නික්මයාම 3

3
මෝසෙස් හා ගිනිගත් පඳුර
1මෝසෙස් තම මාමණ්ඩිය වූ මිදියන් පූජක යෙත්රෝගේ එළු බැටළු රංචුව බලා ගත්තේ ය. ඔහු සත්ව රංචුව පාළුකරයේ බටහිර පැත්තට ගෙන ගොස්, හොරේබ් හෙවත් දෙවියන්වහන්සේගේ කන්ද වෙත පැමිණියේ ය. 2එහිදී ස්වාමින්වහන්සේගේ දූතයා, පඳුරක් මැද ගිනි ජාලාවක ඔහුට පෙනුණි. ඔහු බැලූ කල, මෙන්න! පඳුර ගිනි ඇවිළෙන නමුත්, දැවී ගියේ නැත. 3එවිට මෝසෙස්, “මම එතැනට ගොස්, පඳුර නො දැවෙන්නේ මන්ද කියා ඒ පුදුම දර්ශනය බලන්නෙමි” යි කීවේ ය.
4ඔහු පඳුර බලන පිණිස හැරී ගිය වග ස්වාමින්වහන්සේ දුටු කල, දෙවියන්වහන්සේ ඔහුට අඬගසමින්, “මෝසෙස්! මෝසෙස්!” යැයි ඇමතූ සේක.
“මෙන්න, මම” යි ඔහු පැවසී ය.
5එවිට උන්වහන්සේ, “තවත් ළං නො වනු! ඔබේ පාවහන් ගලවනු. මන්ද ඔබ සිටිනා තැන ශුද්ධ භූමියකි” යි පැවසූ සේක. 6උන්වහන්සේ තවදුරටත්, “ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ද ඊසාක්ගේ දෙවියන්වහන්සේ ද යාකොබ්ගේ දෙවියන්වහන්සේ ද වන ඔබේ පියාගේ දෙවියන්වහන්සේ මම වෙමි” යි පැවසූ සේක. මෙවිට මෝසෙස් තම මුහුණ සඟවා ගත්තේ ය. දෙවියන්වහන්සේ දෙස බැලීමට ඔහු භය විය.
7එවිට ස්වාමින්වහන්සේ කතා කරමින්, “ඊජිප්තුවේදී මගේ ජනයාගේ දුක්ඛිතභාවය මම හොඳින් ම දුටිමි. තම වැඩ විදානේවරුන් නිසා ඔවුන් නගන අඳෝනාව මම ඇසීමි. ඔවුන් විඳින පීඩාව මම දනිමි. 8එනිසා ඊජිප්තුවරුන් අතින් ඔවුන් මුදා ගන්නටත්, ඒ දේශයෙන් පිටතට ඔවුන් ගෙනැවිත්, සාරවත් සුවිසල් දේශයකට, එනම් කානානිවරුන්ගේ ද හිත්තිවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ ද යෙබූසිවරුන්ගේ ද නිවහන වූ කිරි හා පැණි ගලා යන දේශයකට ඔවුන් ගෙන යන්නටත් මම පහළ බැස ආවෙමි. 9මෙන්න, දැන්! ඉශ්‍රායෙල් ජනයාගේ අඳෝනාව මා වෙත ළඟා වෙලා! ඊජිප්තුවරුන් ඔවුන්ට පීඩා කරන හැටි ද මම දැක්කෙමි. 10එබැවින් දැන් එන්න; මගේ ජනතාව වන ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවෙන් පිටතට ගෙනෙන පිණිස, පාරාවෝ වෙත මම ඔබ යවන්නෙමි” යි පැවසූ සේක.
11එහෙත් මෝසෙස් දෙවියන්වහන්සේ අමතමින්, “මම! පාරාවෝ වෙත යන්නටත්, ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවෙන් පිටතට ගෙන ඒමටත් මා කවුරු දැ?” යි කී ය.
12දෙවියන්වහන්සේ පිළිතුරු දෙමින්, “මම, ඔබ සමඟ සිටිමි. ඔබ යවනු ලබන්නේ මා විසින් ය යන වගට ඔබට ලකුණක් මෙන්න; ඔබ ඊජිප්තුවෙන් පිටතට ජනයා ගෙන ආ කල, නුඹලා මේ කන්දේ දෙවියන්වහන්සේට නමස්කාර කරනු ඇතැ” යි පැවසූ සේක.
13මෝසෙස් යළි දෙවියන්වහන්සේ අමතමින්, “මා ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙත ගොස්, ‘නුඹලා වෙත මා එවන ලද්දේ නුඹලාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ යැ’ යි කී කල, ‘උන්වහන්සේගේ නාමය මොකක් දැ?’ යි ඔවුන් ඇසුවහොත්, මා කියන්නේ මොනවා දැ?” යි ඇසී ය.
14එවිට දෙවියන්වහන්සේ උත්තර දෙමින්, “මම යම් සේ සිටිම් ද, එසේ ම සිටිම්හ. ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ඔබ කිය යුත්තේ, ‘නුඹලා වෙත මා එවන ලද්දේ, මම සිටිම්හ යන තැනැන්වහන්සේ කියා යැ’ යි” පැවසූ සේක.
15දෙවියන්වහන්සේ තවදුරටත් මෝසෙස් අමතමින්, “ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ඔබ කිව යුත්තේ, ‘ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ද ඊසාක්ගේ දෙවියන්වහන්සේ ද යාකොබ්ගේ දෙවියන්වහන්සේ ද වන ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ නුඹලා වෙත මා එවූ සේක’ යනුවෙනි.
“සදාතනයට ම මගේ නාමය එයයි.
පරපුරින් පරපුරට
මගේ සැමරුම් නාමය එයයි.
16“යන්න; ඉශ්‍රායෙල් වැඩිහිටියන් එක් රැස් කරවා, ඔවුනට කතා කොට, ‘ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද යාකොබ්ගේ ද දෙවියන්වහන්සේ වන නුඹලාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ මට පෙනුණු සේක්, මට මෙසේ කී සේක. මම නුඹලා දෙස බලා සිටියෙම්. ඊජිප්තුවේදී නුඹලාට කරන ලද දෑ මම දුටුවෙමි. 17එබැවින් ඊජිප්තුවෙහි දුක්ඛිත භාවයෙන් ඔබ මුදා, කිරි හා පැණි ගලා යන දේශයක් වූ කානානිවරුන්ගේ ද හිත්තිවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ ද යෙබූසිවරුන්ගේ ද දේශයට ඔබ ගෙන එන්නට ඉටා ගත්තෙමි’ යි කියන්න.
18“ඉශ්‍රායෙල් වැඩිහිටියන් ඔබට සවන් දෙනු ඇත. එවිට ඔබ ද ඉශ්‍රායෙල් වැඩිහිටියන් ද ඊජිප්තු රජු වෙත ගොස්, ඔහුට කතා කොට, ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ අපට මුණ ගැසුණු සේක. එබැවින් අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට යාග ඔප්පු කරන පිණිස, තුන් දවසක ගමනක් පාළුකරයට යන්නට අපට ඉඩ දෙන්නැ’ යි කියන්න. 19එහෙත්, බලවත් හස්තයක් ඔහුට බල කළහොත් මිස, ඊජිප්තු රජු නුඹලාට යන්නට නො දෙන වග මම දනිමි. 20එබැවින් මම මගේ හස්තය දිගු කොට, ඔවුන් මධ්‍යයේ මා කරන්නට යන මගේ සියලු හාස්කම්වලින් ඊජිප්තුවරුන්ට පහර දෙන්නෙමි. ඉන්පසු ඔහු නුඹලාට යන්නට දෙනු ඇත.
21“නුඹලා පිටත් ව යන කල, හිස් අතින් නො යන පිණිස, මේ ජනතාවට ඊජිප්තුවරුන් හමුවේ ප්‍රසාදය ලැබෙන්නට මම සලස්වන්නෙමි. 22හැම කාන්තාවක් ම තම අසල්වැසියාගෙන් හා ඇගේ නිවසේ වෙසෙන පිටස්තර කාන්තාවකගෙන් රිදී බඩු ද රත්රන් බඩු ද රෙදි පිළි ද ඉල්ලා ගත යුතු ය. ඒවා තම පුතුනට හා දූවරුනට ඇඳ-පැලඳවිය යුතු ය. මෙසේ නුඹලා ඊජිප්තුවරුන් කොල්ලකනු ඇතැ” යි පැවසූ සේක.

اکنون انتخاب شده:

නික්මයාම 3: SCV

های‌لایت

به اشتراک گذاشتن

مقایسه

کپی

None

می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید