නික්මයාම 19
19
සීනයි කන්දේදී
1ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තු දේශයෙන් නික්මුණු පසු, තුන් වන මස පළමු දවසේ, ඔවුහු සීනයි කාන්තාරයට පැමිණියහ. 2රෙෆීදිම් වෙතින් පිටත් වූ පසු, සීනයි කාන්තාරයට ඇතුළු වූ ඔවුහු, කාන්තාරයේ කඳවුරු ගැසූහ. මෙසේ, කන්ද ඉදිරිපිට ඉශ්‍රායෙල් කඳවුරු ගසා ගත්හ.
3ඉන්පසු මෝසෙස් දෙවියන්වහන්සේ වෙත නැගුණේ ය. ස්වාමින්වහන්සේ කන්දේ සිට ඔහු ඇමතූ සේක්, “යාකොබ්ගේ වංශයට ඔබ කිය යුත්තේ මෙයයි; ඉශ්‍රායෙල් ජනයාට කිය යුත්තේ මෙසේයි: 4‘ඊජිප්තුවට මා කළ දෑ කවරේ ද යන්නත්, රාජාලි පියාපත් මත මා නුඹලා උසුලා මා වෙතට ගෙන ආවේ කෙසේ ද යන්නත් නුඹලා ම දුටුවහ. 5එබැවින් දැන් නුඹලා මට සපුරාම කීකරු ව, මගේ ගිවිසුම පිළිපදින්නේ නම්, මුළු මහත් ජාතීන් අතරින් නුඹලා මට ම අයිති වූ වස්තුවක් වනු ඇත. මන්ද මේ මුළු මහ පොළොව ම මගේ ය; 6නුඹලා මට පූජක රාජ්‍යයක් ද ශුද්ධ වූ ජාතියක් ද වනු ඇත’ යන්නයි. ඉශ්‍රායෙල් ජනයාට ඔබ පැවසිය යුතු වචන ඒවා යැ” යි පැවසූ සේක.
7එබැවින් මෝසෙස් ආපසු අවුත්, ජනයාගේ වැඩිහිටියන් කැඳවා, ස්වාමින්වහන්සේ ඔහුට පවසන්නට අණ කළ සියලු වචන ඔවුන් හමුවේ තැබී ය. 8එවිට මුළු ජනතාව එකාවන් ව පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ කියා ඇති හැම දෙයක් ම අපි කරන්නෙමු” යි කීහ. එබැවින් මෝසෙස් ජනතාවගේ පිළිතුර ස්වාමින්වහන්සේ වෙත ගෙන ගියේ ය.
9 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “මෙන්න! මම ඝන වලාවකින් ඔබ වෙත එන්නෙමි. එසේ කරන්නේ, මා ඔබ සමඟ කතා කරනු ජනයා අසා සිටින පිණිසත්, හැම කල්හි ම ඔවුන් ඔබ මත විශ්වාසය තබන පිණිසත් යැ” යි පැවසූ සේක. මෝසෙස් ජනයා කී දෑ ස්වාමින්වහන්සේට පැවසුවේ ය.
10 ස්වාමින්වහන්සේ යළි මෝසෙස් අමතමින්, “ජනයා වෙත ගොස්, අදත්, හෙටත් ඔවුන් පවිත්‍ර වීමට සලසන්න; ඔවුන් තම ඇඳුම් සෝදාගෙන, 11තුන් වන දවසට සූදානම් ව සිටිය යුතු ය. මන්ද තුන් වන දවසේ ස්වාමින්වහන්සේ මුළු ජනතාවගේ ඇස් හමුවේ සීනයි කන්ද පිටට බැස එන සේක. 12කන්ද වටා ජනයාට සීමා පනවා, ඔවුන් දැනුවත් කරමින්, ‘කන්දට නො නගින්නටත්, කඳු පාමුල ස්පර්ශ නො කරන්නටත් වග බලා ගන්න. කන්දේ ස්පර්ශ වන කවරකු වුව නියතයෙන් ම මරණයට පත් කෙරේ. 13කිසිවකුත් ඔහුට අත නො තැබිය යුතු ය; ගල් ගසා හෝ හී විද හෝ ඔහු මැරිය යුතු ය. ඒ මිනිසකු වුව ද, සතකු වුව ද ජීවත් වන්නට ඉඩ නො තැබිය යුතු යැ’ යි කියන්න. ඔවුනට කන්ද වෙත ආ හැක්කේ හොරණෑව දීර්ඝ ස්වරයෙන් හැඬවෙන කල පමණකැ” යි කී සේක.
14මෝසෙස් කන්දෙන් බැස ජනයා වෙත ගොස්, ඔවුන් පවිත්‍ර වීමට සැලැස්වී ය. ඔවුහු තම ඇඳුම් සෝදා ගත්හ. 15ඉන්පසු ඔහු ජනයාට කතා කොට, “තුන් වන දවස උදෙසා පේවී සිටින්න. ස්ත්‍රී සේවනයෙන් වළකින්නැ” යි පැවසී ය.
16තුන් වන දවසේ උදෑසන, මේඝ ගර්ජනා හා විදුලි අකුණු ද විය. කන්දට ඉහළින් ඝන වලාවක් හා මහ හඬ නැංවූ හොරණෑ නාදයක් වූයෙන්, කඳවුරේ වූ සියල්ලෝ වෙවුලන්නට වූහ. 17එවිට මෝසෙස් කඳවුරෙන් පිටතට ජනයා කැඳවාගෙන, දෙවියන්වහන්සේ මුණගැසෙන පිණිස ගියේ ය. ඔවුහු කඳු පාමුල නැවතී සිටගත්හ. 18සීනයි කන්ද දුමින් වැසී ගියේ ය. එසේ වූයේ ස්වාමින්වහන්සේ ගින්නෙන් කන්ද මතට බැස ආ බැවිනි. දුම් ඉහළ නැගුණේ උදුනකින් නැගෙන දුමක් සේ ය. මුළු මහත් කන්ද අධික ලෙස දෙදරුම් කැවිණ. 19හොරණෑ නාදය වඩ වඩා උස් හඬ නගත් ම, මෝසෙස් කතා කළේ ය. එවිට දෙවියන්වහන්සේ ඇසෙන හඬකින් ඔහුට පිළිතුරු දුන් සේක.
20 ස්වාමින්වහන්සේ සීනයි කන්දට, එම කඳු මුඳුනට, බැස අවුත්, කඳු මුඳුනට මෝසෙස් කැඳවූ සේක. එබැවින් මෝසෙස් එහි නැගුණේ ය. 21ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්: “පහළට බැස ගොස්, ස්වාමින්වහන්සේ දකින්නට තම සීමා බිඳ, බලෙන් නො එන ලෙසට ජනතාවට අනතුරු අඟවන්න; නැතහොත් ඔවුන් බොහෝ දෙනකු විනාශ වනු ඇත. 22ස්වාමින්වහන්සේ වෙත ළඟා වන පූජකයින් පවා තමන් ම පවිත්‍ර ව, පේවී සිටිය යුතු ය. නැතහොත් ස්වාමින්වහන්සේ ඔවුන්ට එරෙහිව නැගී එනු ඇතැ” යි පැවසූ සේක.
23මෝසෙස් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින්, “ඔබවහන්සේ ම අපට අනතුරු අඟවමින්, ‘කන්ද වටා සීමා පනවා, එය ශුද්ධ ව වෙන් කර තබන්නැ’ යි කී බැවින්, ජනතාවට සීනයි කන්දට නැග ආ නො හැකි යැ” යි කීවේ ය.
24එවිට ස්වාමින්වහන්සේ කතා කරමින්, “යන්න! පහළට බැස ගොස්, ඔබ සමඟ ආරොන් උඩට කැඳවාගෙන එන්න. එහෙත්, පූජකයින් හා ජනයා තමන්ගේ සීමා බිඳ, බලෙන් ස්වාමින්වහන්සේ වෙත නො පැමිණිය යුතු ය; නැතහොත් උන්වහන්සේ ඔවුන්ට එරෙහිව නැගී එනු ඇතැ” යි පැවසූ සේක.
25එබැවින් මෝසෙස් පහළට බැස ගොස්, ජනතාවට ඒ වග පැවසී ය.
اکنون انتخاب شده:
නික්මයාම 19: SCV
هایلایت
به اشتراک گذاشتن
مقایسه
کپی
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.