගේ යාච්ඤාව, 21පියාණෙනි, ඔබ මා තුළත්, මා ඔබ තුළත් සිටින අයුරින් ඔවුන් ද ඒකත්වයක් වේවා යන්නයි; මා එවුවේ ඔබවහන්සේ බව ලෝකයා විශ්වාස කරන පිණිස, ඔවුන් ද අප තුළ වේවා යන්නයි. 22අප ඒකත්වයක් ව සිටින්නා සේ ඔවුන් ද ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් මහිමය මා ඔවුන්ට දුන්නේ, 23මා ඔවුන් තුළත්, ඔබ මා තුළත් සිටීමෙන් ඔවුන් සම්පූර්ණ ඒකත්වයට පත්වීමෙන්, ඔබ මා එවූ බවත්, ඔබ, මට මෙන් ම මොවුන්ට ද ප්‍රේම කළ බවත් ලෝකයා දැනගන්නා පිණිස ය.
24“පියාණෙනි, ඔබ මට දුන් මොවුන් ද මා සිටිනා තැන මා සමඟ සිටිනවාට මම ආශා වෙමි. එසේ වන්නේ ලෝකය අත්තිවාරම් ලීමට පෙර, ඔබ මට ප්‍රේම කළ බැවින්, ඔබ මට දුන් මහිමය ඔබ මට දුන් මොවුන් ද දකින පිණිස ය.
25“ධර්මිෂ්ඨ පියාණෙනි, ලෝ වැසියන් ඔබ හැඳින ගත්තේ නැති නමුදු, මම ඔබ හඳුනමි. ඔබ මා එවූ බව මොවුහු ද දැන ගත්හ. 26ඔබගේ නාමය මම ඔවුන්ට දැනගන්නට සැලැස්වීමි. මම එය නොකඩව දැනගන්නට සලසමි. එසේ කරන්නේ ඔබ මට ප්‍රේම කළ ප්‍රේමය ම මොවුන් තුළ වන පිණිසත්, මා ද මොවුන් තුළ වන පිණිසත් ය.”

اکنون انتخاب شده:

යොහන් 17: SCV

های‌لایت

کپی

مقایسه

به اشتراک گذاشتن

None

می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید