ද්විතීය 10

10
දෙවන ගල් පුවරු
1ඒ අවස්ථාවේ මා ඇමතූ ස්වාමින්වහන්සේ, “පළමු ඒවා වැනි ගල් පුවරු දෙකක් කපාගෙන, මා වෙත කන්දට නැග එන්න. ලී කරඬුවක් ද සාදා ගන්න. 2ඔබ බිඳ දැමූ ඒ පළමු පුවරුවල සඳහන් ව තිබූ වචන, මෙම පුවරුවල මම ලියන්නෙමි. ඉන්පසු ඔබ ඒවා කරඬුව තුළ බහාලිය යුතු යැ” යි පැවසූ සේක.
3එබැවින් මා අකේෂියා ලීයෙන් කරඬුවක් තනා, පළමු ඒවා වැනි ගල් පුවරු දෙකක් කපාගෙන, ඒ පුවරු දෙක මගේ දෑතින් ගෙන, කන්දට නැගුණා. 4ස්වාමින්වහන්සේ කලින් ලියා තිබූ ලෙස, එක් රැස්වීමේ දවසේ කන්ද මත, ගින්න මැද සිට උන්වහන්සේ ඔබට ප්‍රකාශ කළ දස පනත, මෙම පුවරුවල ලියූ සේක. ඉන්පසු ස්වාමින්වහන්සේ ඒවා මට දුන් සේක. 5ඉන්පසුව මා කන්දෙන් බැස අවුත්, ස්වාමින්වහන්සේ මට අණ කළ පරිදි, මා තනා තිබූ කරඬුව තුළ ඒ පුවරු බහාලූවා. දැන් ඒවා එහි තියේ.
6ඉශ්‍රායෙල් ජනයා බෙනෙ-යාකන්හි ළිං වෙතින්, මොසේරොත් වෙත ගමන් කළා. එහිදී ආරොන් මිය ගියෙන්, ඔහු භූමදාන කරනු ලැබුවා. ඔහුගෙන් පසු ඔහුගේ පුත් එලෙයාසර් පූජක නිලයට පත් වූවා. 7එතැන් සිට ගුද්ගොදා වෙතටත්, ඉන්පසු දිය දොළ සහිත දේශයක් වූ යොට්බාතා වෙතටත් ඔවුන් ගමන් ගත්තා. 8අද දවසේ ද ලෙවීවරුන් කරන පරිදි ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔසවාගෙන යෑමටත්, සේවය සඳහා ස්වාමින්වහන්සේ අබියස සූදානමින් සිටීමටත්, උන්වහන්සේගේ නාමයෙන් ආශිර්වාද ප්‍රකාශ කිරීමටත්, ස්වාමින්වහන්සේ ලෙවීවරුන් වෙන් කර ගත්තේ ඒ අවස්ථාවේදීයි. 9තම සහෝදර ජනයා අතරේ පංගු කොටසක් හෝ උරුමයක් හෝ ලෙවීයනට නැත්තේ එබැවිනි. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔවුනට පැවසූ පරිදි ඔවුන්ගේ උරුමය ස්වාමින්වහන්සේ ම ය.
10පළමු වතාවේ මෙන් මා දහවල හතළිහක් හා රෑ හතළිහක් කන්දේ ගත කළ පසු, ඒ වතාවේදීත් ස්වාමින්වහන්සේ මට සවන් දුන්නා. උන්වහන්සේගේ කැමැත්ත වුණේ, ඔබ විනාශ කර දැමීම නො වෙයි. 11ස්වාමින්වහන්සේ මා අමතමින්, “යන්න, මොවුනට දෙන්නෙමැයි මොවුන්ගේ පියවරුනට මා දිවුළ දේශයට ඇතුළු වී, එය හිමි කර ගන්නට මේ ජනයාට මග පෙන්වන්නැ” යි පැවසුවා.
භය පක්ෂපාතීත්වය
12එබැවින් දැන් ඉශ්‍රායෙල්වරුනි, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබෙන් ඉල්ලා සිටින්නේ මොනවා ද? ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට භය පක්ෂපාත වීමත්, උන්වහන්සේගේ සියලු මාර්ග අනුගමන කිරීමත්, උන්වහන්සේට ප්‍රේම කිරීමත්, ඔබේ මුළු හදින් ද ඔබේ මුළු ජීවයෙන් ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට සේවය කිරීමත්, 13ඔබේ සුබ සෙත පිණිස මා අද ඔබට දෙන ස්වාමින්වහන්සේගේ ආඥා හා නියෝග ඉටු කිරීමත් නො වේ ද?
14ස්වර්ග ද උත්තම ස්වර්ග ද පොළොව හා එහි ඇති සියල්ල ද අයිති ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ය. 15එහෙත් ස්වාමින්වහන්සේ ඔබේ ආදි පියවරුනට හිතේසි වී, ඔවුනට ප්‍රේම කළ සේක්, අද දවසේ පවතින පරිදි ඔවුන්ගෙන් පසු, ඔවුන්ගේ පරපුර වන ඔබ, අන් සියලු ජාතීනට ඉහළින් තෝරාගත් සේක. 16එබැවින් ඔබේ හදවත් චර්මඡේද කර ගන්න. තවදුරටත් මුරණ්ඩු නො වන්න. 17මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ දෙවියන්ගේ දෙවිඳාණෝ ය; ස්වාමින්ගේ ස්වාමියාණෝ ය. උන්වහන්සේ, තරාතිරම් නො බලන, අල්ලස් නො ගන්න බලසම්පන්න වූත්, බියජනක වූත් උත්තම දෙවියන්වහන්සේ ය. 18උන්වහන්සේ පියා අහිමි දරුවන්ටත්, වැන්දඹු කාන්තාවනටත් යුක්තිය ඉටු කරන සේක. ආහාර පාන හා ඇඳුම් දීමෙන්, ඔබ අතර වසන විදෙස්සනට ප්‍රේම කරන සේක. 19එබැවින් ඔබත්, ඊජිප්තුවේ විදෙස්සන් ව සිටි බැවින්, විදෙස්සනට ප්‍රේම කළ යුතු ය. 20ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ව, සේවය කරන්න. උන්වහන්සේට ඇලුම් ව සිටින්න; ඔබේ දිවුරුම් උන්වහන්සේගේ නාමයෙන් දෙන්න. 21ඔබ ප්‍රශංසා කළ යුතු උන්වහන්සේ ය; ඔබේ දෙවියන්වහන්සේ උන්වහන්සේ ය. ඔබේ ම ඇස්වලින් ඔබ දුටු ඒ භය ජනක මහා ආශ්චර්යයන් ඔබ උදෙසා ඉටු කළේ උන්වහන්සේ ය. 22ඊජිප්තුවට ගිය ඔබේ පියවරුන්ගේ මුළු ගණන හැත්තෑවකි. එහෙත් දැන් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අහසේ තරු හා සමාන ව ඔබේ ජනගහනය බහුල කොට ඇත.

اکنون انتخاب شده:

ද්විතීය 10: SCV

های‌لایت

کپی

مقایسه

به اشتراک گذاشتن

None

می خواهید نکات برجسته خود را در همه دستگاه های خود ذخیره کنید؟ برای ورودثبت نام کنید یا اگر ثبت نام کرده اید وارد شوید