ද්විතීය 14
14
පවිත්‍ර-අපවිත්‍ර සත්ව මස
1ඔබ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ පුත්‍රයෝ ය. මළවුන් නිසා, ඔබේ සිරුර කපා ගැනීම හෝ ඉදිරිපස කෙස් මුඩු කිරීම හෝ නො කරන්න. 2මන්ද ඔබ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ශුද්ධ ජනතාවකි; තමන්වහන්සේට අනර්ඝ වස්තුවක් වන පිණිස, මිහි මත සිටින සියලු ජනයින් අතරින් ස්වාමින්වහන්සේ ඔබ තෝරාගත් සේක.
3පිළිකුල් සහගත කිසිවක් අහරට නො ගන්න. 4ඔබට අහරට ගත හැකි සතුන්: ගවයා, බැටළුවා, එළුවා, 5මුවා, ගෝනා, වැලි මුවා, වල් එළුවා, ඕලු මුවා, කුරංග මුවා හා කඳු-බැටළුවා ය. 6කුරය බෙදී, වෙන් ව ඇති, වමාරා කන කවර සතකු වුව ඔබට අහරට ගත හැකි ය. 7එහෙත් වමාරා කන හෝ කුරය මුළුමනින් බෙදී ගිය හෝ සතුන් අතරින් ඔටුවා, හාවා සහ පර්වත කූට හාවා ඔබ අහරට නො ගත යුතු ය. උන් වමාරා කන නමුදු උන්ගේ කුර බෙදී නැත. ඔබට උන් අපවිත්‍ර ය. 8ඌරා ද ඔබට අපවිත්‍ර ය; කුරය බෙදී, වෙන් ව ඇති නමුදු, ඌ වමාරා කන්නේ නැත. උන්ගේ මස ඔබ අහරට නො ගත යුතු ය. උන්ගේ මළකුණු ස්පර්ශ නො කළ යුතු ය.
9ජලයෙහි වෙසෙන සියලු ජලජ ජීවීන් අතරින් වරල් සහ කොරපොතු ඇති එවුන් ඔබට අහරට ගත හැකි ය. 10එහෙත් වරල් හා කොරපොතු නැති උන් ඔබ අහරට නො ගත යුතු ය. එය ඔබට අපවිත්‍ර ය.
11කවර පවිත්‍ර පක්ෂියකු වුව ඔබට අහරට ගත හැකි ය. 12එහෙත් ඔබ අහරට නො ගත යුතු පක්ෂීන් නම්, රාජාලියා, ගිජු ලිහිණියා, මුහුදු උකුස්සා, 13රතු උකුස්සා, කළු උකුස්සා හා හැම වර්ගයකට අයත් කුරුලුගොයි, 14කපුටු සෑම වර්ග, 15උකුසු බකමූණා, බස්සා, මුහුදු ලිහිණියා, නා නා විධ උකුස්සා, 16කුඩා බස්සා, කෙටි කන්-බකමූණා, අටු වෙස්බස්සා, 17කාන්තාර බස්සා, මුහුදු රාජාලියා, දියකාවා, 18මාන කොකා, නා නා විධ කොකුන්, පොරෝළුවා සහ වවුලා යන සතුන් ය.
19ඉගිළිය හැකි සියලු කෘමීන් ඔබට අපවිත්‍ර ය. 20එහෙත්, පියාපත් සහිත පවිත්‍ර ජීවීන් ඔබට අහරට ගත හැකි ය.
21මැරී සිටි සතකුගේ මස, ඔබ අනුභව නො කළ යුතු ය. ඔබේ නගරවල වෙසෙන විදෙස්සකුට ඒවා දීමට ඔබට පුළුවන. ඔහුට ඒවා අනුභව කළ හැකි ය. පිටරැටියකුට ඒවා විකිණීමට ද ඔබට පුළුවන. එහෙත් ඔබ, ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ශුද්ධ වූ ජනතාවකි.
එළු පැටවකු උගේ ම මවගේ කිරෙන් නො පිසින්න.
දසයෙන් කොටස්
22හැම වසරකදී ම ඔබේ කෙත් වත්හි නිපැයෙන හැම දෙයකින් ම දසයෙන් කොටසක් වෙන් කර තබන්නට මතක තබා ගන්න. 23ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට නිති ගෞරව භය දැක්වීමට ඔබ ඉගෙන ගන්නා පිණිස, ඔබේ ධාන්‍යයෙන්, අලුත් මිදි යුෂ හා තෙල්වලින් දසයෙන් කොටස් ද ඔබේ ගව, එළු, බැටළු ආදීන්ගේ කුලුඳුලන් ද ගෙන අවුත්, ස්වකීය නාමයට වාසයක් කොට ඔබේ දෙවියන්වහන්සේ තෝරා ගන්නා ස්ථානයේදී, උන්වහන්සේ ඉදිරියේ ඒවා අනුභව කරන්න. 24එහෙත් ඒ ස්ථානය ඈත එපිට නම්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කර තිබියදී, ස්වාමින්වහන්සේ ස්වකීය නාමය පිහිටුවීමට තෝරා ගන්නා ලද ස්ථානය ඔබට දුර වැඩිවීම නිසා, ඔබේ දසයෙන් කොටස් එහි උසුලාගෙන යෑම දුෂ්කර නම්, 25ඔබගේ දසයෙන් කොටස්, රිදී කාසිවලට හුවමාරු කර ගන්න. ඉන්පසු එම මුදල් රැගෙන, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තෝරා ගන්නා ස්ථානය වෙත යන්න. 26එහිදී එම මුදලට ගවයින් හෝ බැටළුවන් හෝ මිදි යුෂ හෝ අන් මත්පැන් වර්ගයක් හෝ යන ඔබ කැමති කවරක් හෝ ගෙන, ඔබත්, ඔබගේ ගෘහවාසීනුත් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉදිරිපිට ඒවා අනුභව කරමින්, ප්‍රීති ප්‍රමෝද වන්න. 27ඔබේ නගරවල වෙසෙන ලෙවීවරුන් නො සලකා නාරින්න. මන්ද තමන්ට ම වූ පංගු කොටසක් හෝ උරුමයක් හෝ ඔවුනට නැත.
28හැම තුන් වසරක් කෙළවරදී, ඒ වසරේ ඔබේ නිපැයුම්වලින් දසයෙන් කොටස් සියල්ල ගෙන අවුත්, ඔබේ නගරවල ගබඩා කරන්න. 29එවිට ඔබේ නගරවල වෙසෙන, තමන්ට ම පංගු කොටසක් හෝ උරුමයක් හෝ නැති ලෙවීවරුන් ද විදෙස්සන්, පියා අහිමි දරුවන් හා වැන්දඹු කාන්තාවන් ද පැමිණ, සිත් සේ එයින් කා, බී, සෑහීමට පත් වනු ඇත. මෙසේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ අත ගසන හැම කාරියකදී ම ඔබට ආශිර්වාද කරනු ඇත.
اکنون انتخاب شده:
ද්විතීය 14: SCV
هایلایت
کپی
مقایسه
به اشتراک گذاشتن
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.