උත්පත්ති 48

48
මනස්සේ හා එප්‍රායිම්
1කලකට පසු, “අන්න, ඔබේ පියා අසනීපයෙනැ” යි යෝසෙප්ට දන්වනු ලැබිණ. එවිට ඔහු තම පුතුන් දෙදෙනා වන මනස්සේ හා එප්‍රායිම් තමා සමඟ කැඳවාගෙන ගියේ ය. 2එවිට, “අන්න, ඔබේ පුත් යෝසෙප් ඔබ බලන්න ඇවිල්ලා” යි යාකොබ්ට දන්වන ලදී. එවිට ඉශ්‍රායෙල් තම ශක්තිය වඩවා, යහනෙහි හිඳ ගත්තේ ය.
3යාකොබ්, යෝසෙප් අමතමින්, “සර්ව පරාක්‍රම දෙවියන්වහන්සේ කානාන් දේශයේ ලූස්හි දී මට පෙනී, එහිදී මට ආශිර්වාද කළ සේක්, 4‘මෙන්න මම ඔබ සඵල කර, ගණනින් ඔබ වර්ධන කරන්නෙමි; මම ඔබ ජන සමාජයක් කරන්නෙමි; ඔබෙන් පසු, ඔබේ දරු පරපුරට මම මේ දේශය සදාතනික උරුමයක් කොට දෙන්නෙමි’ යි කී සේක.
5“දැන්, ඔබේ පුතුන් දෙදෙනා, මා ඔබ වෙත ඊජිප්තුවට එන්නට කලින්, ඊජිප්තු දේශයේදී ඔබට උපන් පුතුන් දෙදෙනා, මගේ ම පුතුන් සේ සැලකිය යුතුයි. රූබෙන් හා සිමියොන් සේ ම එප්‍රායිම් හා මනස්සේත් මගෙයි. 6ඔවුන්ට පසුව, ඔබට උපදින දරුවන් ඔබගෙයි. උරුමය ලැබීමට ඔවුන් හඳුන්වනු ලබන්නේ ඔවුන්ගේ සහෝදරයින්ගේ නාම යටතේයි. 7මා ගැන නම්, මා පදන්හි සිට එද්දී, ගමනේ අතර තුර, කානාන් දේශයේ එෆ්‍රාතාට මද දුරක් ව තිබියදී, මා ශෝකයට පත් කරමින්, රාඛෙල් මියැදුණා. එබැවින් එෆ්‍රාතාට (එනම් බෙත්ලෙහෙමට) යන මාවත පසෙක, මා එහිදී ඇය භූමදාන කළා” යි කීවේ ය.
8ඉන්පසු යෝසෙප්ගේ පුතුන් දුටු ඉශ්‍රායෙල්, “මේ කවුරු දැ?” යි ඇසී ය.
9“දෙවියන්වහන්සේ මට මෙහිදී දුන් පුත්තු මොවුහු” යි යෝසෙප් තම පියාට කීවේ ය.
එවිට ඉශ්‍රායෙල්, “මා ඔවුන්ට ආශිර්වාද කරන පිණිස, ඔවුන් මා ළඟට ගෙනෙන්නැ” යි කීවේ ය.
10මහලු වයස නිසා ඉශ්‍රායෙල්ගේ ඇස් දුර්වල ව, නො පෙනෙන තත්වයකට ඔහු පත් ව සිටියේ ය. එබැවින් යෝසෙප් ඔහු ළඟට ඔවුන් ගෙන ගියේ ය. ඔහු ඔවුන් සිප, වැලඳ ගත්තේ ය.
11එවිට ඉශ්‍රායෙල්, යෝසෙප් අමතමින්, “කිසි දවසක ඔබේ මුහුණ යළි දකින්නට ලැබෙතැයි මා සිතුවේ නෑ. එහෙත් දැන් ඔබේ දරුවන්ගේ මුහුණු දකින්නටත් දෙවියන්වහන්සේ මට ඉඩ සලසා දී තියෙනවා” යි කීවේ ය.
12ඉන්පසු යෝසෙප්, තම පියාගේ දෙදණ වෙතින් ඔවුන් පසෙකට ගෙන, මුහුණ බිමට නමා ආචාර කළේ ය. 13ඉන්පසු යෝසෙප් ඔවුන් දෙදෙනා අතින් ගෙන, එප්‍රායිම්, ඉශ්‍රායෙල්ගේ වමත දෙසට සිටින සේ ඔහු තම දකුණතින් ද මනස්සේ, ඉශ්‍රායෙල්ගේ දකුණත දෙසට සිටින සේ ඔහු තම වමතින් ද ගෙන, ඉශ්‍රායෙල් ළඟට ඔවුන් ගෙන ගියේ ය. 14එහෙත් ඉශ්‍රායෙල් අත් මාරුකොට, තම දකුණත දිගු කොට බාලයා වූ එප්‍රායිම්ගේ හිස මත තබා, මනස්සේ කුලුඳුලා වුව ද, ඔහුගේ හිස මත තම වමත තැබී ය.
15ඉන්පසු ඔහු යෝසෙප්ට ආශිර්වාද කරමින්,
“මගේ පියවරුන් වන ආබ්‍රහම් හා ඊසාක්
හැසිරුණු අභිමුඛය හිමි දෙවියන්වහන්සේ,
මේ දවස දක්වා මගේ ජීවිතය පුරා
මගේ එඬේරාණන් වූ දෙවියන්වහන්සේ,
16සියලු උවදුරින් මා ගැලවූ දේව දූතයාණන්වහන්සේ,
මේ දරුවනට ආශිර්වාද කරන සේක්වා!
මගේ නාමයෙන් ඔවුහු අමතනු ලබත්වා!
මගේ පියවරුන් වන ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද නාමය ලබත්වා!
මේ මිහිතලය මත
ඔවුහු අතිශයෙන් වැඩි වෙත්වා!” යි
පැවසී ය.
17තම පියා, ඔහුගේ දකුණත එප්‍රායිම්ගේ හිස මත තබනු දුටු යෝසෙප් ඊට රිසි නො වී, එප්‍රායිම්ගේ හිස වෙතින් අත ඉවත් කර, මනස්සේගේ හිස මත තබන පිණිස තම පියාගේ අත ඇල්ලී ය. 18යෝසෙප් තම පියාට කතා කොට, “එහෙම නො වේ මගේ පියාණෙනි, මොහුයි කුලුඳුලා. ඔබේ දකුණත මොහුගේ හිස මත තබන්නැ” යි කීවේ ය.
19එහෙත් ඔහුගේ පියා එය ප්‍රතික්ෂේප කරමින්, “මා දන්නවා, මා පුත, මා දන්නවා. ඔහුත් ජනතාවක් වෙනවා ඇති; ඔහුත් ශ්‍රේෂ්ඨ වනු ඇති. එසේ වුවත් ඔහුගේ බාල සහෝදරයා ඔහුට වඩා ශ්‍රේෂ්ඨ වන්නේ ය. ඔහුගෙන් පැවත එන්නෝ ජාතීන් සමූහයක් බවට පත් වන්නෝ යැ” යි පැවසී ය. 20මෙසේ ඒ දවසේ ඔහු ඔවුන්ට ආශිර්වාද කරමින්,
“ඉශ්‍රායෙල්වරුන් ආශිර්වාද ප්‍රකාශ කිරීමට ඔබේ නම යොදා ගනිමින්,
‘දෙවියන්වහන්සේ, ඔබ එප්‍රායිම් හා මනස්සේ මෙන් වෙන්නට සලසත්වා!’ කියා කියනු ඇතැ” යි
කීවේ ය.
මෙසේ ඔහු එප්‍රායිම්, මනස්සේට පෙරටුවෙන් තැබී ය.
21ඉන්පසු ඉශ්‍රායෙල්, යෝසෙප්ට කතා කොට, “මා මිය යන්නට ළං වෙලා. දෙවියන්වහන්සේ නුඹලා සමඟ වන සේක්, නුඹලාගේ පියවරුන්ගේ දේශයට නුඹලා නැවත ගෙන යන සේක. 22අමෝරිවරුන් අතින් මගේ කඩුවෙන් හා මගේ දුන්නෙන් මා ලබා ගත් දෙයින්, ඔබේ සහෝදරයින්ට දුන්නාට වඩා එක් පංගුවක්#48:22 එක් පංගුවක් එනම් ෂෙකෙම් නමැති නගරය හෝ පෙදෙස ලෙස ද තේරුම් ගත හැක. මම නුඹට දෙන්නෙමි” යි කීවේ ය.

اکنون انتخاب شده:

උත්පත්ති 48: SCV

های‌لایت

به اشتراک گذاشتن

مقایسه

کپی

None

می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید