ද්විතීය 6
6
උත්තම ආඥාව
1හිමි කර ගන්නට, යොර්දාන් ගඟින් එතෙර ව, ඔබ යන දේශයේදී ඔබ විසින් පිළිපදින පිණිස, ඔබට උගන්වන්නට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මට අණ කළ ආඥා ද නියෝග ද නියමයන් ද මේවා ය. 2මා ඔබට දෙන, උන්වහන්සේගේ සියලු නියෝග හා ආඥා පිළිපැදිය යුත්තේ, ඔබ ද ඔබගේ දරුවන් ද දරුවන්ගේ දරුවන් ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබ ජීවත් ව සිටින තෙක් භය පක්ෂපාතී වන පිණිසත්, ඔබ දීර්ඝායු භුක්ති විඳින පිණිසත් ය. 3එම්බා ඉශ්‍රායෙල්, ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි, කිරි හා පැණි ගලා යන දේශයේදී ඔබට සෙත සැලසෙන පිණිසත්, ඔබේ ජනගහනය බෙහෙවින් අධික වන පිණිසත්, ඒවාට සවන් දෙන්න; ඒවාට කීකරු වීමට වග බලා ගන්න.
4එම්බා ඉශ්‍රායෙල් මේ අසනු: ස්වාමින්වහන්සේ, අපේ දෙවියන්වහන්සේ ය; එක ම ස්වාමින්වහන්සේ ය#6:4 එක ම ස්වාමින්වහන්සේ යහෙවත් අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ එක ස්වාමින්වහන්සේ ය. 5ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ජීවයෙන් ද ඔබේ මුළු ශක්තියෙන් ද ප්‍රේම කරන්න. 6අද දවසේ මා ඔබට දෙන මෙම ආඥා, ඔබේ හදවතේ තබා ගැනීමට ය. 7ඔබේ දරුවන්ගේ සිතට ඒවා කාවද්දන්න. නිවසේ ඔබ හිඳ සිටින විට ද පාරේ ගමන් කරන විට ද ඔබ නිදා ගන්න විට හා ඔබ අවදි වන විට ද ඒවා ගැන කතා කරන්න. 8ඒවා ඔබේ අත්වල සංකේත ලෙසින් ද ඔබේ නළලේ නළල් පටියක් ලෙසින් ද බැඳ ගන්න. 9ඒවා ඔබ නිවෙස්හි උළුවහුවල ද ඔබේ දොරටුවල ද ලියා තබන්න.
10ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන්නට, ඔබේ පියවරුන් වූ ආබ්‍රහම්ට ද ඊසාක්ට ද යාකොබ්ට ද දිවුළ දේශයට ඔබ ගෙන ආ කල, ඔබ ගොඩ නැගුවේ නැති සමෘද්ධිමත් විශාල නගර ද 11ඔබ ම සපයා ගත්තේ නැති හැම යහ දෙයින් ම පිරුණු නිවෙස් ද ඔබ නො හෑරූ ළිං ද ඔබ ම වගා කළේ නැති මිදි වතු හා ඔලීව ගස් ද යනාදියෙන් යුත් දේශයට ඔබ ගෙන ආ කල, ඔබ සිත් සේ කා, බී සැනැහී සිටියදී, 12ඊජිප්තු දේශයෙන් පිටතට, වහල්කමේ දේශයෙන් පිටතට ඔබ ගෙන ආ ස්වාමින්වහන්සේ අමතක නො කරන්නට වග බලා ගන්න.
13ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට භය පක්ෂපාත වන්න. උන්වහන්සේට පමණක් සේවය කරන්න. ඔබේ දිවුරුම් උන්වහන්සේගේ නාමයෙන් කරන්න. 14වෙනත් දෙවිවරුන්, ඔබ අවට සිටින ජනයාගේ දෙවිවරුන් අනුව නො යන්න. 15මන්ද ඔබ මධ්‍යයේ සිටින, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඊර්ෂ්‍යා සහගත දෙවියන්වහන්සේ වන බැවින්, උන්වහන්සේගේ කෝපය ඔබට එරෙහිව ඇවිළ, පොළෝ තලයෙන් ඔබ විනාශ කර දමනු ඇත. 16මස්සාහිදී කළාක් මෙන් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පරීක්ෂා නො කරන්න. 17ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥා ද උන්වහන්සේ ඔබට පැන වූ පනත් හා නියෝග ද නියතයෙන් ම පිළිපදින්න. 18ස්වාමින්වහන්සේ ඉදිරියේ හරි දේත්, හොඳ දේත් කරන්න. එසේ කළ යුත්තේ ඔබට සෙත සැලසෙන පිණිසත්, ඔබේ ආදි පියවරුනට ස්වාමින්වහන්සේ දිවුරා පොරොන්දු වූ සරු සාර දේශයට පිවිස, ඔබට එය අත්කර ගත හැකි වනු පිණිසත් ය. 19එය කළ හැක්කේ ස්වාමින්වහන්සේ පැවසූ පරිදි, ඔබේ සතුරන් ඔබ ඉදිරිපිටින් පන්නා දමනු ලැබීමෙනි.
20මතු කලෙක ඔබේ පුත්‍රයා ඔබෙන් ප්‍රශ්න කරමින්, “අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට අණ කළ පනත්, නියෝග හා නියමයන්වල අරුත කුමක් දැ?” යි ඇසූ කල, 21මෙසේ කියන්න. “ඊජිප්තුවේ අප හිටියේ පාරාවෝගේ වහලුන් ව ය. එහෙත් ස්වාමින්වහන්සේ බලගතු හස්තයකින් ඊජිප්තුවෙන් පිටතට අප ගෙන ආවා. 22ස්වාමින්වහන්සේ අපගේ ඇස් ඉදිරිපිට ම ඊජිප්තුවටත්, පාරාවෝටත්, ඔහුගේ සියලු නිවැසියනටත් එරෙහිව මහා-භයංකර හාස්කම් ලකුණු හා අරුම පුදුම පැමිණවූවා. 23උන්වහන්සේ එතැනින් පිටතට අප ගෙන ආවේ, අපේ පියවරුනට උන්වහන්සේ දිවුරා පොරොන්දු වූ දේශයට අප ගෙනැවිත්, එය අපට දෙන පිණිසයි. 24අද දවසේ ඇති පරිදි, නිරතුරු අප සඵල වන පිණිසත්, අප ජීවත් ව සිටින පිණිසත්, මේ සියලු නියෝගවලට කීකරු වන ලෙසත්, අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට භය පක්ෂපාත වන ලෙසත් ස්වාමින්වහන්සේ අපට නියෝග කළා. 25අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපට අණ කළ පරිදි, උන්වහන්සේ ඉදිරියේ මේ සියලු ආඥාවලට කීකරු වීමට අප වග බලා ගතහොත්, එය අපේ ධර්මිෂ්ඨකම ද වනු ඇත.”
اکنون انتخاب شده:
ද්විතීය 6: SCV
هایلایت
کپی
مقایسه
به اشتراک گذاشتن
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.