ද්විතීය 12
12
නමස්කාර ස්ථානය
1මිහි පිට දිවි ගෙවන තාක් කල්, ඔබට උරුම කර ගන්නට ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දුන් දේශයේදී අවධානයෙන් ඔබ පිළිපැදිය යුතු නියෝග හා නියමයන් මේවා ය. 2ඔබ විසින් අත්පත් කර ගනු ලබන ජාතීන්, උස් කඳු මත ද කඳු ගැට පිට ද අතු විහිදුණු හැම ගහක් යට ද ඔවුන්ගේ දෙවි දේවතාවුනට වඳින පුදන තැන් සියල්ල මුළුමනින් විනාශ කර දමන්න. 3ඔවුන්ගේ පූජාසන බිඳ හෙළන්න. ඔවුන්ගේ පූජනීය ගල් කුලුනු සුණු-විසුණු කරන්න; අෂේරා සැමරුම් කණු ගිනිලන්න. ඔවුන්ගේ දෙවිවරුන්ගේ පිළිම කපා හෙළා, ඒ තැන්වලින් ඔවුන්ගේ නාම අතු ගා දමන්න.
4ඔබ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එලෙස නමස්කාර නො කළ යුතු ය. 5ස්වකීය වාසය සඳහා ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ස්වකීය නාමය පිහිටුවීමට, ඔබගේ සියලු ගෝත්‍ර අතරින් තෝරා ගන්න ස්ථානය, ඔබ සෙවිය යුතු ය. ඔබ යා යුත්තේ එතැනට ය. 6ඔබගේ දවන යාග හා යාග පූජා ද ඔබගේ දසයෙන් කොටස් හා විශේෂ පඬුරු ද ඔබගේ බාර-හාර හා ස්වේච්ඡා පූජා ද ඔබගේ ගව, එළු, බැටළු ආදීන්ගේ කුලුඳුලන් ද එහි ගෙනෙන්න. 7එහිදී ඔබත්, ඔබේ පවුලේ අයත් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අබියස අනුභව කොට, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ අත ගැසූ හැම දේකදී ම ඔබට ආශිර්වාද කර ඇති බැවින් ප්‍රීති ප්‍රමෝද වන්න.
8එහිදී ඔබ ක්‍රියා කළ යුත්තේ, මෙහිදී අප කරන්නා සේ හැම කෙනකු ම තම තමාට හරියයි පෙනෙන පරිදි නො වේ. 9මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන විවේක ස්ථානයට හා උරුමයට ඔබ තවමත් සේන්දු වී නැත. 10එහෙත් ඔබ යොර්දාන් ගඟින් එතෙර ව, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට උරුමයක් කොට දෙන දේශයේ පදිංචි වනු ඇත. ඔබ සුරැකි ව වෙසෙන පිණිස, ඔබ වටා සිටින ඔබේ සියලු සතුරන්ගෙන් උන්වහන්සේ ඔබට විවේකය ලබා දෙනු ඇත. 11ඉන්පසු ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ස්වකීය නාමයට වාසස්ථානයක් කොට තෝරා ගන්නා ස්ථානය වෙත, මා ඔබට අණ කරන සියල්ල වන ඔබේ දවන යාග හා යාග පූජා ද ඔබේ දසයෙන් කොටස් හා විශේෂ පඬුරු ද ස්වාමින්වහන්සේට බාර වූ ඔබගේ අනගි ත්‍යාග ද ගෙන ආ යුතු ය. 12ගෙනැවිත්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉදිරියේ ඔබ ප්‍රීති විය යුත්තේ, ඔබේ පුතුන් හා දූවරුන් ද ඔබේ සේවක, සේවිකාවන් ද තමන්ට ම වූ පංගු කොටසක් හෝ උරුම කොටසක් හෝ නැති ඔබේ නගරවල වෙසෙන ලෙවීවරුන් ද සමඟිනි. 13කැමති, කැමති තැන්හි දවන යාග පූජා ඔප්පු නො කරන්නට වග බලා ගන්න. 14ඔබේ ගෝත්‍රවලින් එකක් සතු පෙදෙසක, ස්වාමින්වහන්සේ තෝරා ගන්නා ස්ථානයේදී පමණක් ඒවා ඔප්පු කරන්න. මා, ඔබට අණ කළ සියල්ල එහිදී පිළිපදින්න.
15එසේ වුව ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන ආශිර්වාදයට අනුව, ගෝනකු හෝ මුවකු හෝ පරිදි ඔබේ නගර ඇතුළතදී ඔබට රිසි සේ ඔබේ සතකු මරා මස් අනුභව කළ හැකි ය. අපවිත්‍ර හා පවිත්‍ර දෙගොල්ලට ම ඉන් අනුභව කළ හැකි ය. 16එහෙත් ලෙය, ඔබ නො කෑ යුතු ය. වතුර මෙන් එය පොළොවේ වගුරු වන්න. 17ඔබගේ ධාන්‍ය, අලුත් මිදි යුෂ හා තෙල් යනාදියේ දසයෙන් කොටස් ද ඔබගේ ගව, එළු, බැටළු ආදීන්ගේ කුලුඳුලන් ද ඔබ බාර වූ දෑ ද ඔබගේ ස්වේච්ඡා පූජා හා විශේෂ පඬුරු ද යන දෑ ඔබේ නගර ඇතුළතදී අනුභව නො කළ යුතු ය. 18ඔබ ඒවා අනුභව කළ යුත්තේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තෝරාගත් ස්ථානයේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අබියස ය. ඒ ඔබත්, ඔබේ පුතුන් හා දූවරුන්, ඔබේ සේවකයින් හා සේවිකාවන්, ඔබේ නගරවල ලෙවීවරුන් යන අය සමඟිනි. තවද ඔබ අත ගැසූ හැම දේකදී ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අබියස ප්‍රීති ප්‍රමෝද වෙමිනි. 19ඔබේ දේශයේ ඔබ වෙසෙන තුරා, ලෙවීවරුන්ට සැලකීම පැහැර නො හැරීමට වග බලා ගන්න.
20ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි, ඔබේ දේශ සීමා විශාල කර දුන් පසු, මස් කෑමට ඔබ ලොල් වී, “මස් කෑමට කැමැත්තෙමි” යි කියන කල, ඇති පමණ ඔබට ඒවා කෑ හැකි ය. 21ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ස්වකීය නාමය පිහිටුවන්නට තෝරා ගන්නා ස්ථානය ඔබට දුර වැඩි නම්, ස්වාමින්වහන්සේ ඔබට දී ඇති ගව, එළු, බැටළු ආදි සතුන් මරා, මා ඔබට අණ කළ පරිදි, ඔබේ නගර තුළදී ඇති පමණ කන්නට ඔබට පුළුවන. 22ගෝන හෝ මුව මස් පරිද්දෙන් ඔබට ඒවා කන්නට පුළුවන. අපවිත්‍ර හා පවිත්‍ර දෙගොල්ලට ම එයින් කන්නට පුළුවන. 23එහෙත් ලෙය නො කන්නට වග බලා ගන්න. මන්ද ලෙය යනු ජීවයයි. මස සමඟ ජීවය අනුභව නො කළ යුතු ය. 24ලෙය අනුභව නො කර, වතුර මෙන් එය බිම වගුරු වන්න. 25ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ හරි දේ කිරීමේදී ඔබටත්, ඔබෙන් පසු ඔබේ දරුවන්ටත් සෙත සැලසෙන පිණිස, ලෙය අනුභව නො කරන්න.
26එහෙත් ඔබ කැප කළ දෑ ද ඔබගේ බාර-හාර ද රැගෙන, ස්වාමින්වහන්සේ තෝරාගත් ස්ථානයට ඔබ යා යුතු ය. 27ඔබගේ දවන යාග පූජාවල මස හා ලෙය, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ පූජාසනය මත ඔප්පු කරන්න. ඔබේ යාගවල ලෙය, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ පූජාසනය පසෙක වැගිරවිය යුතු ය. එහෙත් මස, ඔබට අනුභව කළ හැකි ය. 28මා ඔබට අණ කරන මේ සියලු නියමයන්ට කීකරු වන්නට වග බලා ගන්න. එවිට, ඔබටත්, ඔබෙන් පසු ඔබේ දරුවනටත් හැම කල් සෙත සැලසෙනු ඇත. මන්ද ඔබ කරන්නේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ හොඳ දේ ය; හරි දේ ය.
29ආක්‍රමණයෙන්, ජාතීන් පලවා හැරීමට ඔබ සූදානම් වූ කල, ස්වාමින්වහන්සේ වන ඔබේ දෙවියන්වහන්සේ ඔබ වෙතින් ඔවුන් සිඳ දමනු ඇත. ඔබ ඔවුන් පලවා හැර, ඔවුන්ගේ දේශයෙහි පදිංචි වී, 30ඔවුන් ඔබ ඉදිරිපිටින් වනසා දමනු ලැබූ පසු, “ඒ මිනිසුන් ඔවුන්ගේ දෙවිවරුනට වැඳුම් පිදුම් කළේ කෙසේ ද? අපිත් එලෙස ම කරන්නෙමු” යි කියමින්, ඔවුන්ගේ දෙවිවරුන් ගැන වග විභාග කිරීමේ උගුලට හසු නො වන්නට වග බලා ගන්න. 31ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එලෙස නමස්කාර නො කළ යුතු ය. ඔබ ඔවුන්ගේ ක්‍රියා කලාපය අනුගමන නො කළ යුතු ය. මන්ද ඔවුන් තම දෙවිවරුනට වැඳුම් පිදුම් කිරීමේදී ස්වාමින්වහන්සේ ද්වේෂ කරන සියලු ආකාර පිළිකුල්කම් ද කරන බැවිනි. ඔවුහු තම දෙවිවරුනට යාග කර්ම ලෙස තම දූ පුතුන් පවා ගින්නේ බිලි දෙති.
32මා ඔබට අණ කළ සියල්ල කිරීමට වග බලා ගන්න. ඊට කිසිවක් එකතු නො කරන්න. ඉන් කිසිවක් අඩු නො කරන්න.
اکنون انتخاب شده:
ද්විතීය 12: SCV
هایلایت
کپی
مقایسه
به اشتراک گذاشتن
می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.