නික්මයාම 5

5
පිදුරු නැතුව ගඩොල් සෑදීමට අණ
1ඉන්පසු මෝසෙස් සහ ආරොන්, පාරාවෝ වෙත ගොස්, ඔහු අමතමින්, “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කතා කොට, ‘පාළුකරයේදී මට මංගල්‍යයක් පවත්වන පිණිස, මගේ ජනයාට එහි යන්න හරින්න’ කියා කී සේකැ” යි කීහ.
2පාරාවෝ පිළිතුරු දෙමින්, “කවුරු ද මේ ස්වාමින්වහන්සේ? එතුමන්ට අවනත වී, ඉශ්‍රායෙල් යන්නට හරින්නේ කුමකට ද? මම ස්වාමින්වහන්සේ හඳුනන්නේ නැත. ඉශ්‍රායෙල්ට යන්නට දෙන්නේ ද නැතැ” යි කීවේ ය.
3එවිට ඔවුහු කරුණු දක්වමින්, “හෙබ්‍රෙව්වරුන්ගේ දෙවියන්වහන්සේ අපට මුණ ගැසුණා. එබැවින් අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට යාග ඔප්පු කරන පිණිස, තුන් දවසක ගමනක් පාළුකරයට යන්නට අපට ඉඩ දෙන්න. නැතහොත් උන්වහන්සේ වසංගතයෙන් හෝ කඩුවෙන් හෝ අපට පහර දෙනු ඇතැ” යි කීහ.
4එහෙත් ඊජිප්තු රජු, ඔවුන් අමතමින්, “එම්බා මෝසෙස් හා ආරොන්, නුඹලා මේ ජනයා ඔවුන්ගේ වැඩවලින් ඉවතට ගන්නේ මොකද? ආපසු නුඹලාගේ බර වැඩට යනු!” යි කීවේ ය. 5තවද පාරාවෝ, “බලනු! දේශයේ ජනයා දැන් ඉතා අධිකයි. ඔවුන්ගේ වැඩවලින් ඔවුන් නවත්වන්නට නුඹලාත් අරඅඳිති” යි කීවේ ය.
6පාරාවෝ ඒ දවසේ ම ජනයාගේ වැඩ විදානේවරුන් හා මුලාදෑනීන්ට නියෝගයක් නිකුත් කරමින්, 7“ගඩොල් සෑදීමට ජනයාට මෙතෙක් කළ පරිදි, නුඹලා පිදුරු නො සපයනු. ඔවුන් ම ගොස්, තමන්ට පිදුරු සපයා ගත්තා වේ. 8එහෙත් කලින් තැනූ ගඩොල් ප්‍රමාණය ම ඔවුන්ට නියම කරනු. එය අඩු නො කළ යුතුයි. ඔවුන් අලසයි, ‘අපේ දෙවියන්වහන්සේට යාග ඔප්පු කරන්නට අපට යන්න දෙන්නැ’ යි ඔවුන් කෑ මොර දෙන්නේ එබැවිනි. 9ප්‍රලාප කතා නො සලකා දිගට ම වැඩෙහි යෙදෙමින් සිටින පිණිස, ඒ මිනිසුන්ගේ බර වැඩ දැඩි කරනු” යි පැවසී ය.
10එවිට වැඩ විදානේවරු හා මුලාදෑනීහු පිටත් ව ගොස්, ජනයාට කතා කොට, “පාරාවෝ මෙසේ කියයි: ‘තවත් මා නුඹලාට පිදුරු දෙන්නේ නැත. 11නුඹලා ම ගොස්, සොයාගත හැකි තැන්වලින් නුඹලා ම පිදුරු සොයා ගනු. එහෙත් නුඹලාගේ වැඩ කොහෙත් ම අඩු නො විය යුතු යැ’ යි” කී ය. 12එබැවින් ජනයා පිදුරු සඳහා ඉපනැලි එකතු කරමින්, ඊජිප්තුව පුරා විසිර ගියහ. 13තවද, “නුඹලාට පිදුරු තිබූ කල්හි මෙන් එක් එක් දවසට නියමිත වැඩ කොටස සම්පූර්ණ කරනු” යි කියමින්, වැඩ විදානේවරු ඔවුන්ට බල කළහ. 14පාරාවෝගේ වැඩ විදානේවරුන් විසින් පත් කරනු ලැබූ ඉශ්‍රායෙල් මුලාදෑනීහු ද පහර ලැබූහ. “කලින් පරිදි නුඹලා නියමිත ගඩොල් ගණන ඊයේ හෝ අද හෝ ලබා නො ගත්තේ මන්දැ?” යි ඔවුන්ට චෝදනා කෙරිණ.
15එවිට ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුලාදෑනීහු පාරාවෝ වෙත ගොස් කන්නලව් කරමින්, “ඇයි ඔබ ඔබගේ සේවකයින්ට මෙහෙම කරන්නේ? 16ඔබේ සේවක අපට පිදුරු සැපයෙන්නේ නැහැ. එහෙත් ‘ගඩොල් සාදනු’ යි අපට බල කෙරේ. බලන්න! ඔබේ සේවක අපට තැළුම් කන්නත් වෙලා. එහෙත් වරද ඇත්තේ ඔබේ ම ජනයා අත යැ” යි කීහ.
17එහෙත් පාරාවෝ පිළිතුරු දෙමින්, “අලසයි! නුඹලා අලසයින් ම තමයි. එනිසයි නුඹලා කියන්නේ, ‘ස්වාමින්වහන්සේට යාග ඔප්පු කරන්නට අපට යන්නට දෙන්න’ කියා. 18දැන් යනු! වැඩ කරනු! නුඹලාට පිදුරු සැපයෙන්නේ නැත. එහෙත් නුඹලාට නියමිත මුළු ගඩොල් ප්‍රමාණය නිපැයිය යුතු යැ” යි කීවේ ය.
19“නුඹලාට නියමිත දෛනික ගඩොල් ගණන අඩු නො විය යුතු යැ” යි ඇසූ කල, තමන් අමාරුවේ වැටී ඇති වග ඉශ්‍රායෙල් මුලාදෑනීහු වටහා ගත්හ. 20ඔවුන් පාරාවෝ වෙතින් පිටත් ව එද්දී, ඔවුන් හමුවීමට මග බලා සිටි මෝසෙස් සහ ආරොන් ඔවුන්ට හමුවූහ. 21ඔවුහු ඔවුන් දෙදෙනා අමතා “ස්වාමින්වහන්සේ නුඹලා දෙස බැල්ම හෙළා, නුඹලා විනිශ්චය කරන සේක්වා! පාරාවෝටත්, ඔහුගේ නිලධාරීන්ටත් අප දුගඳක් වෙන්නට සලසා, අප මරා දමන පිණිස, නුඹලා ඔවුන් අතට අවියක් දී ඇතැ” යි චෝදනා කළහ.
මිදීමේ පොරොන්දුව
22එවිට මෝසෙස් ස්වාමින්වහන්සේ වෙත ආපසු ගොස්, “අහෝ ස්වාමිනි, ඇයි ඔබ මේ ජනයා පිටට විපත්තිය ගෙනාවේ? මේකට ද ඔබ මා එවුවේ? 23ඔබගේ නාමයෙන් මා පාරාවෝට කතා කරන්නට ගිය තැන් පටන්, ඔහු මේ ජනයා පිටට නපුර පමුණුවා තිබේ. කෝ! ඔබවහන්සේ ඔබගේ ජනයා කොහෙත් ම ගලවා නැතැ” යි කීවේ ය.

اکنون انتخاب شده:

නික්මයාම 5: SCV

های‌لایت

به اشتراک گذاشتن

مقایسه

کپی

None

می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید