ද්විතීය 23
23
සභාවට ඇතුළත් කර නො ගැනීම
1තැලීමකින් හෝ කැපීමකින් හෝ පුරුෂේන්ද්‍රිය කප්පාදු වූ කිසිවකු ස්වාමින්වහන්සේගේ සභාවට ඇතුළත් නො විය යුතු ය.
2අනියම් සබඳතාවක දරුවන් ද දස වන පරපුර දක්වා ඔවුන්ගෙන් පැවතෙන්නන් ද ස්වාමින්වහන්සේගේ සභාවට ඇතුළත් නො විය යුතු ය.
3අම්මොන් ජාතිකයකු හෝ මෝවබ් ජාතිකයකු හෝ ඔවුන්ගෙන් පැවතෙන්නකු හෝ දස වන පරපුර දක්වා ස්වාමින්වහන්සේගේ සභාවට ඇතුළත් නො විය යුතු ය. 4මන්ද ඔබ ඊජිප්තුවෙන් පිට ව එන අතරේ රොටිත්, වතුරත් ගෙන, ඔවුන් ඔබ හමුවට ආවේ නැති බැවිනි. ඔබට ශාපයක් ප්‍රකාශ කරන්නට ඔවුහු මෙසපොතාමියාහි#23:4 මෙසපොතාමියාහි හෙබ්‍රෙව් අරාම්-නහරායිම්හි පෙතෝර්හි බෙයෝර්ගේ පුත් බාලාම් ද කුලියට ගත්හ. 5එසේ වුව ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ බාලාම්ට සවන් නුදුන් සේක්, ඒ ශාපය, ආශිර්වාදයකට හැරවූ සේක. එසේ කළේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට ප්‍රේම කරන නිසා ය. 6ඔබේ දිවි ඇති තුරා ඔවුන්ගේ ශාන්තිය හෝ ඔවුන්ගේ සුබ සෙත හෝ නො සොයන්න.
7ඒදොම්වරයකු පිළිකුල් නො කරන්න; මන්ද ඔහු ඔබේ සහෝදරයා ය. ඊජිප්තු ජාතිකයකු පිළිකුල් නො කරන්න. මන්ද ඔබත්, ඔහුගේ රටෙහි විදෙස්සකු සේ විසූ බැවිනි. 8ඔවුන්ගෙන් පැවතෙන තුන් වන පරපුරේ දරුවනට ස්වාමින්වහන්සේගේ සභාවට ඇතුළත් විය හැකි ය.
කඳවුරෙහි පවිත්‍රතාව
9ඔබේ සතුරනට එරෙහිව සටනට කඳවුරු බඳින කල, සියලු අපවිත්‍ර දෙයින් දුරුව සිටින්න. 10ඔබ අතරින් යමෙක් රාත්‍රි මෝචනයකින් අපවිත්‍ර වුවහොත්, ඔහු කඳවුරෙන් පිටතට ගොස් සිටිය යුතු ය. 11එහෙත් සවස් වෙද්දී වතුර නාගෙන, හිරු බැස යන කල, යළි කඳවුරට ඒමට ඔහුට පුළුවන.
12වැසිකිළි පහසුකම් සඳහා නියමිත ස්ථානයක් කඳවුරෙන් පිටත ඔබට තිබිය යුතු ය. 13ඔබගේ භාණ්ඩ අතර හාරන උපකරණයක් තිබේවා. ඔබ මලපහ කරන කල එයින් වළක් හාරා අපද්‍රව්‍ය වසා දමන්න. 14ඔබ සුරකින්නටත්, ඔබේ සතුරන් ඔබ අතට හසුකර දෙන්නටත්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ කඳවුර තුළ සක්මන් කරන සේක. ඔබ මධ්‍යයේ කිසි අවිනීත භාවයක් දැක, උන්වහන්සේ ඔබ වෙතින් ඉවත හැරී නො යන පිණිස, ඔබේ කඳවුර ශුද්ධ ව තිබිය යුතු ය.
විවිධ නීති
15ඔබේ සරණ පතා පලා ආ වහලකු ඔහුගේ ස්වාමියාට ආපසු බාර නො දෙන්න. 16ඔබ අතරේ ඔහු කැමති තැනක, ඔහු තෝරා ගන්නා නගරයක, වාසය කරන්නට ඔහුට ඉඩ දෙන්න. ඔහුට පීඩා නො කරන්න.
17කිසි ඉශ්‍රායෙල් දියණියක දේවාල වේශ්‍යාවක නො විය යුතු ය; කිසි ඉශ්‍රායෙල් පුතකු ද දේවාල වේශ්‍යාවෙක් නො විය යුතු ය. 18වේශ්‍යාවියකගේ ගාස්තුව හෝ පිරිමි වේශ්‍යාවකුගේ කුලිය, බාරයක් පියවීමට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගෘහයට ගෙන නො එන්න. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඒ දෙගොල්ල ම පිළිකුල් කරන සේක.
19පොලී ඉපැයිය හැකි මුදල් හෝ ආහාර හෝ අන් කිසි දෙයකින් හෝ ඔබේ සහෝදරයාගෙන් පොලී අය නො කරන්න. 20විදෙස්සකුගෙන් ඔබට පොලී ගත හැකි ය. එහෙත් සහෝදර ඉශ්‍රායෙල්වරයකුගෙන් පොලී අය නො කරන්න. එවිට උරුම කර ගැනීමට ඔබ ඇතුළු වන දේශයේදී, ඔබ අත ගසන සියලු දේකදී ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක.
21ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබ බාරයක් වූ විට, එය ඉටු කිරීම අතපසු නො කරන්න. එය ඔබට පාපයක් වනු ඇත. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ නිසැකයෙන් ම එය ඔබෙන් ඉල්ලා සිටින සේක. 22එහෙත් බාර වීමෙන් ඔබ වැළකී සිටිනවා නම්, ඔබ වරදකරුවකු වන්නේ නැත. 23ඔබේ දෙතොලතරින් නික්මුණු බාරය කවරක් වුව ද, එය ඉටු කිරීමට වග බලා ගන්න. මන්ද ඔබේ ම මුවින් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබ බාර වූයේ ස්වේච්ඡාවෙනි.
24ඔබේ අසල්වැසියාගේ මිදි වත්තට ඔබ ඇතුළු වුවහොත් සෑහීමට පත් වන තුරු මිදි කන්නට ඔබට පුළුවන. එහෙත් ඉන් කිසිවක් මල්ලක නො දමා ගන්න. 25ඔබේ අසල්වැසියාගේ ධාන්‍ය කෙතකට ඔබ ඇතුළු වුවහොත්, ඔබේ දෑතින් ඒවා කඩා ගන්නට ඔබට පුළුවන. එහෙත් ඔහුගේ පැසුණු ගොයමට ඔබ දෑකැත්තක් නො පෙවිය යුතු ය.
اکنون انتخاب شده:
ද්විතීය 23: SCV
هایلایت
کپی
مقایسه
به اشتراک گذاشتن
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.