නික්මයාම 9
9
පස් වන පීඩාව - ගව සම්පත් වැනසීම
1ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “පාරාවෝ වෙත ගොස්, ඔහුට මෙසේ කියන්න: ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මට නමස්කාර කරන පිණිස මගේ ජනයාට යන්නට හරින්න. 2ඔබ ඔවුන්ට යන්නට නො දී, දිගට ම ඔවුන් රඳවා තබා ගතහොත්, 3ඔන්න! එළිමහනේ සිටින ඔබගේ සත්ව සම්පත වන ඔබගේ අශ්වයින්, බූරුවන් හා ඔටුවන් පිටත්, ඔබේ ගවයින්, ඔබේ එළුවන් හා බැටළුවන් පිටත් ස්වාමින්වහන්සේගේ හස්තය බිහිසුණු ව්‍යසනයක් පමුණුවනු ඇත. 4එහෙත්, ඉශ්‍රායෙල්වරුන් සතු එක සතකුදු නො මැරෙන පරිදි, ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් සත්ව සම්පත හා ඊජිප්තු සත්ව සම්පත අතර පැහැදිලි වෙනසක් දක්වනු ඇතැ’ ” යි පැවසූ සේක.
5 ස්වාමින්වහන්සේ ඊට වේලාවක් ද නියම කරමින්, “ස්වාමින්වහන්සේ හෙට දවසේ මේ දේශයේ එය සිදු කරනු ඇතැ” යි කී සේක. 6ඊට පසු දින ස්වාමින්වහන්සේ එය කළ සේක. ඊජිප්තුවරුන්ගේ මුළු සත්ව සම්පත මැරුණි. එහෙත් ඉශ්‍රායෙල්වරුන් සතු එක සතකුදු මැරුණේ නැත. 7පාරාවෝ මිනිසුන් යවා ඒ වග විභාග කර, ඉශ්‍රායෙල්වරුන්ගේ එක සතකුදු මැරී නැති වග දැනගත්තේ ය. එහෙත් ඔහුගේ හද දැඩි වූයෙන්, ඔහු ජනයාට යන්නට දුන්නේ නැත.
සවැනි පීඩාව - වණ සහිත ගඩු
8ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් හා ආරොන් ඇමතූ සේක්, “පෝරණුවෙන් අළු අහුරු ගෙන, පාරාවෝ ඉදිරිපිට මෝසෙස් එය අහසට විසි කරාවා. 9ඒවා ඊජිප්තු දේශය පුරා සිහින් දූවිල්ලකට හැරී, දේශය පුරා මිනිසුන්ගේ සේ ම, සතුන්ගේ ඇඟේ, වණ සහිත ගඩු හට ගන්වනු ඇතැ” යි පැවසූ සේක.
10එබැවින් ඔවුහු පෝරණුවකින් අළු ගෙන, පාරාවෝ අබියස සිටගත්හ. මෝසෙස් එය අහසට වීසි කළේ ය. එවිට මිනිසුන්ට ද සතුන්ට ද වණ සහිත ගඩු හට ගැනිණි. 11ගඩු නිසා ඉන්ද්‍රජාලිකයින්ට මෝසෙස් හමුවේ සිටගන්නට පවා බැරි විය. සියලු ඊජිප්තුවරුනට මෙන් ම ඉන්ද්‍රජාලිකයින්ට ද ගඩු දමා තිබිණි. 12එහෙත් ස්වාමින්වහන්සේ පාරාවෝගේ හදවත දැඩි කළ සේක. ස්වාමින්වහන්සේ මෝසෙස්ට කියා තිබූ පරිදි ඔහු ඔවුන්ට සවන් දුන්නේ නැත.
සත් වන පීඩාව - ගල් වැස්ස
13ඉන්පසු මෝසෙස් ඇමතූ ස්වාමින්වහන්සේ, “උදෙන් ම නැගිට, පාරාවෝ මුණ ගැසී, ඔහුට මෙසේ කියන්න. ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මට නමස්කාර කරන පිණිස, මගේ ජනයාට යන්නට හරින්න. 14නැතහොත් මෙවර මම, ඔබට එරෙහිවත්, ඔබේ නිලධාරීන්ට හා ඔබේ ජනයාට එරෙහිවත් මගේ ව්‍යසන සියල්ල ම එවන්නෙමි. මා හා සමාන කෙනෙක් මේ මිහි පිට තවත් නැති වග එවිට ඔබ දැනගන්නවා ඇත. 15මන්ද ඔබත්, ඔබේ ජනයාත් මේ වන විට පොළොවෙන් තුරන් වී යන පරිදි, මගේ අත දිගු කොට, ව්‍යසනයකින් ඔබට පහර දීමට මට හැකි ව තිබිණ. 16එහෙත් මා ඔබට ජීවත් වන්නට ඉඩ දීමේ අරමුණ වූයේ, මගේ බලය ඔබට විදහා පෑමටත්, මගේ නාමය පොළොව මුළුල්ලෙහි ප්‍රකාශයට පැමිණවීමටත් ය. 17ඔබ තවමත් මගේ ජනයාට විරුද්ධ ව සිටිමින් ඔවුනට යන්නට ඉඩ නො දෙයි. 18මෙන්න! ඊජිප්තුවේ මූලාරම්භයේ සිට මේ දක්වා කිසි කලෙක නො වූ විරූ ඉතාම දරුණු ගල් වැස්ස, හෙට මේ වෙලාවට මම එවන්නෙමි. 19කෙත් වත්හි සිටින ඔබේ සතුන් හා අනිකුත් සියල්ල ආවරණයක් යටට පමුණුවන්න. වහලක් යටට නෑවිත්, එළිමහනේ රැඳී සිටින හැම මිනිසකු හා සතකු පිට ගල් වැස්ස වැටී, ඔවුන් මියෙනු ඇතැ’ යි” පැවසූ සේක.
20එවිට පාරාවෝගේ නිලධාරීන් අතරින් ස්වාමින්වහන්සේගේ වචනයට භය වූ අය තමන්ගේ දාසයින් හා සතුන් ආරක්ෂිත ස්ථානවලට පැමිණවීමට යුහුසුලු වූහ. 21එහෙත් ස්වාමින්වහන්සේගේ වචනය නො සැලකූ අය, තමන්ගේ දාසයින් හා සතුන් එළිමහනේ ම ඉන්නට හැරියහ.
22ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කොට, “මුළු ඊජිප්තු දේශය පුරා ගල් වැසි වැටෙන පිණිස, මිනිසුන් ද සතුන් ද ඊජිප්තු දේශය මුළුල්ලේ කෙත් වත්හි වැවෙන සියලු පැළෑටි මත ගල් වැසි වැටෙන පිණිස, ඔබේ අත අහස දෙසට දිගු කරන්නැ” යි කී සේක. 23මෝසෙස් තම සැරයටිය අහස දෙසට දිගු කළ කල්හි, ස්වාමින්වහන්සේ ගිගුරුම් ද ගල් වැහි ද එවූ සේක. පොළොවට ගින්දර කඩා හැලුණේ ය. මෙසේ ස්වාමින්වහන්සේ ඊජිප්තු දේශය පිටට ගල් වැසි වැස්සවූ සේක. 24ගල් වැස්ස මැද්දේ නොකඩවා ගිනි අකුණු ගැසී ය. ඊජිප්තුව ජාතියක් බවට පත් වූ දා සිට දේශය මුළුල්ලේ වූ දරුණුතම ගල් වැසි කුණාටුව එයයි. 25ඊජිප්තුව මුළුල්ලේ එළිමහනේ වූ සියල්ලට ම, මිනිසුන්ට හා සතුන්ට ගල් වැස්ස පහර දුන්නේ ය. කෙත් වත්හි වූ සියලු පැළෑටි ද තළා පොඩිකර දැමූ එය, හැම ගහක් ම සිඳ-බිඳ දැමී ය. 26ගල් වැහි පතිත නො වූයේ ඉශ්‍රායෙල්වරුන් විසූ ගෝෂෙන් පළාතට පමණි.
27එවිට පණිවුඩ යවා මෝසෙස් හා ආරොන් කැඳවූ පාරාවෝ, ඔවුන් අමතමින්, “මේ වතාවේ මම පව් කළෙමි. ස්වාමින්වහන්සේ නිවැරදියි. මාත්, මගේ ජනයාත් වැරදියි. 28ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්න. දෙවියන්වහන්සේගේ මේ ගිගුරුම් හා ගල් වැහි හොඳට ම ඇති. මම නුඹලා යන්නට හරින්නම්. තවත් මෙහි නැවතී සිටින්නට වුවමනා නැතැ” යි කීවේ ය.
29මෝසෙස් පිළිතුරු දෙමින්, “මම නගරයෙන් පිටතට ගිය විගස, ස්වාමින්වහන්සේ දෙසට මගේ අත් දිගු කරන්නෙමි; ගිගුරුම් නවතිනු ඇත. ගල් වැස්ස ද තවත් නො වන්නේ ය. එසේ වන්නේ, මේ පොළොව ස්වාමින්වහන්සේගේ වග ඔබ දැනගන්නා පිණිසයි. 30එහෙත් ඔබත්, ඔබගේ නිලධාරිනුත් ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේට තවමත් භයක් නො දක්වන බව මම දනිමි” යි කීවේ ය.
31එවක යව, පීදී තිබූ බැවින් ද හණ, මල් හට ගැන්වී තිබූ බැවින් ද හණ හා යව විනාශ විය. 32එහෙත් තිරිඟු හා තණහාල් මෝරන කාලය එළැඹෙන්නේ පසුව බැවින් ඒවා විනාශ නො වී ය.
33එවිට පාරාවෝ වෙතින් නික්ම, නගරයෙන් පිටතට ගිය මෝසෙස්, ස්වාමින්වහන්සේ දෙසට තම අත් දිගු කළේ ය. ගිගුරුම් හා ගල් වැහි නැවතිණ. වැස්ස පොළොවට ඇද හැලීම නතර විණ. 34වැස්ස ද ගල් වැහි ද ගිගුරුම් ද නැවතුණු වග දුටු පාරාවෝ යළිත් පව් කළේ ය. ඔහු ඔහුගේ නිලධාරීහු ද තම හදවත් දැඩි කර ගත්හ. 35මෙසේ පාරාවෝගේ හදවත දැඩි විය. මෝසෙස් මගින් ස්වාමින්වහන්සේ පවසා තිබූ පරිදි, ඔහු ඉශ්‍රායෙල්වරුනට යන්නට දුන්නේ නැත.
اکنون انتخاب شده:
නික්මයාම 9: SCV
هایلایت
به اشتراک گذاشتن
مقایسه
کپی
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.