යොහන් 15
15
මිදි වැල, අතු සහ පල
1“සැබෑ මිදි වැල මමයි; වැවිලිකරුවාණෝ මගේ පියාණන්වහන්සේයි. 2මා තුළ ඇති පල නො දරන හැම අත්තක් ම උන්වහන්සේ කපා හරින සේක්, පල දරන අතු හැම වඩාත් පල දරන පිණිස කප්පාදු කරන සේක#15:2 කප්පාදු කරන සේක හෙවත් පවිත්‍ර කරන සේක. 3මා ඔබට පැවසූ වචනය හේතු කොට දැනටමත් ඔබ පවිත්‍ර ය. 4මා තුළ රැඳී පැවත සිටින්න; මමත් ඔබ තුළ රැඳී සිටින්නෙමි. මිදි වැලේ නො රඳා, ස්වයං ව පල දැරීමට අත්තකට නො හැකිවා සේ ම, මා තුළ රඳා පැවත සිටියහොත් මිස, පල දරන්නට ඔබටත් බැරි ය.
5“මිදි වැල මමයි; එහි අතු ඔබයි. යමෙක් මා තුළ රඳා පැවත සිටින්නේ ද, මා ඔහු තුළ සිටින්නේ ද, බොහෝ පල දරන්නේ ඔහු ය. මගෙන් වෙන් ව කිසිවක් කරන්නට ඔබට නො හැකි ය. 6මා තුළ නො රඳන කවරකු වුවත් ඉවත හෙළනු ලැබ, වියළී යන අත්තක් වැන්න. එවැනි අතු එකතු කර, ගින්නේ හෙළා දමනු ලැබ, දවා දමනු ලැබේ. 7ඔබ මා තුළ රඳා පවතී නම්, මගේ වචන ඔබ තුළ රඳා පවතී නම්, ඔබ කැමති ඕනෑ ම දෙයක් ඉල්ලන්න; එවිට ඒ දේ ඔබට කර දෙනු ලැබේ. 8මගේ පියාණන්වහන්සේ මහිමයට පැමිණෙන්නේ, ඔබ බොහෝ පල දරා, මගේ ගෝලයන් වග සනාථ කිරීමෙනි.
9“පියාණන්වහන්සේ මට ප්‍රේම කළ සේ, මමත් ඔබට ප්‍රේම කළෙමි. මගේ ප්‍රේමයේ රැඳී සිටින්න. 10මා, මගේ පියාණන්වහන්සේගේ ආඥා පිළිපදිමින්, උන්වහන්සේගේ ප්‍රේමයේ රඳා සිටි අයුරින්, ඔබත් මගේ ආඥා පිළිපදින්නේ නම්, මගේ ප්‍රේමයේ රඳා සිටිනු ඇත. 11මේ දේවල් මා ඔබට කීවේ, මගේ ප්‍රීතිය ඔබ තුළ වන පිණිස හා ඔබේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ය. 12මගේ ආඥාව මෙයයි: මා ඔබට ප්‍රේම කළ ලෙස, ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. 13තම මිතුරන් උදෙසා ජීවිතය පිදීමට වඩා ශ්‍රේෂ්ඨ ප්‍රේමයක් කිසිවකුටත් තිබිය නො හැක. 14මා ඔබට අණ කළ දෑ ඔබ පිළිපදින්නේ නම්, ඔබයි මගේ මිත්‍රයෝ. 15ඔබ දාසයින් යයි තවදුරටත් මා කියන්නේ නැත. මන්ද තම ස්වාමියා කරන්නේ මොනවාදැයි දාසයා දන්නේ නැත. එනමුත් ඔබ මගේ මිත්‍රයින් යැයි මා කීවේ මගේ පියාණන්ගෙන් මා ඇසූ හැම දෙයක් ම මා ඔබට දැනගන්නට සැලසූ නිසයි. 16ඔබ, මා තෝරා ගත්තා නො වේ. ඔබ තෝරා, පත් කළේ මමයි. එසේ කළේ, මගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් ඔබ ඉල්ලන කවර දෙයක් වුවත්, උන්වහන්සේ ඔබට දෙන පිණිසත්, ඔබ ගොස් පල දරන පිණිසත්, ඔබේ ඒ පල පවතින පිණිසත් ය. 17මේ දේවල් මා ඔබට ආඥා කරන්නේ, ඔබ එකිනෙකාට ප්‍රේම කරන පිණිස ය.
ලෝකයාගේ ද්වේෂය
18“ලෝකයා ඔබට ද්වේෂ කරන විට, ඔබට ද්වේෂ කරන්නට පළමුවෙන් ඔවුන් මට ද්වේෂ කළ වග දැනගන්න. 19ඔබ ලෝකයට අයිති නම්, තමන්ගේ ම එකකුට සේ ලෝකයා ඔබට ප්‍රේම කරනු ඇත. එහෙත් ලෝකයා ඔබට වෛර වන්නේ, ඔබ ලෝකයෙන් නො වන නිසාත්, මා ලෝකයෙන් ඔබ තෝරාගත් නිසාත් ය. 20‘දාසයා තම ස්වාමියාට වඩා උතුම් නැතැ’#15:20 යොහන් 13;16 යි මා කී වචනය සිහි කරන්න. ඔවුහු මට පීඩා කළෝ නම්, ඔබටත් පීඩා කරනු ඇත. ඔවුහු මගේ වචන පිළිපැද්දෝ නම්, ඔබගේ වචනත් පිළිපදිනු ඇත. 21ඔවුන් මේ සියලු දෑ ඔබට කරන්නේ, මගේ නාමය නිසා ය. මන්ද ඔවුන් මා එවූ තැනැන්වහන්සේ හඳුනන්නේ නැත. 22මා නො පැමිණියා නම්, හා ඔවුන්ට නො පැවසුවා නම් පාපය ගැන ඔවුන් වරදකරුවන් නො වේ. එහෙත් දැන් තම පාපය ගැන නිදහසට කරුණු ඔවුන්ට නැත. 23මට ද්වේෂ කරන කවරෙක් වුවත්, මගේ පියාණන්වහන්සේට ද ද්වේෂ කරයි. 24කිසි කෙනකු නො කළ වැඩ මා ඔවුන් මධ්‍යයේ සිදු නො කළා නම්, පාපය ගැන ඔවුන් වරදකරුවන් නො වේ. එනමුත් දැන් ඔවුහු ඒ දෑ දැක, මටත්, මගේ පියාණන්වහන්සේටත් යන දෙදෙනාට ම ද්වේෂ කරති. 25එහෙත් එසේ වූයේ, ‘අහේතුක ව ඔවුහු මට ද්වේෂ කළහ’#15:25 ගීතා 35;19;69;4 යන ඔවුන්ගේ ව්‍යවස්ථාවේ ලියා ඇති වචනය ඉෂ්ට විය යුතු නිසා ය.
ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියා
26“පියාණන්වහන්සේ වෙතින් මා ඔබ වෙත එවන සහනදායකයාණන්, පියාණන්වහන්සේ වෙතින් නික්ම එන සත්‍යතාවයේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මා ගැන සාක්ෂි දෙන සේක. 27මුල පටන් ම ඔබ මා සමඟ සිටි නිසා, ඔබත් මා ගැන සාක්ෂි දැරිය යුතුයි.
اکنون انتخاب شده:
යොහන් 15: SCV
هایلایت
کپی
مقایسه
به اشتراک گذاشتن
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.