ද්විතීය 19
19
අභය නගර
1ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයේ ජාතීන්, උන්වහන්සේ විසින් විනාශ කර දමනු ලැබූ කල හා ඔවුන් පන්නා දමා, ඔවුන්ගේ නගරවල ද නිවෙස්වල ද ඔබ පදිංචි වූ කල, 2ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට උරුම කර ගැනීමට දෙන දේශයේ පිහිටි නගර තුනක් ඔබට වෙන් කර ගන්න. 3ඒවාට මාවත් තනා, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට උරුමයක් කොට දෙන දේශය, එම නගර ද සහිත ව තුන් කොටසකට බෙදන්න. එම නගර මිනී මැරූ කෙනකුට පලා යා හැකි අභය භූමි වෙයි.
4අනෙකකු මරන මිනිසකුට, එනම් කලින් අදහස් නො කොට, පෙර වෛරයකින් ද තොර ව තම අසල්වැසියා මරණයට පත් කරන කෙනකුට පලා ගොස්, තම ජීවිතය බේරා ගැනීමට බලපාන නීතිය මෙයයි. 5නිදසුනක් වශයෙන්, දර කපන්නට තම අසල්වැසියා සමඟ කැලයට යන මිනිසෙක්, ගසක් කැපීමට තම පොරොව ඔසවන කල, තලය මිටෙන් ගැලවී, විසිවී, ඔහුගේ අසල්වැසියාට වැදී, ඔහු මරණයට පත් විය හැකි ය. එසේ මිනී මැරූ අයට මෙම නගරවලින් එකකට පලා ගොස්, තම ජීවිතය රැකගත හැකි ය. 6නැතහොත් මරණය සිදු වූයේ පෙර වෛරයකින් නො වීමේ හේතුවෙන් ඔහු මරනු ලැබිය යුත්තකු නො වුව ද, පලා යන මග දුර වැඩි වුවහොත්, ලේ පළිය ගැනීමේ වගකීම දරන්නා උග්‍ර කෝපයෙන් ඔහු ලුහුබැඳ, ඔහු අල්ලා, මරා දමනු ඇත. 7ඔබට ම නගර තුනක් වෙන් කර ගන්නැයි මා අණ කරන්නේ එබැවිනි.
8ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබේ ආදි පියවරුනට දිවුරා පොරොන්දු වූ පරිදි ඔබේ දේශ සීමා පුළුල් කර, ඔවුනට උන්වහන්සේ පොරොන්දු වූ මුළු පළාත ම ඔබට දෙනු ලබන්නේ, 9ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රේම කරන ලෙස හා උන්වහන්සේගේ මාර්ගවල නිති ගමන් කරන ලෙස, අද මා ඔබට අණ කරන මේ සියලු ආඥා පිළිපැදීමට ඔබ පරෙස්සම් වන නිසා ය. එසේ වන්නේ නම් මෙම නගර තුනට අමතරව, තවත් නගර තුනක් වෙන් කරන්න. 10එසේ කළ යුත්තේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශය තුළ නිදොස් ලේ නො වැගිරෙන පිණිසත්, ලේ වැගිරීමේ වරදට ඔබ හසු නො වන පිණිසත් ය.
11එහෙත් යමෙක් තම අසල්වැසියාට වෛරයෙන්, මග රැක සිට, ඔහුට පහර දී, මරා දමා, මේ නගරවලින් එකකට පලා ගියහොත්, 12ඔහුගේ නගර වැඩිහිටියන් එතැනින් ඔහු ගෙන්වා, ඔහු මරා දමන පිණිස ලේ පළිය ගන්නාට ඔහු බාර දිය යුතු ය. 13ඔහුට අනුකම්පා නො කරන්න. ඔබට සෙත සැලසෙන පිණිස, නිදොස් ලේ වැගිරවීමේ වරද, ඉශ්‍රායෙල් වෙතින් පහ කර දැමිය යුතු ය.
14ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට අත්කර ගන්නට දෙන දේශයේ ඔබට ලැබෙන උරුම කොටසේ, ඔබේ පැරැන්නන් විසින් පිහිටු වන ලද ඔබේ අසල්වැසියාගේ මායිම් ගල් වෙනස් නො කරන්න.
සාක්ෂිකරුවන්
15යමකු විසින් කරන ලද යම් අපරාධයකට හෝ වරදකට හෝ ඔහු වරදකරුවකු කොට තීන්දු කරන්නට, එක් සාක්ෂිකරුවකු ප්‍රමාණවත් නැත. යම් කරුණක් ස්ථිර විය යුත්තේ සාක්ෂිකරුවන් දෙදෙනකු හෝ තිදෙනකුගේ සාක්ෂියෙනි.
16යම් අපරාධයක් සම්බන්ධ ව මිනිසකුට දෝෂාරෝපණ කරන්නට ද්වේෂ සහගත සාක්ෂිකරුවකු ඉදිරිපත් වුවහොත්, 17අදාළ ආරවුලට සම්බන්ධ දෙපාර්ශ්වය ම, එකලට නිලලත් පූජකයින් හා විනිසුරුවන් ඉදිරියෙහි ස්වාමින්වහන්සේ අබියස සිටගත යුතු ය. 18විනිසුරුවන් පූර්ණ විභාගයක් පවත්වා, එම සාක්ෂිකරුවා ඔහුගේ සහෝදරයාට විරුද්ධ ව බොරු සාක්ෂි දුන් බොරුකරුවකු වග ඔප්පු වුවහොත්, 19එම සාක්ෂිකරු තම සහෝදරයාට පමුණු වන්නට අදහස් කළ දඬුවම, සාක්ෂිකරුට පමුණුවන්න. ඔබ අතරෙහි වන දුෂ්ටකම එසේ පහ කර දැමිය යුතු ය. 20සෙසු ජනයා ඒ අසා, භය වී, එවැනි දුෂ්ටකමක් යළි කිසි දිනෙක ඔබ අතරෙහි නො කරනු ඇත. 21එබැවින් කිසි අනුකම්පාවක් නො පාන්න. ජීවිතයකට ජීවිතයකි. ඇසකට ඇසකි. දතකට දතකි. අතකට අතකි. පයකට පයකි.
اکنون انتخاب شده:
ද්විතීය 19: SCV
هایلایت
کپی
مقایسه
به اشتراک گذاشتن
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.